මම ඉයුජින් ඩ්‍රෝ හඳුනන්නේ කාලයක ඉඳලයි. කිහිපවතාවක්ම ලංකාවේ සංචාරය කරලා තියෙන ඩ්‍රෝ පහුගියදා ලංකාවට ආපු වෙලාවෙදි මම ඔහු එක්ක පිටකොටුවේ පුංචි සවාරියක් ගියා. ඩ්‍රෝ කියන්නෙ දක්ෂ වයලින් වාදක ශිල්පියෙක්. වයලීන් සංගීතයත් එක්ක අවට ඉන්න මිනිස්සු විනෝද කරවන්න තමයි ඔහුට ඕනෑ කළේ. පිටකොටුවේ වීථි අතර ඇවිද යමින් තමන්ගේ වයලීනයෙන් මිනිස්සුන්ව එකතු කරගන්න ඔහුට පුළුවන් වුණා.
“මට පිටකොටුව කියන්නෙ හරියට දේවස්ථානයක් වගේ තැනක්. මෙතැන ඉන්න මිනිස්සු දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා. මීට කලින් මම තුන්වතාවක් පිටකොටුවට ඇවිල්ලත් තියෙනවා” ඩ්‍රෝ එහෙම කිව්වා.
ලෝකය පුරා විවිධ තැන් රැසකදී තම සංගීත දක්ෂතාවයත්, විවිධ ජන කණ්ඩායම් ඇසුර නිසා ඉගෙනගත් සෞන්දර්ය හැකියාවනුත් නිසා ඔහුට වෙනම රසික පිරිසක් ලෝකය පුරා විහිදී සිටිනවා. ඔවුන් ඔහුව අමතන්නේත් ඩොක්ටර් (ආචාර්ය) ඩ්‍රෝ කියන සුරතල් නාමයෙන්. ඔහුත් ඒ නමට ගොඩක් ඇලුම් කරනවා.
පිටකොටුවේ වීථි අතර වයලීනය වාදනය කරද්දී ඩ්‍රෝට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහරු ගීත ගායනා කරද්දි තවත් සමහරු නටන්න පවා ඉදිරිපත් වුණා. ගිනි මද්දහනේ පිටකොටුවේ අපේ පුංචි සාදය පැවැත්වුණේ අන්න එහෙමයි.
I ධනූ
ඡායාරූප - You’re My Favorite