2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පොල්-කොස්-අඹ ගස් මැද හඳුන් විලාස්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

තලල්ල... මාතර ඉඳන් කිලෝමීටර 14ක් දුරින් පිහිටි කුඩා ධීවර ගම්මානයක්. බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුණු තලල්ල මුහුදු ප්‍රදේශය කියන්නේ ඇත්තටම සුන්දර ප්‍රදේශයක්. මුහුද අයිනේ ගැමි පරිසරයකට හිමිකම් කියන තලල්ල ප්‍රදේශය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් අරැඹි හෝටලයක් ලෙස හඳුන් විලාස් පෙන්වා දෙන්න පුළුවන්. 
පොල්, අඹ, කොස් සහ තවත් පළතුරු වර්ග රැසකින් පිරුණු අක්කර 10ක පමණ උද්‍යානයක් බඳු මේ හෝටලය පිහිටා තිබෙන්නේ හරියටම තලල්ල මුහුදු තීරයට විරුද්ධ පසින්. හෝටලය ඉදිකර තිබෙන්නේ අවුරුදු 122ක් පරණ යටත් විජිත යුගයට අයත් වලව්වකයි.

මේ හෝටලයට එම නම ලැබී ඇත්තේ එහි හිමිකරුවාගේ පෙළපත් නාමය වන හඳුන්නෙත්ති නම අනුවයි. සොබාදහමට විවෘත වුණු පරිසයක් සහිත මෙහි පවතින ස්පා එකත් උසස් තත්ත්වයේ අවන්හලත් එහි ගෙවන නිවාඩු අත්දැකීම තවත් පොහොසත් කරවනවා.

හඳුන් විලාස් සතුව පවතින මුළු කාමර ගණන අටක්. ඉන් දෙකක් ප්‍රධාන වලව්වේත් සෙසු කාමර හය අවට පිහිටි විලාවලත් පවතිනවා.  ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව මෙහි ‘කොහොඹ’ නමින් සුපීරියර් ඩිලක්ස් කාමරයකුත් ‘කරඳ’ නමින් තවත් ඩිලක්ස් කාමරයකුත් පවතිනවා. ඊට අමතරව සේපාලිකා, සූර්යා, කුරුඳු, මැයි මාර, කිරි පලු, හල්මිල්ල යනාදී වශයෙන් සෙසු කාමර නම් කර තිබෙනවා. මේ සියලු කාමර සැටලයිට් ටීවී, බාත් ටබ්, මිනි ෆ්‍රිජ්, වායු සමීකරණ, වයි ෆයි වැනි පහසුකම් රැසකින් සමන්විතයි.

දකුණු අධිවේගය හරහා පහසුවෙන් ළඟාවිය හැකි තලල්ලේ සිට උඩවලව, යාල වැනි වනෝද්‍යාන වෙතත් කතරගම, මුල්කිරිගල වැනි පූජා භූමි වෙතත්, සූරියවැව, වවුල්පනේ ගුහා වැනි සෙසු සංචාරක ආකර්ෂණ කරාත් ඉක්මනින් ළඟාවිය හැකියි. 

සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00