2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

වැස්ස ඉල්ලා හෙළුවැලි බලි

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1118
 
සෑම අවුරුද්දකම වප් මාසයේදී (ඔක්තෝබර්) රජරටට තද වර්ෂාවක් ආරම්භ වේ. එය වයඹ, උතුරු නැගෙනහිර පළාත්වලටත් පැතිර යයි.  ඊට පසු දිනපතා වැසි ඇදහැලී වැව් පිරී වාන් දමන්නට පටන් ගනී. මෙවර වප් වැස්ස ඇදහැලුණේ මධ්‍ය කඳුකරයට හා නිරිතදිග තෙත් කලාපයට පමණි. කල්පසුවී රජරට සමහර පැතිවලට තරමක් වැසි වැටුණේය. එහෙත් රජරට වැඩි ප්‍රමාණයක හා වයඹ තවමත් නියඟය රජ කරයි. වැව් සිඳී ඉරිතලා ගොසිනි. සමහරුන්ට බොන්නවත් වතුර නැත. මේ අතර වැහිපල ලබාගැනීමට ගම්මු නොයෙක් වතාවත් ඉටුකරති.
 
වයඹ වැසියකු වූ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දලුපොත අප ඇමතුවේ වයඹ පළාතේ හත් කෝරළේ වැසි පතා කෙරෙන සිරිත් මොනවාදැයි ඇසීමටය. 
 
“ඉඩෝරය වැඩිවෙලා නියඟය පටන් ගත්විට ගොවි ජනතාව එකතුවෙලා වැව් පිරිත පුරනවා. මේ පිරිත කියන්නේ වැවේ වෑකන්ද මත. නැතිනම් සිඳීගිය වැව් පතුලේ පිරිත් කොටුවක් හදලා. වැහි රටාව ගැනත් බලල තමයි පිරිත පටන් ගන්නේ. ගමේ සිල්වත් හාමුදුරුවරු හෝ ගිහි පිරිසක් එකතුවෙලා පිරිත පුරනවා. තුන් සූත්‍රය මුල්කරගෙන කියන පිරිත එක දිගට දින හතක් කියනවා. බොහෝවිට අවසාන දින කිහිපයට එනවිට වැස්ස වහිනවා. වැස්සාට පසුව වැවේ කිරි උතුරවා බුද්ධ පුජාව පවත්වා වතාවත් කර පිංපෙත් පමුණුවනවා.
 
වැවේ පිරිත්කීමේ සිරිතට අමතරව තවත් අපූරු අභිචාර විධියක් ගැන අපට අසන්නට ලැබුණි. ඒ කන්‍යා යාගයයි. 
ඒ ගැන දලුපොත අපට මෙසේ පැවසුවේය. “සංහිඳට ගිහින් වැස්ස පතලා බාර හාර වෙනවා. ඊට පස්සේ වැහි වැටෙන කොට ඒකට ආශීර්වාද පතා කන්‍යා යාගය පවත්වනවා. අක්වැස්ස (මුල්ම වැස්ස)ට පස්සේ වැ‍ටෙන වැහිවලට කියන්නේ මල් වැහි කියලා. මෙන්න මේ මල්වැහි වැටෙන කාලයට ගමේ අලුතින්ම මල්වර වූ කන්‍යාවියන් හත් දෙනකුගේ පිරිසක් වැව ළඟට ඇවිත් හොඳට වැස්සට තෙමෙමින් නටනවා. මේක පත්තිනි පූජාවක් විදිහට තමයි පවත්වන්නේ.”
වයඹ දැකගත හැකි තවත් අපූරු චාරිත්‍රයකි, හත්දා බෙර වැයීම. එහිදී වැව හා කුඹුරු වටේ යමින් වැසි ඉල්ලමින් පිරිමි පාර්ශ්වය විසින් බෙර වැයීම සිදුකරති. පාන්දර ජාමයේ සහ හැන්දෑවේ මෙම බෙර පූජාව සිදුකෙරේ. 
මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපයට අයත් ලග්ගලද නියඟයෙන් බැටකන ප්‍රදේශයකි. ලග්ගල කිරිඅම්මා උල්පත නම් දිය පහරකි. නියඟයටවත් නොසිඳෙන එම දියඋල්පතට ගැමියෝ පැමිණ ජලය අරන් කිරි උතුරවා යාතිකා කර  ඊටපසු එම කිරි කුඹුුරුවලට ඉසීමට  රැගෙන යති. එම කිරි රැගෙන යන අතරම වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවතී.
 
වර්ෂාව පතා කෙරෙන චාරිත්‍ර අතර රජරට  මුල්තැන ගත්තේ වැසි පිරිත සජ්ජායනයයි. ඉන් වැසි ලබාදී රටට සෞභාග්‍යය උදාකර දෙන ලෙස ඉල්ලා සිටීම සිදුවේ. එය සොබාදහමෙන් කරන ආයාචනයකි. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මහනුවර දළදා මාලිගය, කතරගම කිරි වෙහෙර ආදී රටේ බොහෝ ප්‍රධාන පෙළේ පූජනීය ස්ථානවලට වැසි පතා බාර හාර වෙති. පුදපූජා පවත්වති.
වැස්ස පමාවන බවට සොබාදහමේ නිමිතිවලින්ද නුවර කලාවියේ ගොවියා දැනගනී. කිරල්ලු වැවේ ජලය රඳන කොටසේ බිත්තර දමන්නේ නම් වඩු කුරුල්ලා වැව් තාවුල්ලේ කුඹුක් ගස්වල පහළ අතුවල කූඩු තනන්නේ නම් වැස්ස පමා වේ. අහසේ වැහි වලාකුළු (වැහි බිත්තර) රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස හිඟය. වැහි වලාකුළු දිගවී නම් වර්ෂාව නිසැකය.
 
වැස්සට අධිපති දෙවියකු ලංකාවේ නැත. ඒත් ඉන්දියාවේ දේව මණ්ඩලය තුළ සිටින ඉන්ද්‍ර දෙවියා වැස්සට, හෙණ පිපිරුමට සහ කුණාටුවලට අධිපතිය. ඔහු තමා අත තිබෙන වජ්‍රායුධයෙන් හෙණ පුපුරවයි. වැස්ස ලබාගැනීමේ පරමාර්ථයෙන් බලියාග පැවැත්වීමේ සම්ප්‍රදායක්ද පුරාණයේ පැවැත්විණි. ඒත් අද මේ චාරිත්‍ර ඉටුකෙරෙන්නේම නැත. නැතහොත් ඉටුකෙරෙන්නේ ඉතා කලාතුරකිනි.
රජරට නුවර කලාවියේද රාජ වන්නිපත්තුවේද හත්කෝරළේ සමහර ප්‍රදේශවලද වැහි බලි යාගය පැවැත්වුණි. වැස්ස පතා කෙරෙන බලි, සුභූත බලි, හෙළුවැලි බලිය හා ශ‍්‍රී විෂ්ණු වර්ෂාධිපති බලිය නමින් හැඳින්වේ. සුභූත බලියේදී සුභුත නම් මහරහතන් වහන්සේගේ රූපය මැටියෙන් මූර්තිමත් කෙරේ. ශ‍්‍රී විෂ්ණු වර්ෂාධිපති බලියේ හිස කොටස කිඹුල් මුහුණක් ලෙසත් හිසෙන් පහළ කොටස දේව රූපයක් ලෙසත් මූර්තිමත් කිරීම සිරිතයි.
 
සුභූත බලියේ විශේෂත්වය නම් බලියාග සඳහා කිසිවිට යොදා නොගන්නා භික්ෂුන් වහන්සේ නමක් භාවිතයයි. සුභූත බලිය තනා එය ඉදිරිපිට තබාගෙන භික්ෂුන් වහන්සේ සත්නමක් තුන්වරුවක් සුභූත පිරිත සජ්ඣායනය කරති. ඒ වැව අද්දරය. ඉන්පසුව බලිමැස්ස ඔසවාගෙන ගොස් වැවේ තාවුල්ලේ තබනු ලැබේ. මෙහි දී බලි ඇදුරන් විසින් බලියට අදාළ කවි ගායනා කරන අතර භික්ෂුන් වහන්සේ සිටගෙන පිරිත් සජ්ඣායනය කරති. පිරිත් සජ්ඣායනය කිරීමෙන් දින හතක් ඉක්මයාමට මත්තෙන් පිටාර ගලා යන තරමට වැසි වසින බව වැව් ගම්වාසීහු විශ්වාස කරති.
 
වැහි බලිය නිර්මාණයට බලි ඇදුරන් සහභාගි වූයේ නැත. ගොවියන් විසින්ම එකතු වී අඹා ගනිති. එහිදී මුලින්ම කෙරෙන්නේ ප්‍රධාන ගමරාළ සමඟ ගමේ කපුරාළද ගමේ සංහිඳට හෝ දේවාලයට ගොස් නියඟයෙන් වගා හානි වී සතා සීපාවන් විපතට පත්ව ඇති බව නොපෙනේදැයි පළි ගසමින් යාතිකාවක් කිරීමයි. දෙවියන් මැදිහත් වී වැහිගම්පළ මුත්තාට කියා වර්ෂාව ලබාදුන මැනවයි ඉල්ලා සිටී. එසේ නොවුණහොත් වැහි බලියක් අරින බවද එය මහත් ලජ්ජාවකට කරුණක් බවද පවසයි. කෙම්මුරයක් තුළ වැසි නොලැබුණහොත් ගමේ සියලු පිරිමි පිරිස එක්ව වැහි බලි පූජාව පවත්වති. රාත්‍රිය පුරා පවත්වන මෙම බලි පූජාවට කාන්තාවන්ට හා දරුවන්ට සහභාගිවීම තහනම්ය. දෙවියන් අපහාසයට ලජ්ජාවට පත් කරවන අසභ්‍ය අශ්ලීල යෙදුම්වලින් යුත් බලියාග කවි හා කෝල්මුර කවි මෙහිදී ගායනා කෙරේ.
 
 
සමහර ගම්මානවල මෙය පවත්වන්නේ ගොවීන් නිර්වස්ත්‍රවය. එවිට එයට හෙළුවැලි බලිය යැයි කියති.
 
වැහැපං දෙවියා කහපන් දෙඤ්ඤං
දොරකඩ පොල්ගහ නින්දෙම දෙඤ්ඤං
හංඩ මීගොන් බානක් දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙක දෙඤ්ඤං
 
හෙළුවැලි බලිය පවත්වන්නේ රහසිගතවය. ගම්මු ගමරාළ හා කපුවා රහසේ එක්තැන් කරති. පසුව දිනයක් නියම කරගෙන බිරියන්ට හා දුරැවන්ට නොකියා රාත‍්‍රියේම ගෙවල්වලින් පිටතට පැමිණෙති. සංහිඳ (දේවාලය) ආසන්නයට ගොස් සියලුම දෙනා ඇඳුම් උනා දමා නිර්වස්ත‍්‍ර වෙති. මෙතැන් සිට නොයෙකුත් භාණ්ඩලින් ශබ්ද නොසරුප් කවි, යාතිකා කියති. නැටුම් නටති. මේ යාගය එකම ඝෝෂාවක් ලෙසින් මුළු ගම් ප‍්‍රදේශයටම ඇසෙයි. දේව රූප, කඹ, වැල් ආදියෙන් ගැට ගසාගෙන බිම දිගේ ඇදගෙන වැව් සිඳී ගිය පතුලටම පෙරහැරින් යාම සිදුවේ. 
 
මෙම යාතු කර්මයේදී වැව් පිටියේ අඹන වැහිබලිය නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකින්ම සමන්විතය. පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදාහැරීම එක් ලිංගික අභිචාර ක්‍රමයකි.
මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදුජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. නිසි කලට වැසිපල ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී බලියක් තැන්පත් කිරීම  සිදුවේ. වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව ප්‍රසිද්ධියේ කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල්නෑර ප්‍රදේශයට වැසි ලබාදී ගොවිතැනට මඟ හෙළිකරතැයි ගැමියෝ  විශ්වාස කරති. 
හොරෙව්පතාන හා කුඹුක්ගොල්ලෑව - මහපොතාන ග‍මේ හෙළුවැලිබලිය කාන්තාවන් හා ළමුන් එකතුවී පවත්වන වතාවතකි. පොල් කටු හා කටින් නොයෙක් ශබ්ද නිකුත් කරමින් කුණුහරුපයෙන් බණිමින් එහිදී ඔවුහු කවි ගායනා කරති.

 

සේයාරූ I අන්තර්ජාලයෙනි
 කුසුම්සිරි විජයවර්ධන