2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මාස 9ට 24ක් බිලිගත් කෝච්චි සෙල්ෆි මාරයා

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128


පසුගිය මාස නවය තුළ මෙරට දුම්රිය සහ දුම්රිය මාර්ගය අවට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් තරුණ තරුණියන් විසි හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යන පුවත කෙනෙකුට ඇදහිය නොහැකි වන්නට පුළුවන.

එහෙත් එය එසේම සිදුව තිබේ. පසුගිය වසර තුළ දුම්රිය අනතුරුවලින් මියගිය පුද්ගල සංඛ්‍යාව පන්සිය හතරකි. පසුගිය කාලය පුරාවට සිදුවූ දුම්රිය අනතුරැ බොහෝමයකට හේතු වූයේ සියදිවි නසා ගැනීම්, දුම්රිය මාර්ගයේ හඬ පිළිබඳ අනවබෝධයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම, දුම්රිය වේදිකාව තුලින් දුම්රියට නැගීමට කරනු ලබන උත්සහයකින් වැරදීමකින් පය පැටලැවී වැටීම වැනි හේතුන්ය. පසුගිය දශකයක කාලයක් තුළ නිරන්තරයෙන් වාර්තා වූ දුම්රිය අනතුරුවලට හේතු වූයේ මෙවැනි කාරණාය.

නමුත් මෑත කාලයේදී සිදුවූ දරුණුතම සිදුවීම වී ඇත්තේ නවීන තාක්ෂණය දියුණුවත් සමඟ බිහිවූ සෙල්ෆි ඡායාරූප ගැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සහ දුම්රිය අසල සිදුවුණ අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබීමය. 
මේ පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා ‍දේශයට මෙසේ අදහස් දැක්වීය. 

පසුගිය මාස නවයක කාලය තුළ විසි හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිදෙනෙක් අවුරුදු තිහට අඩු තරුණයෝයි. විදේශ කාන්තාවන්ද මේ අතර ඉන්නවා. අපි සෙල්ෆි ඡායාරූප ගන්න එපා කියන්නෙ නෑ. නමුත් ඒ කොයි දේ කළත් පරිස්සමින් කළ යුතු වෙනවා. යෞවනත්වය කියන්නෙ නැවුම් අත්දැකීම් එක්ක, අලුත් අත්දැකීම් එක්ක ගෙවන ජීවිතයක්. නමුත් ඒක තමන්ටවත් අනුන්ටවත් හිරිහැරයක් වෙන්න බෑ...

සෙල්ෆි ඡායාරූප ගනිද්දී බොහෝ දෙනකුගේ අවශ්‍යතාවය වන්නේ දුම්රිය ගමන් කරද්දී දුම්රිය ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීමයි. දුම්රයක් පැයට කිලෝ මීටර් පනහක පමණ වේගයෙන් ගමන් කෙරේ. රියදුරා විසින් කවුරුන් හෝ ඉදිරිපස බව දැක තිරිංග තද කළද දුම්රිය නතර වන්නේ මීටර් දෙසිය පනහක්වත් ඉදිරියට ගොස්ය. යන වේගය අනුව එක්වරම දුම්රිය නතර කළ නොහැක. මේ නිසා රියැදුරුට පෙනී පෙනී මෙවැනි රිය අනතුරු බොහෝමයක් පසුගිය කාලවකවානුවේදී සිදුව ඇත. කිලෝමීටර් පනහකට වඩා වේගයෙන් එන දුම්රියක් තිරිංග තද කළද එය නතර වන්නේ මීටර් දෙසිය පනහක්වත් එහායින්ය. මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකමින් බොහෝ තරුණ තරුණියෝ රේල් පාරේ සිට දුම්රිය ආශ්‍රිතව සෙල්ෆි ගැනීමට උත්සුක වෙති.

බදුලු දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය බොහෝ කලාත්මක ආකර්ශණීය තැනකි. බොහෝ මනාල ජෝඩු මෙම ස්ථානයේ සෙල්ෆි ඡායාරූප සහ මංගල ඡායාරූප ගැනීමට කැමති වෙති. විශේෂයෙන් නැකැත් දිනවලදී මෙම ස්ථානයේ මනාල යවුළවල් කීපයක්ම ඡායාරූප ගන්නා බව සුලභ දසුනකි. ඇතැම් කැමරාකරුවන් දුම්රිය ස්ථානයට දුරකථන ඇමතුම් දී දුම්රිය ගමන් කරණු ලබන වේලාව දැන දුම්රිය ඉදිරිපස ඡායාරූප ගැනීමට ලකලෑස්ති වෙති. නමුත් මෙය ඉතා අවදානම් අවස්ථාවකි. බොහෝ ඡායාරූප ශිල්පීන් විවාහක ඡායාරූප කලාවට යොදාගනු ලබන විශේෂම ස්ථානය වන්නේ දුම්රිය මාර්ගයයි. මෙවැනි අවස්ථාවලදී මනාලිය පැළඳ සිටින අඩි සහිත සපත්තුව සිල්බර කොටන් තුළ සිරවී දැඩි අපහසුතාවයන්ට පත්වූ අවස්ථාද තිබේ.

මේ පිළිබඳව අපි ජාතික ඡායාරූප සංගමයටත් දැනුවත් කළා. ඡායාරූප ශිල්පීන්ට මේ වගේ අනතුරුදායක තැන්වල ඡායාරූප ගන්න පෙළඹවන්න එපා කියලා අපි කිව්වා. ගිය සතියේ නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂාව පිළිබඳව දැන්වීම් පුවරු සවි කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කළා. මේවායින් අපි අදහස් කරන්නේ දුම්රිය මගීන් ආරක්ෂා කිරීමයි.
සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

අද වෙද්දී මාර්ග අනතුරු සඳහාද ජංගම දුරකථන දැඩි ලෙස බලපෑම් කෙරේ. ලෝකය දියුණවත් සමඟ දියුණුවන තාක්ෂණය හඹායන බොහෝ පිරිසක් අද වෙද්දී එය වැරදි ලෙස පාවිච්චි කරති. පසුගිය කාලය පුරාවට සෙල්ෆි ඡායාරූප කලාව නිසා දුම්රිය මාර්ග ඔස්සේ බිලිගත් තරුණ ජීවිත එමටය. දෙමව්පියන්ට දරුවන් අහිමි විය. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි විය. ජීවිතේ සොඳුරුතම කාලය සිල්බර කොටන්වලට බිලිවන්නට ගත වූයේ තත්පර කීපයකි. 
ලංකාවේ ඇති පාරවල්වලින් ජනතාවට යාමට තහනම් වූ එකම මාර්ගය වන්නේ දුම්රිය මාර්ගයයි. මෙම මාර්ගයේ සාමාන්‍ය මිනිසුන්ට ඇවිද යෑම සම්පූර්ණයෙන්ම තහනම්ය. දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ වැරැද්දට තුන්දහසක දඩ මුදලක් නියම වේ. එය දුම්රිය පනත යටතේ සඳහන් වේ. නමුත් අද වෙද්දී බොහෝ තරුණ තරුණියන් ගමන් කරන්නේ ද දුම්රිය මාර්ගය ඔස්සේමය.

දුම්රිය මාර්ගය ඔස්සේ පමණක් නොව ඇතැම් තරුණ තරුණියෝ දුම්රිය තුළ ගමන් කරද්දී පවා සෙල්ෆි ගැනීමට උත්සුක වෙති. හිස එළියට දමා සෙල්ෆි ගැනීමට ගොස් පාලම්වල, විදුලි කණුවල හිස වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණ තරුණියෝ ද සිටිති. සෙල්ෆි ගැනීමට පෙර තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් වේ. 
සෙල්ෆි ඡායාරූප කෙනෙකුගේ ජීවිතයේ අවසන් ඡායාරූපය නොවිය යුතුය.

 දිශානි ජයමාලි කරුණාරත්න