හතර කේන්ද්‍රය පාළු වූ විට සාර්ථක ගිහි ජීවිත ගත කළ නොහැකි අතර ඔවුන් මහණකමට පමණක් සුදුසු යැයි යන මතය සමාජගත වී තිබේ. එහෙත් පුළුල්ව සලකා බලන විට මෙම අදහස සියයට සියයක්ම නිවැරදි නොවන බව පෙනෙන්නට තිබේ. මේ පිළිබඳ ප්‍රබල ජ්‍යොතිෂවේදීන් දෙදෙනකුගේ මත විමසුමකි මේ.
හතර කේන්ද්‍රය පාළුවී ඇති අයට ගිහි සැප උරුම නැති බවටද ඔවුන් මහණ කළ යුතු බවට ද අද දක්වාම මතයක් තියෙනවා. ඇතැම් ජ්‍යොතිෂවේදීන් ද මේ මතය පිළිගෙන තිබෙන බවක් ද දක්නට ලැබෙනවා. එහෙත් මෙම තත්ත්වය ගැඹුරෙන් විමසුමට කල්කළ යුතුයැයි යන්න මගේ අදහසයි. ඇතැම් අවස්ථාවල එලෙස සිදුවීමට ද තවත් අවස්ථාවල නොසිදුවීමට ද ඉඩ තිබෙනවා.
කේන්ද්‍රයේ කොටු 12ට අයත් වන ග්‍රහයන් තිබෙනවා. කේන්ද්‍රයේ භාවවල හෙවත් කොටුවල ඇතැම් ඒවායේ එක ග්‍රහයා බැගින් ද සමහර වෙලාවට දෙදෙනා තිදෙනා බැගින් ද සිටිනවා. එවැනි විටදී ඇතැම් කොටු ග්‍රහයන් නොපිහිටා හිස්ව තිබෙන බව පෙනෙන්නට පුළුවන්.
1 කොටුවෙන් දෛවය හා පෞරුෂයද 4 කොටුවෙන් යාන වාහන හා ගෙවල් දොරවල් ද, 7 කොටුවෙන් විවාහය හා පවුල් කටයුතු හා 10 කොටුවෙන් රැකියාව, තනතුරු හා සමාජ තත්ත්වය ද පෙන්වනවා. මේ කොටු හතර පාළුවූ විට තියෙන ලක්ෂණ අනුවයි හතර කේන්ද්‍රය පාළුයි කියන මතය වන්නේ.
මේ භාවවල අධිපති ග්‍රහයන් සිටින අතර ඔවුන් වෙනත් ස්ථානවල සිටින විට මෙම කොටු හිස්වේ. එම ග්‍රහයන්ගේ බල දුබලතාව මත තමා ඒවායේ ක්‍රියාකාරිත්වය ඇති වන්නේ. ජ්‍යොතිෂයේ දැක්වෙන යෝග ගණනාවක් ඇත. ඒ යෝගවල පිහිටීම අනුව පුද්ගලයාගේ ඉටු අනිටු ඵල පෙන්වනවා. 4 කේන්ද්‍රයේ ග්‍රහයන් නැතිවීම ද එක්තරා යෝගයක්. එය අයහපත් යෝගයක් ලෙසයි ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ. එහෙත් මෙම යෝගවල් භංගවෙන අවස්ථා තිබේ නම් ඒවායේ නරක ඉස්මතු වන්නේ නැහැ. ඒවා රාජයෝග බවට පත්වෙනවා. නීච භංග රාජ යෝගය එක් උදාහරණයක්. ග්‍රහයෙක් නීච වනවිට ඒ ග්‍රහයාගේ නීචය භංගවීමෙන් රාජ යෝගයක් උදාවෙනවා.
කොටු හතරේ ග්‍රහයන් නැතිවීම අයහපත් යෝගයක්. නමුත් එහි නරක භංගවෙලා විශාල ලෙස යහපතක් වේනම් එය හොඳ බලගතු රාජ යෝගයක්. ඒ නිසා කිසිදිනක හතර කේන්ද්‍රයේ ග්‍රහයන් නැතිනම් එය නිසාම ප්‍රතික්ෂේප නොකළ යුතුයි. එය විටක මහා බලගතු කේන්ද්‍රයක් විය හැකියි. එවැනි කරුණු කේන්ද්‍රයක් මගින් අනාවරණය කරන විට පරිසර සාධකය ඉතා වැදගත්. මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසරය මෙයට අදාළයි. එය ග්‍රහබලය අභිබවා යන බලයක්. එය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක්.
හතර කේන්ද්‍රය පාළුවූ අය පැවිදි කළවිට මහා වියත් පඬිවරුවන් විය හැකියි. අර මුලින් කී පරිසර බලය මෙයට සාධක වෙනවා. හතර කේන්ද්‍රය පාළුවූ අයගේ ගිහි ජීවිත අසාර්ථකයැයි කියන මතයද වැරදියි. ඒ මොකද එවැනි ඉහළ නිලතල දරන, උගත් බුද්ධිමත් වියතුන් සිටිනවා. එයට හේතුව එම පාළුව භංගවීමයි.
අනිත් අතට හතර කේන්ද්‍රය පාළුයැයි කියලා සියයට සියයක් තීරණය කරන්නේ 1, 4, 7, 10 කොටුවල ග්‍රහයන් නැතිවීම නිසා පමණක් නොවෙයි. කෙනෙකුගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවේ වෙනත් ග්‍රහයන් පිහිටන්නේ නැහැ. එලෙස චන්ද්‍රයා කොටුවක වෙනත් ග්‍රහයන් නැතිව තනිව සිටින විට එහි 4, 7 හා 10 ග්‍රහයන් නොමැති නම් හතර කේන්ද්‍රය පාළුයැයි කියනවා.
1, 4, 7 සහ 10 කොටු නිසා කේන්ද්‍රයෙන් පාළු බවට සලකන්නේ සියයට 50ක ප්‍රමාණයක්. චන්ද්‍රයාගෙන්ද කේන්ද්‍රය පාළුවූ විට තවත් සියයට 50ක් එකතුවෙනවා. එවිටයි සම්පූර්ණයෙන්ම හතර කේන්ද්‍රය පාළුයැයි කිව හැකිවන්නේ මෙලෙස හතර කේන්ද්‍රය පාළුවූ අයගේ විවාහ ප්‍රමාද වෙන යෝග තිබිය හැකියි. ඒනිසා හතර කේන්ද්‍රය මත පමණක් පිහිටා කෙනෙකුගේ විවාහය සාර්ථක ද අසාර්ථක ද කියා නිශ්චය කරන්න බැහැ. විවාහය පිළිබඳ බලපවත්වන තවත් ග්‍රහයන් සිටිනවා. ඒ බලපෑම් ගැනද සෙවිය යුතුයි.
ජ්‍යොතිෂවේදි තිලක් ද සිල්වා
මාලඹේ.
කෙනෙකුගේ කේන්ද්‍රයක කොටු 12ක් තිබෙනවා. එහි 1, 4, 7 හා 10 යන කොටුවල රාශි හතරේ එක ග්‍රහයෙකුවත් නොසිටියොත් හතර කේන්ද්‍රය පාළුය කියලා කියනවා. බැලූ බැල්මට මෙවැනි කේන්ද්‍ර හිමිකරුවන් ඉතාම අවාසනාවන්තයන් ලෙස හඳුන්වන අතර ඔවුන්ගේ ජීවිත අසාර්ථක බවද කිසිදු යහපතක් සිදුනොවන බවද පවසන අය සිටිනවා. විවාහය ආදී ගිහි ජීවිත සැප නොලැබෙන ඔවුන් වඩාත්ම සුදුසු මහණ කිරීමටයයි මතයක් තිබෙනවා.
එහෙත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නැති බව පැවසිය යුතුයි. ග්‍රහයන් එම කොටුවල නොපිහිටි පමණින්ම ඔවුන් අවාසනාවන්තයන් වෙන්නේ නැහැ. හතර කේන්ද්‍රය පාළුවී ඇතත් අපේ රටේ උගත් වියතුන් උසස් යැයි සම්මත ශ්‍රේෂ්ඨ අය නොයෙක් වගකිවයුතු තනතුරු දරන උසස් නිලධාරීන් ඕනෑ තරම් ඉන්නවා. 1, 4, 7, 10 යන ක්ෂේත්‍ර බලයෙන් යුතු ග්‍රහයන් සිටීම නිසා මෙම අවාසනාව දුරුව හතර කේන්ද්‍රය පාළුවූ දෝෂ සම්පූර්ණයෙන් භංග වෙනවා.
යම් කේන්ද්‍රයක 5 හා 9 යන භාග්‍ය ස්ථානවල ප්‍රබල ග්‍රහයන් පිහිටි විට දෝෂය සම්පූර්ණයෙන්ම භංග වෙන බව අපගේ පූර්වාචාරීන්ගේ මතයයි.
හතර කේන්ද්‍රය පාළුවූ අය මහණ කළ යුතු බවයි අපගේ ජනවහරේ දක්නට ඇත්තේ. කෙනෙකු මහණ වූ විට ඒ අයගේ හතර කේන්ද්‍රය පාළුද යන්න විමසනවා. එයට යම් හේතු තියෙනවා.
කේන්ද්‍රයේ මෙම කොටු හතර බලවත් ස්ථාන හතරකි.
1 කොටුව යනු ආත්මශක්තිය, පෞරුෂය, ඉදිරිපත්වීමේ හැකියාව, ගතිගුණ, චරිතය, ශරීර ශක්තිය පෙන්වන ස්ථානයයි.
එසේ නම් එම කොටුව පාළුවීම නිසා පුද්ගලයා එම ලක්ෂණවලින් තොර දුර්වලයෙකුවේද? එහෙත් හතර කේන්ද්‍ර පාළුවූ අපේ නායක ස්වාමීන් වහන්සේලා උගත් යතිවරයන් වහන්සේලා සහ ගිහි වියතුන් එවැනි පුද්ගලයන්ද යන්න විමසීම වටි.
4 කොටුවෙන් චින්තන ශක්තිය, අධ්‍යාපනය, නිවාස සහ ගෘහ පාලනය ආදිය දැක්වේ. එසේ නම් මෙම දුර්වලතා ඇති අය මහණ කිරීමට සුදුසු ද යන්න බැලිය යුතුයි.
7 කොටුවෙන් සාමූහිකත්වය, සහයෝගිතාව, සම්බන්ධතා, මිත්‍රත්වය පෙන්නුම් කරනවා. මේ ගතිගුණ නොමැති අය මහණකමට සුදුසු වේද?
10 කොටුවෙන් තනතුරු ලැබීම, තාන්න මාන්න ලැබීම, ගෞරවාන්විත බව, වැඳුම් පිඳුම් ලැබීම, නායකත්වය, ප්‍රමාණත්වය ආදි චරිත ලක්ෂණ පෙන්වනවා. මෙම කොටුව පාළුවීම මහණකමට සුදුසුද?
මේ කොටුවල ග්‍රහයන් නොමැතිවීමට මහණකමට සුදුසුකමක් බවට තීරණය කිරීම නුසුදුසු බව හොඳින් වටහා ගත යුතුය.
එසේම හතර කේන්ද්‍ර පාළුව කෙනෙකුගේ විවාහයට අහිතකර ලෙස බලපාන්නේ නැත. ඒ නිසා එවැනි කේන්ද්‍ර හිමියන් විවාහයට නුසුදුසුයැයි පොරොන්දම් නොබලා ඉවත දැමීම නොකළ යුතු දෙයකි. විවාහය ගැන වූ කරුණුවලදී හතර කේන්ද්‍රය පාළුවුවද 5 හා 9 යන කොටු හොඳවීම ඒවායේ සුව ස්ථානවල බලවත් ග්‍රහයන් පිහිටි විට විවාහයට බාධාවක් නොමැති බව සැළකිව යුතුය. එවැකි අය විවාහවී සාර්ථක පවුල් ජීවිත ගත කරනවා.
ජ්‍යොතිෂ උපදේශක
පී.ඇම්. මුදලිගේ
වංචාවල.