පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවෙන එක ගැන මට කවදත් තියෙන්නෙ ධනාත්මක හැඟීමක්. රජයේ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගත්ත මට ඒ වැඩවසම් වලව්වට එළියෙන් තරගකාරී තවත් අධ්‍යාපන ආයතන පද්ධතියක් ඇතිවෙනවා කියන්නෙ හොඳ තත්ත්වයක්. මොකද රජයේ විශ්වවිද්‍යාල කියන ඒවා ඒ තරමටම එකතැන පල්වෙන පිරිහුණු අධ්‍යාපනයක ගිලී ඇතිවග අත්දැකීමෙන්ම දන්න හින්දා.
සයිටම් විරෝධය වෙනුවෙන් පාරට බැහැලා ඉන්න විශ්වවිද්‍යාල ප‍්‍රජාව හිතන මට්ටමෙන්ම ඒ ගැන තේරැම් ගන්න ඕන කෙනෙකුට පුළුවන්. මේ ළඟදී කැලණියෙ විද්‍යා පීඨයෙ මොකක්ද උළෙලකට විරුද්ධව වලි දාගෙන අන්තරේ පොරක් කිව්වෙ විශ්වවිද්‍යාල ඇතුළෙ බහුජාතික සමාගම්වල කොඩි දානවට විරුද්ධව ගැහුවා කියලා. එහෙම නැත්තම් රටේ ජනතාව හිතනවලු මේ උගත් ප‍්‍රජාව මේ සමාගම්වල නිෂ්පාදන අනුමත කරනවා කියලා. ඒ යකා මේ කියන්නෙ අමාරැවෙන් කතා කරලා ගන්න ස්පොන්සර්ෂිප් ගැන.
මේ විදිහෙ මොළේ විකාරෙන් පෙළෙන ජෝකර් පිරිස් තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගන්න මඟට බැහැලා ඉන්නෙ. කෙනෙකුට කියන්න පුළුවන් මේ අධ්‍යාපනය බාලවීමේ ප‍්‍රශ්නය තියෙන්නෙ කලා පීඨවල විතරයි කියලා. දොස්තර පීඨවල තත්ත්වෙ වෙනස් කියලා. තමන්ගේ ජීවිතේ බාරගන්න එන වෛද්‍යවරයා නිසි ප‍්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබලා තියෙනවද කියලා කිසි ලාංකිකයෙක් ප‍්‍රශ්න කරන්නෙ නෑ. ඒත් සයිටම් හින්දා දැන් ප‍්‍රමිතිය ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඇත්තටම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය මුදලට ගන්න පුළුවන් වීමෙන් ජනතාවට අත්වෙන්නෙ හොඳක් විතරයි. දොස්තරලා වැඩිවෙන එක, ඒ අතර වෘත්තීය තරගකාරීත්වයක් ඇතිවෙන එක, ප‍්‍රමිතිය ගැන සාකච්ඡා දියුණුවෙන එක ජනතාවගේ පැත්තෙන් හොඳක්. අනාගත පරපුර ගැන කියමින් පෙලපාලි යන එක හැමදාම විශ්වවිද්‍යාලවල තියෙන විලාසිතාවක්. මේ අනාගත පරපුර කියන්නෙ කලින් පරපුරේ අයගෙ සටන් පාඨ ලියපු බෝඩ් උස්සන් ගුටිකන්න ඉස්සරහට යන ඊළඟ පරපුර.
ඇත්තටම ජනතාවගේ පැත්තෙන් පෞද්ගලීකරණයට විරුද්ධව සටන් කරනවා නම් ඒක කරන්න ඕන පෞද්ගලික රෝහල්වලට විරුද්ධවයි. ඒ දොස්තරලා ප‍්‍රයිවෙට් කරනවට ඉරිසියාවෙන් වගේ පටු තැනකින් නෙමෙයි. පෞද්ගලික රෝහල් හරහා නිකරුනේ මුදල් ගරාගැනීමේ ක‍්‍රමයක් ලේසියෙන්ම නිර්මාණය වෙන හින්දා. පොඩි ලෙඩකට ගියත් එලෝ කෝටියක් පර් යේෂණ වාර්තා ගනිමින්, අසාධාරණ අයකිරීම් කරමින් සෑහෙන රවුමක ලෙඩ්ඩු ගෙනියන්න පුළුවන් හින්දා. මොන වෛද්‍ය විද්‍යාලයකින් ඉගෙන ගත්තත් ලබාගත් දැනුමේ ප‍්‍රමිතිය පරීක්ෂා කරන අවසන් පරීක්ෂණයකින් දොස්තරලාගේ ප‍්‍රමිතියෙ ප‍්‍රශ්නෙ විසඳන්න පුළුවන්. ඒත් මුදල්මය ලාභය වෙනුවෙන් රෝගීන්ව ගසාකෑමට නිර්මාණය වෙන පෞද්ගලික රෝහල් සේවයක් ගැන අපිට කරන්න පුළුවන් මොකක්ද? සියල්ල නැවත රජයට පවරා ගැනීම නම් මේකට ප‍්‍රායෝගික විසඳුමක් නෙමෙයි. සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් හරහා සමාගම් අතර තරගයක් ඇති කිරීමෙන් සෞඛ්‍ය ව්‍යාපාරය සහ රක්ෂණ ව්‍යාපාරය එකිනෙකා මත ක‍්‍රියාත්මක වෙන තත්වයක් නිර්මාණය කිරීම මේකට යම් විසඳුමක් වෙන්න පුළුවන්ද?
ඒ කොහොම වුණත් ජනතාවගෙ ජීවිතවලට බලපාන ප‍්‍රශ්නය වෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙන එකෙන් නම් නෙමෙයි. වෛද්‍ය සේවය නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් සහිත රාමුවකින් තොරව පෞද්ගලීකරණය වෙලා තියෙන එක නම් එන්න ඉන්න අනාගත පරපුරට නෙමෙයි මේ ජීවත් වෙන පරපුරටම දැනෙන ප‍්‍රශ්නයක්.
චින්තන ධර්මදාස