2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ප්‍රශ්න විසඳන්න තුන්ගොල්ලක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

බොහෝ රටවලට ව්‍යවස්ථාවක් ඇත. එහෙත් ඒ රටවල මිනිසුන්ට ඒ ගැන වගේ වගක් නැත. ඔවුහු තමන්ගේ සහ රටේ දියුණුව සඳහා බොහෝ දේ කරමින් දිනෙන් දින ඉදිරියටම යති.

ඇතැම් රටවල මිනිසුන්ට ව්‍යවස්ථාව සම්පාදනය කරනවා හැර වෙනත් වැඩක් නැත. ඔවුහු ඊට නොයෙකුත් සංශෝධන එකතු කරති. ඇණ කොටා ගනිති. වාද විවාද කරති. කමිටු, අතුරු කමිටු යනාදිය පත් කරති.

එවැනි රටවල ජනතාවට වැලේ වැල් නැත. එහෙත් සාඩම්බර ව්‍යවස්ථාවක් ඇති නිසා සියලු දුක් කරදර දරාගෙන, දියුණු හා පොහොසත් ජාතීන්ට හූල්ලමින් ජීවත්වෙනවා යැයි සිතාගෙන ඔහේ සිටිති. ඊට වඩා සිරි කාලකණ්නිකමක් තවත් නැත.

මේ “ව්‍යවස්ථාපිත ජනතාවට” අවුරුදු දෙදෙහසක තුන්දහසක ඉතිහාසයක්ද එකතු වූ විට, ඊට වඩා දෙයක් නැත. ඔවුහු ඉතිහාසය කරපින්නා ගෙන, ලෝකයාට නටබුන් පෙන්වමින් උදාරම් ලෙස හැසිරෙති. එහෙත් අවුරුදු සියයක, දෙසීයකවත් ඉතිහාසයක් නැති ජාතීන් හෝ රටවල් ඔවුන්ට වඩා ගව් ගණනක් ඉදිරියට ගමන් කරනු නොදකිති.

සංස්කෘතිය යනු, අනෙක් අටංපහුරය. ව්‍යවස්ථාවත්, ඉතිහාසයත් කර පින්නාගෙන සිටිනු මදිවාට සංස්කෘතියත් හිස මත තබාගත් විට, ඒ ජාතියේ කකුල් පණ නැතිවෙයි. පැටලෙයි. ගමන පමාවෙයි.

නූතන ලෝකයේ ඉදිරියට යන ජනතාවකට ව්‍යවස්ථාව හිසරදයක් නොවිය යුතුය. ඉතිහාසය නාස් ලණුවක් නොවිය යුතුය. සංස්කෘතිය පය බරවායක් නොවිය යුතුය. එසේ නොවන රටක මිනිසුන්ට සිදුවන්නේ නැංගුරම් ලා ඇති බෝට්ටුවක නැගී එක තැන හබල් ගෑමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු හා නිදහස් මතික පුරවැසියෙකු වශයෙන්, ඉහත දැක්වූ ආකාරයේ සිතිවිලි අතර සිටින මේ දිනවල මා කවුරුන් සමඟ වුව කතාබහ කරන්නේ ඉතා පරිස්සමිනි. ව්‍යවස්ථාව යනු දේශපාලකයන්ට අයත් දෙයක් මිස අප වැනි පොදු ජනතාවට අදාළ දෙයක් නොවීමද ඊට එක් හේතුවකි. ඒහෙත් ඒ බවක් නොතකා ව්‍යවස්ථාව පිළිබඳව කට කැඩිච්ච කතා කරන උදවියද නැත්තේ නොවේ.

මාළු මාර්කට්ටුවේ ජොනී එබඳු කෙනෙකි. මා යමක් කමක් දන්නා කෙනෙකිය යන වැරදි මතයෙහි සිටින ජොනී, නිතරම වාගේ විවිධ ප්‍රශ්න නඟයි. ඉස්සන් ලාබ වී ඇතැයි ලැබුණු ආරංචියකට අනුව මාරකට්ටුවට ගිය මට දක්නට ලැබුණේ එය එසේ නොවන බවය. මා දුටු ජොනී, සුපුරුදු පරිදිම සිනාවක් පාමින් ඉදිරියට ආවේය.

“ආ... අපේ මීඩියා මහත්තයා, මොනවද බැලුවෙ?”

“ඉස්සො ලාබයි කියන ආරංචියටයි ආවෙ. බැලින්නං කකුළුවන්ටත් වඩා ගණන් ගිහිල්ලනෙ.”

“කරන්ඩ දෙයක් නෑ මහත්තයා, අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න කල් ඕවගේ ගණන් බහින එකක් නෑ.”

“ඒක මාර කතාවක්නෙ ජොනී, ඉස්සො කකුළුවො එක්ක ව්‍යවස්ථාවෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?” මම සාවඥ සිනාවක් පාමින් ඇසුවෙමි.

“ඇයි මීඩියා මහත්තයො, අපි මේ යහපාලන ආණ්ඩුව පත් කරගත්තෙම අලුත් ව්‍යවස්ථාවක් හදාගන්ඩනෙ. ඉතින්, ඒක නොකර කොහොමද ජීවන වියදම අඩු කරගන්නෙ.”

“ඉතින් අපෙන් ඒකට බාධාවක් නෑනෙ. ඒගොල්ලමනෙ ඒක කල්දාන වැඩ කරන්නෙ.”

“මීඩියා මහත්තයලත් ඒකට වග කියන්න ඕනෙ. ඔහෙලා තමයි බොරු කිය කියා ජනතාව නොමඟ යවන්නෙ.”

“අනේ ජොනී අපි කියපු බොරැවක් නෑ. කවුරු හරි නිවේදනයක් එව්වොත් අපි ඒක පළ කරනවා. මාධ්‍ය කියන්නෙ අපක්ෂපාතී දෙයක්නෙ.”

“හරි හරි.... ඒකෙ ඇත්ත නැත්ත ළඟදිම බලාගන්ඩ බැරියැ.”

ජොනී නිහඬ විය. මා එතැනින් ඉවතට පිය නැගුවේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉස්සන් පවා ගණන් ඉස්සීම ගැන විස්සෝප වෙමිනි.

ඉන්පසු මා ගමන් කළේ, පලා විකුණන පොළටය. කතුරු මුරුංගා මිටියක ගණන් ඇසීමට කලින්ම පලා වෙළෙන්දිය දෙස බැලූ මම ඇය ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත්දැයි විමසා බැලුවෙමි.

“ඇයි මහත්තයො ඒ ගැන ඇහුවෙ?”

“ඒක නිසා බඩු මිල ඉහළ ගිහිල්ලනෙ. මං හිතුවා පලා මිටියටත් කෙළවෙලාද කියලා.”

“මේ දවස්වල පලා වුණත් ගණන් ගියා මහත්තයො. හැබැයි ඒ ව්‍යවස්ථාව හින්ද නෙවෙයි. සයිටම් නිසා.”

“මොකක්? සයිටම් ප්‍රශ්නෙයි, පලා මිටියෙයි අතරෙ සම්බන්ධෙ මොකක්ද?”

“ඇයි මහත්තයෝ.... ඒගොල්ලො පෙළපාලි යනකොට පාරවල් බ්ලොක් වෙනවා. අපිට කලට වෙලාවට බඩු එන්නෙත් නෑ. ඒවා ගන්න මිනිස්සු එන්නෙත් නෑ.”

කතුරු මුරුංගා මිටිය මල්ලේ ඔබාගත් මම එතැනින් ගියේ කරවල කඩයටය.

“මුදලාලි, කරවලවල ගණන් කොහොමද? ඒවටත් ව්‍යවස්ථාව හරි සයිටම් හරි බලපාල තියෙනවද?”

“අපි මොකටද මහත්තයෝ ඒවා ගැන කරදර වෙන්නෙ. රටේ ප්‍රශ්න විසඳන්නනෙ ප්‍රධාන පක්ෂ තුනක්ම ඉන්නෙ?”

“ප්‍රධාන පක්ෂ තුනක්? ඒ මොනවද?”

“ආණ්ඩු පක්ෂය, විපක්ෂය, පූජ්‍ය පක්ෂය!”

කරවල මුදලාලි සිනාසුණේ, දියවන්නා මන්දිරයට ඇසෙන තරම් උස් හඬිනි.

I කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00