2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මලු පිටින් ඩොලර් හොයන ක්‍රිකට් තරු

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 475

♦ කෝලිගේ අහස් මාලිගාවට රුපියල් කෝටි 34ක්!

♦ ලංකාවේ මැතිව්ස්ට රුපියල් කෝටි 5යි

♦ ඕස්ට්‍රේලියා නායකයාගේ වසරක ආදායම රුපියල් කෝටි 22.5යි

ඉන්දියාවේ ක්‍රිකට් නායක විරාත් කෝලි හට තවමත් වයස 28 කි. ඒ තරම් තරුණ, ඔහු පසුගියදා (අහස් මාලිගාවක්) මිල දී ගත්තේය. කෝටිපතියන්ට පමණක් වෙන් වූ දකුණු මුම්බායිහි පිහිටි Sky Bungalow නිවාස සංකීර්ණයේ වූ මේ අහස් මාලිගාව සඳහා කෝලි ඉන්දියානු රුපියල් කෝටි 34 ක් අතින්ම ගෙව්වේය. ඊට පෙර 2015 වසරේ දී ඔහු ඉන්දියාවේ ලොකු ලොක්කන් වෙසෙන බටහිර දිල්ලියේ සුඛෝපභෝගී බංගලාවක් අත්පිට මුදලට ගත්තේය. එය ඉන්දියානු රුපියල් කෝටි 80 ක් වටිනා තැනකි. 2015ට පෙර දකුණු දිල්ලියේ නිදන කාමර 3ක මධ්‍යම ප්‍රමාණයේ නිවසක තම සොහොයුරාත් මවත් සමඟ කල්ගෙවූ කෝලි හදිසියේම කෝටිපතියන් අතරට එක්වූයේ 2014 – 2015 කාලයේදී ඉන්දීය ක්‍රිකට් නායකයා බවට පත්වීමත් සමඟිනි. කෝලි පමණක් නොවේ, ලෝකයේ බොහෝමයක් ක්‍රිකට් නායකයන් ද කෝටිපතියන්ය. ඒ සත්‍යය ලංකාවට ද එසේමය. ලෝකයේ කෝටිපති ක්‍රිකට් නායකයන් හෙවත් වැඩිම ආදායම් ලබන ක්‍රිකට් නායකයන් පිළිබඳ අපූරු හෙළිදරව්වක් පසුගියදා එළියට ආවේය. එහිදී විරාත් කෝලි තුන්වැනි තැනට එද්දී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි තැනට නම් කර තිබුණි.

ඉස්සර නම් අම්මා තාත්තා දරුවන්ට කිව්වේ “පුතේ, ලොකු වුණාම දොස්තර මහත්තයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න බලන්න” කියාය. නමුත් 96 ලෝක කුසලාන තරගය දිනීමත් සමඟ මේ කතාව නවීකරණයට ලක්ව තිබේ. දැන් ඉතින් සැපට මුදල් හොයා රජෙක් වගේ ජීවත් වන්නට පුළුවන්, හත්මුතු පරම්පරාවම ගොඩදමන්නට හැකි මන්තරය ලෙස කාගේත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ක්‍රිකට් සංචිතයට එක්වීමය. ඒ අදහස නිවැරැදි බවට දැන් තහවුරු වී ඇත්තේ ඉන්දීය Cricinfo වෙබ් අඩවියේ එළිදරව්ව සලකා බැලූ විටය.

එම වෙබ් අඩවිය ලෝකයේ ඉහළම ඉපැයීම් සහිත ක්‍රිකට් නායක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සිය රටවල ක්‍රිකට් ආයතන සමඟ අස්සන් කර ඇති ක්‍රිකට් කොන්ත්‍රාත්තු සහ තරග ගාස්තු පමණක් සැලකීමට ගෙන මේ ලැයිස්තුව සකසා තිබේ. ඒ අනුව ලෝකයේ ඉහළම වාර්ෂික ආදායමක් සහිත නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ නායක ස්ටීවන් ස්මිත් දක්වා තිබේ. ඔහුගේ ඉපැයීම රුපියල් කෝටි 22.5 කි. ජෝ රූට් එංගලන්ත නායකයා ඊළඟට වැඩිම උපයන්නාය. ඔහු කෝටි 21.1 ක් උපයන බව සඳහන්ය. විරාත් කෝලි සිටින්නේ ඊළඟටය. ඔහු කෝටි 18.3 ක් උපයයි. දකුනු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලේසි කෝටි 9 ක් උපයද්දී ඇන්ජලෝ මැතිව්ස් කෝටි 4-9 ක් උපයා තිබේ. විස්සයි විස්ස තරග, එක්දින තරග, ක්‍රීඩා සමාජ තරග, වෙළෙඳ දැන්වීම් ආදායම් ආදිය මගින් සහ වෙනත් ආදායම් මගින් ක්‍රීඩකයන් උපයන මුදල් මෙහිදී සැලකිල්ලට ගෙන නැත. ක්‍රිකට් නායක පදවිය සරුසාර ආදායම් මාර්ගයක් බව කියන්නට ඉන්දියාවේ ක්‍රිකට් නායකයන් කිහිප පලක් දෙස බැලීම පමණක්ම සෑහේ.

ඉන්දියාවේ මහේන්ද්‍ර දෝනිගේ මුළු වත්කම ඩොලර් මිලියන 26.5 ක් බව ඔහු වාර්තා කර තිබේ. එයින් මිලියන 3.5ක්ම ක්‍රිකට් වලින් සෙවූ මුදල්ය. සචින් තෙන්ඩුල්කාර් ඩොලර් මිලියන 18.6 ක් වත්කම පෙන්වා ඇති අතර එයින් ඩොලර් මිලියන 2.6 ක් උපයා ඇත්තේ ක්‍රිකට් වලිනි. ගෞතම් ගම්භීර් ඩොලර් මිලියන 7.3 ක් වටිනා වත්කම් සතු අයෙකි. එයින් මිලියන 3.9 ක් ක්‍රිකට් සල්ලිය. විරාත් කෝලිගේ ඔහු ප්‍රකාශයට පත් කර ඇති සැබෑ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 7.1 කි. ක්‍රිකට් වලින් ලබා ඇති ආදායම එයින් ඩොලර් මිලියන 3.1 කි. දැන් මේ අලුත් ලැයිස්තුගත කිරීම කර ඇත්තේ එයින් ඔහුගේ ඩොලර් මිලියනයක් වූ තරග ගාස්තු සහ කොන්ත්‍රාත් ගාස්තුව පමණක් සලකා බලාය. ලංකාවේ තත්ත්වය ද මීට නොදෙවැනි නොවේ.

ලංකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 – 2017 අතර කාලයේ ක්‍රීඩකයන් සඳහා තරග ගෙවීම් පිළිබඳ සටහනක් අනුමත කර තිබේ. එයට අනුව ක්‍රීඩකයන්ට හොඳින් ගෙවන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. එහිදී කොන්ත්‍රාත්තු ගාස්තු ලෙස සටහනේ පළමු පෙළ ක්‍රීඩකයකු හට ඩොලර් 128000 ක් හෙවත් රුපියල් කෝටි 19170000 ක් ලැබීමට නියමිතය. ටෙස්ට් තරග ගාස්තුව ඩොලර් 5000 කි. එනම් රුපියල් ලක්ෂ 766800 කි. එක්දින තරග ගාස්තුව ඩොලර් තුන්දාහක් හෙවත් රුපියල් ලක්ෂ 4.6කි. 20 යි 20 තරග ගාස්තුව ඩොලර් 2000 කි. එනම් ලක්ෂ 3.06 කි. මේ අනුව ක්‍රීඩක ගෙවීම් ලැයිස්තුවේ ටෙස්ට් තරග වෙනුවෙන් වැඩිම ගෙවීමක් කරන රටවල් අතර හත්වැනි තැනටද එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් වැඩිම ගෙවීම් කරන රටවල් අතර 04 වැනි තැනටද ලංකාව පත්ව තිබේ.

ක්‍රිකට් ලෝකයේ වැඩිම උපයන්නා වන ස්මිත්ගේ ආදායමත් අඩුවෙන්ම උපයන ක්‍රිකට් නායකයාගේ ආදායමත් අතර පරතරය 20 ගුණයකි. මේ නිසා නිදසුනක් හැටියට පාකිස්තානය සිටින්නේ අයර්ලන්තයටත් වඩා පහළිනි.

ඒ අනුව ක්‍රීඩකයන්ට කරන ගෙවීම් අනුව ක්‍රිකට් ලෝකයේ සමාජ කුල බෙදීමක් ද දක්නට හැකිය. ලොකු ලොක්කන්ගේ අංක එකේ කුලය යටතට ලෝකයේ හොඳම ගෙවීම් ලබාදෙන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත්ය. අංක දෙක කුලය හෙවත් ඉහළ මධ්‍යම පාන්තික කුලය ලෙසට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දැක්විය හැකිය. පහළ මධ්‍යම පාන්තික කුලයක් ද මෙහිදී දක්නට හැකිය. එය නියෝජනය කරන්නේ ඉන්දියාව සහ නවසීලන්තයයි. ඒ අතර සොක්කන්ගේ හෙවත් අඩු ආදායම් යටතට ගැනෙන කුලයක් ද සිටියි. සිම්බාබ්වේ, ශ්‍රී ලංකා, පාකිස්තාන් සහ බංගලාදේශ් අයත් වන්නේ මේ කුලයටය. පුදුමය, අපේ ක්‍රිකට් නායකයන් පස්වැනි තැනට ලොකුම පඩියක් ලබාගන්නේ එහෙව් දරිද්‍රතා මට්ටමක සිටිද්දීය!

නමුත්, එංගලන්ත ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා ලක්ෂ 30.2 ක් හිමිවෙද්දී වැඩියෙන්ම ගෙවන ඉන්දියන් ක්‍රීඩකයෙක් ලක්ෂ 35.9 ක් සාක්කුවේ දමා ගනියි. එහිදී අපේ ක්‍රීඩකයකුට හිමිවන්නේ ලක්ෂ 7.7 කි. 

ක්‍රිකට් ආයතනය මේ නිසා වැඩකිඩ පෙන්වන අය සඳහා කාර්ය සාධන බෝනස් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ අනුව ටෙස්ට් තරගයක් දිනූ විට කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හට තරග ගාස්තු සියයට 100ක වර්ධකයක් හිමිවෙයි. ටෙස්ට් තරගයක එකදිගට විකට් පහක් ලබාගැනීම හෝ ශතකයක් ලබාගත් විට ලක්ෂ 7.6ක ප්‍රසාද දීමනාවක් ලැබේ. එක්දින තරගයකදීද මේ වාසනාව එසේම උදාවෙයි. විස්සයි විස්ස තරගයකදී මේ හපන්කම දැක්වූ කෙනෙකුට ලක්ෂ 3.8 ක් ලබාගන්නට අවස්ථාව සැලසේ.

හැබැයි, මේ ආදායම් ප්‍රකාශ දෙස අප බැලිය යුත්තේ සතේ අතේ නැති හුදී ජනයා බලන (අනේ, අපොයි සල්ලි නේද?) කියන ඊර්ෂ්‍යා සහගත ආකාරයට නම් නොවේ. ක්‍රිකට් ලොක්කන්ම කියනා පරිදි ධනාත්මක හෙවත් සල්ලිකාර ඇසකිනි. එහෙත් බැලිය යුත්තේ අනෙක් සල්ලිකාරයන් හා සැසඳීමෙනි. ඒ අන්දමට සලකා බැලූ විට නම් ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ලෝකයේ මහ ලොකු සල්ලිකාර හාදයන් නොවේ. පොල් ගෙඩිය 90ටත් බත් ගෙඩිය 150ටත් ගෙන යාන්තමට කුස පොත්ත රවටා ගන්නා සකල ජනයාගේ ගාණටම එතැනදී ඔවුහුද ඇද වැටෙති. ඒ ලෝකයේ ජනකාන්ත බවට පත්ව ඇති අනෙකුත් ක්‍රීඩා ඉසව් හා ඒවායේ තරු සමඟ සසඳා බලද්දීය. කතාව කෙටියෙන් කිවහොත් ලෝකයේම සුප්‍රසිද්ධ පාපන්දු තරුව රොනාල්ඩෝගේ වැටුප ලෝකෙන්ම සල්ලිකාර ක්‍රිකට් නායකයා ලෙස දැන් තේරී ඇති ඕස්ට්‍රේලියාවේ ස්ටිවන් ස්මිත්ගේ සල්ලි මල්ල මෙන් හතළිස් ගුණයක් ඉහළය. රොනාල්ඩෝ කෝටි 890 ක් උපයන අතර, ටෙනිස් තරුවක් වන රොජර් ෆෙඩරර්ගේ ආදායම කෝටි 9 කි. එසේ වූ කල අපේ ඉහළම පෙළේ ක්‍රිකට් තරුවට ලැබෙන ආදායම ස්මිත්ගේ ආදායමෙන් පහෙන් එකකි. ඉතින්, ඒ අංක ගණිතයට අනුව නම්; ඒ ඇත්තෝද, නැත්තෝය!

I සුගත් පී කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00