2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

රෝද තුනක් උඩ හරි කතන්දර

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ත්‍රීවිල් එකක් පදවන කෙනෙක්ට අපේ සමාජයේ තියෙන්නෙ ඒ හැටි හොඳ පිළිගැනීමක් නම් නෙවේ..

- හපෝ... ත්‍රීවිල්කාරයෙක්ද?

- මේ ත්‍රීවිල්කාරයො එක්ක ඩ්‍රයිව් කරන එක නම්...

- බලාගෙන ඔය ත්‍රීවිල්කාරයො එක්ක යන්නෙ රෑ වෙලා...

අහන තරමක් ප්‍රශංසා ඔය වගේ තමයි... ඒත් මට නම් ඉඳහිට හම්බවෙන අපූරු මිනිස්සු ඇරෙන්න අද තව වෙනකල් දෙයියනේ කියලා ත්‍රීවිල්කාරයෙක්ගෙන් අතුරු ආන්තරාවක් වෙලා නෑ..

ගමේදි නම් ගොඩක් වෙලාවට ත්‍රීවිල්වල ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් දන්න කියන අය.. ඉතින් ගේ ඉස්සරහින් යන ත්‍රීවිල් එකකට අත වනලා ආචාර සමාචාර පවත්වන එකයි ඒකකට නැග්ගොත් මොනවා හරි කතාවකට වැටෙන එකයි බොහොම සාමාන්‍යයි..

කොළඹදි වුණත් ඒ ගතිය වෙනස් වෙලා නෑ ඒ හැටි... ඔපීසිය ළඟ ඉන්න ත්‍රීවිල් අයියලා වගේම කොහුවල ඉන්න කාලෙ කොහුවල හන්දියේ හිටිය ත්‍රීවිල් පාර්ක් එකේ කට්ටියත් බෙල්ලන්විල පාර්ක් එක ළඟ ඉන්න කාලෙ එතන ත්‍රීවිල් සෙට් එකත් දැන් බෙල්ලන්තොට හන්දියේ ගයාන්ලාත් කොහේ දැක්කත් විහිළුවක් කරලා හිනාවෙලා යන තරමට මාත් එක්ක බොහොම සුහදයි.. කොහෙදි හරි දැක්කම යනවද කියලා අහලා ලිෆ්ට් එකක් හම්බවෙන එක වගේ වාසියක් මිස ඒකෙන් මට අවාසියක් නම් වෙලා නෑ කවදාවත්..

“හදිස්සියෙ කොහෙදි හරි මොකක් හරි අවුලක් වුණොත් පටස් ගාලා කියන්න... කන්ටෑක්ස් තියෙනවා ඉතින් හතර වටේ... එහෙම නැතුව බෑනෙ ඉතින් මේ රස්සාව කරද්දි”

දවසක් ගයාන් එක්ක කොහෙ හරි යද්දි පාර දිගට දාගෙන ගිය සැලියුට් පාරවල්වලට මම හිනා වුණාම ගයාන් කිව්ව. ඒ වෙලාවෙ නිකම්ම හිනා වුණත් ඒ කතාව කිව්වෙ බොරුවට නෙවෙයි කියලත් මම දැනන් හිටිය.. සමහර පොෂ් වාහනවල යන ලොකු යාළුවොන්ට වඩා අකරතැබ්බයක් වෙච්ච අවස්ථාවල රස්තියාදුකාරයො කුඩුකාරයො සල්ලාලයො කියන මිනිස්සු උදව්වට ආව අවස්ථා මගේ ජීවිතේ අනන්තවත් තියනවා.

“මිස් .. මිස්ට කවුරු හරි ගැන දැනගන්න ඕනි නම්... චරිත සහතිකේ ගන්න ඕනි කාගෙන්ද දන්නවද?”

“ග්‍රාමසේවකගෙන්”

“පිස්සුද මිස්.. ළඟම ත්‍රීවිල් පාර්ක් එකේ ත්‍රීවිල් එකකින්... දැන් මිස්ම බලන්න මිස් මෙතනින් දවසට කී වතාවක් එහෙට මෙහෙට යනවද... මිස් යනවා... අපි මිස් දිහා බලා ඉන්නවා... මිස් කා එක්කද යන්නෙ කා එක්කද එන්නෙ... හදිසියෙ ත්‍රීවිල් එකකට නැග්ගොත් ගන්න කෝල්වලින් හැසිරීමෙන්... අපිට හැරෙන කොට මිස් ගැන කියන්න පුළුවන්”

මට ඉස්සෙල්ලාම ඔය ගැන කිව්වෙ කොහුවල හන්දියෙ ත්‍රීවිල් පාර්ක් එකේ අයියෙක්. පස්සෙ හිතලා බලද්දි මටත් හිතුණා යකෝ ඒ කතාව මොන තරම් ඇත්තද කියලා..

ඒ දන්න අයනෙ.. නොදන්න අය අතරෙත් මට අපූරු මිනිස්සු මුණගැහිලා තියනවා..

“මම පාර දන්නවා මිස්”

“මිස් මාත් එක්ක ගිහින් තියනවා මීට කලින්”

ඉස්සර පශ්චාත් උපාධිය කරන කාලේ රෑ දේශන ඉවරවෙලා ඇවිත් බොරලැස්ගමුවෙන් හැලුනට පස්සෙ ලාෆ් එක ළඟ තියන ත්‍රීවිල් එකකට නැඟලා බෙල්ලන්විල පන්සල ගාවින් හැරෙන්න පළවැනි උපදෙස දෙද්දිම එක කොලුවෙක් මට එහෙම කියන්න පුරුදුවෙලා හිටියා... දවසක් දෙකක් ගියාට පස්සෙ ඒකා ඒ වෙලාවට වෙන හයර් යනවා නම් මම අද නෑ මිස් කියලා කියන්නත් පුරුදු වුණා.. ෆුඩ් සිටි එක ළඟ.. ආපිකෝ එක ළඟ ඉන්න අයත් එහෙමයි.. ගොඩ වෙලාවට මං සලකුණු ප්‍රතික්ෂේප කරනවා ත්‍රීවිල් එකට නැග්ගම. ඉතින් මට මතක් වෙන්නෙම චරිත සහතිකේ කතාව..

ඔය කෙටි ගමන් බිමන් අතරේ... රට යන අත ගැන, අද සමාජය ගැන, දේශපාලනය ගැන ත්‍රීවිල්කරුවෝ කියන දේවල් ඇහුවාම මට ගොඩක් වෙලාවට හිතිලා තියනවා අපේ රටේ දේශපාලනඥයන්ට වඩා ත්‍රීවිල්කාරයකුට ඒ ගැන තියන දැනුම වැඩියි කියලත්..

ඔය අතරේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න පවා කියවන අය ඉන්නවා. .මහරගම එක්කෙනෙක් හිටියා මම එයාගේ ජීවිත කතාවම දන්නවා. බඳින්න කලින් ගෑනු ළමයා ගැන කිව්වා... ඊට පස්සෙ කරගත්තු ගොන්කම ගැන කිව්වා... අන්තිමට දෙන්නා දෙපැත්තකට වෙච්ච බවයි, මම නම් යන්නෙ නෑ මිස් දෙකට නැවෙන්න කියලත් කිව්වා. ඊළඟ පාර හම්බ වුණොත් එයාගෙ වයිෆ් තමා ලෝකෙ හොඳම වයිෆ් කියන්න බැරි නෑ. මේ වෙද්දි බත් හැලි ගණනාවක් ඉදිලා ඇතිනෙ ඉතින්. ඔය ඔක්කොම අවුරුදු දෙකක් වගේ ඇතුළත වුණේ.. ඒ හැම පාරම කලින් කතා මට කියපු බව මිනිහට මතක් වෙන්නෙ බෙල්ලන්විලින් හරවද්දි.. මම මුලින් හිතුවා මිනිහා හැමෝම එක්ක කියවනවා ඇති කියලා... පස්සේ වෙන යාළුවෝ කීපදෙනෙක්ටත් මිනිහවම සෙට් වුණා කියලා දැනගත්තම මම ඒ ගැන ඇහුවා.. හයර් එක දුවලා සල්ලි අතට ගන්නකලුත් හ්ම්ම් සද්දයක් නෑලු. ඒත් මම හ්ම්ම් නොකියා හිටියත් ඒ මිනිස්සු මාත් එක්ක කතා කරන්නෙ ඇයි කියලා මම දන්නෙ නෑ.

සමහරවිට මොනවා හරි හේතුවක් මත කතා කරන කෙනා තෝරගන්නවා ඇති. මට මතකයි මගෙ විවාහක යාලුවෙක්ටත් ඔහොම වුණා. පවුල් සංස්ථාවෙ ගැටලුවක් එක්ක එකල මෙකල වෙලා ඉන්න වෙලාවක වාහනේ යන්නෙ නැතුව බොරැල්ලෙ ඉඳන් ත්‍රීවිල් එකක ගෙදර යන්න ගිහින් අන්තිමට තමන්ගේ ප්‍රශ්නෙ ප්‍රශ්නයක්ද කියලා හිතෙන තරමට ත්‍රීවිල් කෙනාගේ පවුල් ප්‍රශ්න ගැන කල්පනා කර කර යාළුවා ගෙදර ගිහින් තිබ්බා. නැන්දම්මලා වයිෆ්ලා බැලන්ස් කරගන්න එක තරම් අමාරු ප්‍රශ්නයක් ලෝකෙ කිසිම මිනිහකුට නැති බවත් ඒක ලොකු පොඩි නැතුව හැම මිනිහෙකුටම පොදු ප්‍රශ්නයක් බවත් පිරිමි හරි අසරණ බවත් තමයි අන්තිමට මගෙ යාළුවාගෙ නිගමනය වුණේ. ගෙදර යනවා වෙනුවට ත්‍රීවිල් එකා එක්ක ආයෙමත් බාර් එකකට ගිහින් කන පැලෙන්න ගහලා ගෙදර නොගිය එක ගැන මම සතුටු වුණා එදා ප්‍රශ්නවල සමානකම අහලා. 

මට මේ ඔක්කොම යාංහෑලි මතක් වුණේ පහුගියදා රෑ 9ට විතර පන්නිපිටියේ ඉඳන් ත්‍රීවිල් එකක ගෙදරට එද්දි.. එන මඟදිගට ඒ මනුස්සයා බුද්ධාගම.. අනෙත් ආගම්.. මැදපෙරදිග.. අපේ රටේ මිනිස්සුන්ගෙ නිදහස වගේ දේවල් ගැන කතා කර කර ආව හැටියට මට දැනුණෙ නිකම් මම ඒ සම්බන්ධ ලොකු දේශනයකට සහභාගි වෙලා ආවා වගේ..

මම හිතන්නෙ උගත්කමෙයි බුද්ධිමත්කමෙයි ලොකු වෙනසක් තියනවා. අත්දැකීම් ඇසුරින් ගන්න දේවල් තරම් සිද්ධාන්තවලින් ගන්න දේවල් ජීවිතේට ප්‍රායෝගික වෙනවා අඩුයි.

I රජිතා අබේසිංහ