2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

වේ උවදුර

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 393

දෙදෙනාගේම වත්කම වූ දෑවැද්ද 

බඩටත් නොකා උපයා ගත් පොත් පත්ය 

ඒවායේ තිබිණි මිණි මුතු තැන්පත්ව 

වේයෝ කෑවෙ එතරම් වටිනා පොත්ය 

 

රම්‍ය මාළිගේ තිබුණේ වනාතේ 

පේළි ගෙවල් යායට මැදි වෙලානේ 

ඒ සන්ධියේදී වේයෝ ඇවිදින් තිබුණේ 

පොත් පත් කා නසන්ටයි වත්කම අපගේ 

 

මහපොළ පොතුයි කතු අස්සන සහිත පොතුයි 

මුල් කොපි පොතුයි සම්මානිත හොඳම පොතුයි 

පිට රට වලින් ගෙන්නා ගත් වටින පොතුයි 

යන මේ සියලු පොත් වේයන්ට කම්මුතුයි 

 

පොත් කියවන්ට කොහි තිබිදැයි වෙලාව 

වේයන් බඩට විතරයි පොත් පත් උරුම

 

සුරම්‍ය මාළිගේ තිබුණේ මහරගම 

තට්ටු ගෙදර හත් වැනි තට්ටුව මතය 

තට්ටු හතම නැග ආ වේයන් රෑන 

කිට්ටු කළා සිරියහනේ ලැග ඉන්ට

 

එක ගෙයි ඉන්න තුන් වැනි වසරේදීම 

රෑ වැඩ වැටුණ දින සති ගාණ වැඩිවිය 

නෝනා සිරියහන මත තනි කර යාම 

රස්සාවට නිසා උහුලා ඉන්ඩ විය 

 

වේයෝ රෑ කෑවෙ නෝනාගෙ පතිවත 

දහවල කෑවෙ මා සන්තක පතිනි වත 

සිරියහනටම සිදුවිය දරුණු පිරිපත 

එනමුත් රැකුණි රස්සාවෙන් බඩ වියත

 

ජීවිතයම, රස්සාවල් එක්ක අප 

මස් පාපය කළෙත් රස්සාවට වාගේය 

 

සුබ මාළිගේ කැස්බෑවේ තිබුණාය 

ඒ ඉන්නා කලේ ඉඩමක් ගත්තාය 

ගෙවන පදනමට දෙන්නම ගෙව්වාය 

ගෙයක් හදන හීනය දැක බැලුවාය 

 

එදවස වේයො ආවේ අඟකුත් එක්ක 

අන්තිම සටන සඳහා සන්නද්ධවය 

නොයෙකුත් හේතු එක් රැස් වී තිබුණාය 

කසාද සහතිකේ වේයෝ කෑවාය 

 

මනරම් මාළිගේ නොම ඉඳි වෙලාම 

පර්චස් දහය ඇත වල් වැද පුරාම 

ළමයින් නොමැත එය අපගේ වෙලාව 

අවුරුදු දහය ඉවරයි වේයන් කෑව 

 

නෝනත් මමත් දැන් හතළිහ මුව විටය 

වේ උවදුරින් හොඳටම අප අබලන්ය

 සුරේඛා සමරසේන