හබරණ ප්‍රදේශයට අලුතින්ම එකතුවුණු සාමාජිකයා විදිහට Saunter Paradise හෝටලය සැලකිය හැකියි. හබරණ දිගම්පතන ප්‍රදේශයේ අක්කර 6.5ක භූමියක විහිදී තිබෙන මේ සුන්දර හෝටලය සතුව ඩිලක්ස් කාමර 44ක් සහ එක් Suite මාදිලියේ කාමරයක් සහිතව ෂැලේ 45ක් තිබෙනවා.
මිනිබාර්, කේබල් ටීවී, වයි ෆයි, සංගීතය සහිත කාමරවලට මනාව නඩත්තු කරන ලද ගෙවත්තේ අලංකාර දර්ශන හොඳින් දිස්වෙනවා. ඩිලක්ස් කාමරවල ඉදිරිපස විවෘත ආලින්දයකුත් තිබෙනවා. ඒ වගේම කාමරය ඇතුළත ඉඩකඩත් ගොඩක් වැඩියි. මේ නිසා හොඳ සුවපහසු විවේකී විරාමයක් ලබන්න මෙතැන කදිමයි. කාමර දෙක බැගින් ඇති ෂැලේ කුඩා පවුලකට හොඳින් ගැලපෙනවා. Suite කාමරයේ පස්දෙනකුට නවාතැන් ගත හැකියි. මේ හෝටලය සොබාදහම එක්ක බොහොම සමීප ගනුදෙනුවක් කරන හෝටලයක්. ඒ නිසාම හෝටලය පිටුපස වනාන්තරයේ සිට කඳවුරු බැඳීමේ අත්දැකීම පවා ලබන්න පුළුවන්.
ආහාරපාන ගැන කතාකරද්දී මෙතැන වැඩි තැනක් හිමිවන්නේ දේශීය කෑමබීම වර්ගවලටයි. ඒ අතුරිනුත් කිසිදු වසක් විසක් නොයෙදූ කාබනික එළවළු හා පළතුරු විශේෂයි. මේ හෝටලයේ සිට අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල වගේම මහනුවර කියන ඓතිහාසික නගර කරා එහෙමත් නැත්නම් යුනෙස්කෝ උරුමයන් වෙත පහසුවෙන් ළඟාවිය හැකියි. ඒ වගේම මේ අවට හාත්පසින්ම පිහිටලා තියෙන්නේ ජාතික වනෝද්‍යාන නිසා (මින්නේරිය, කවුඩුල්ල, හුරුළුවැව, රිටිගල) ඒ අත්දැකීමත් මෙහි සිට විඳගන්නත් පුළුවන්.
I සනත් වීරසූරිය