2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කලා-බර කලාකරුවෝ

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

කිසියම් දේශයක ජන සමාජයකට කලාකරුවන් කියලා විශේෂ කොටසක් සිටින්නේ ඇයි? මේ ප්‍රශ්නයට සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් වෙනස් උත්තර ලැබෙන්න පුළුවන්.

ඔවුන් අපට වින්දනය සහ විනෝදය සපයන්න හැකි පිරිසක් කට්ටියක් එහෙම කියයි.

අප තුළ සිටින දෙවියන්ගේ ප්‍රතිරූපය ඒ අය නිසා හඳුනාගන්න පුළුවන් ඒ තවත් අදහසක්.

වඩාත් දැනුම්වත් පුද්ගලයෙක් නම් කියයි, කලාකරුවෝ තමයි සමාජ යථාර්ථය සහ සුන්දරත්වය පහදා දෙන්නෙ කියලා. වෙනත් උත්තරත් තියෙන්න පුළුවන්.

එසේ නම් මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ කලාකරුවෝ ජන සමාජය යහපත් තැනකට ගේන්න උත්සාහ කරන බොහෝම සංවේදී (සරසවි බැලුම් ලැබුවාවූ) පිරිසක් කියලයි. ඒ කලාකරුවන් පිළිබඳ අපේ රටේ මිනිසුන්ගේ මනස සැකසිලා තියෙන්නේ ආසියාතික ජන සමාජ මතවාදයට සමාන්තරවයි. කලාව දෙවියන් විසින් මිනිසාට දුන් තෑග්ගක් බවත්, කලාකරුවා උසස් මනුෂ්‍යයෙකු බවත් මේ මතවාදවලින් ප්‍රකාශ වෙනවා. මේ නිසාම කලාවේ නියෝජිතයා වන කලාකරුවාට සමාජය තුළ එක්තරා ආකාරයකට උසස් ස්ථානයක් හිමිව පවතිනවා. මේ නිසා ඔවුන් පවසන දේට, කරන දේට සමාජයේ දී එක්තරා දුරක වලංගුභාවයක් හිමවෙනවා. ලංකාව වගේ රටක කලාකරුවන් ගත කරන්නේ බොහෝම සීතල ජීවිත (වැඩිදෙනා). එහිදී එකිනෙකාගේ බෙලි කපාගෙන පෙරට ඇදෙන මේ මැද පන්තියේ කලාකරුවෝ නිර්මාණ ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, බහු පක්ෂ දේශපාලනයක් පවතින හෝරාවක (මැතිවරණ පවතින මොහොතක) ඔවුන් වඩාත් උණුසුම් වෙනවා. මැතිවරණ කාලසීමාවේ දී සමාජමය කුම්භකර්ණ නින්ද බිඳදමමින් ඉතා යුහුසුළුව, ප්‍රාණවත්ව පක්ෂ දේශපාලනයේ තම ලකුණ සොයාගැනීමට ඔවුන් වෙහෙස මහන්සි වෙනවා. මෙහිදී කලාකරුවන් යැයි කියාගන්නවුන්ට අමතරව ආචාර්ය, මහාචාර්යවරුන් පවා වැදගත් වැඩ කොටසක් දේසපාලුවන්ට ඉටුකර දෙනවා. එහිදී ඔවුන් වලිගය ගිනිගත් හනුමන්තාගේ විලාසයෙන් වන්දිභට්ටකම් කරමින් දේශපාලකයන්ගේ අනුපාන්තිකයන් විදිහට සමාජයේ සැරිසරනවා.

ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලනය වටා රොද බැඳ අත්වැල් බැඳගන්නේ ඇයි? බලයට පත්වන ආණ්ඩුවලින් තාන්න-මාන්න ගන්න ඉහළ පුටුවලට පත්වන්නට තම සතුරන්ගෙන් පළිගන්නට වැනි විවිධ කාරණා ඔවුන් තුළ මතුව පවතිනවා. එසේ නැතිව නිරාමිස චේතනාවෙන් දේශපාලනයට පිවිසීම ගැන කීම විහිළුවකි. එහෙත් ඔවුන් ජනතාවට කියන්නේ වෙනත් කතාවක්. ඒ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, සහජීවනය, ජනතාවට ඉසුරුබර හෙටක් යන සංකල්ප වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

මේ අර්ථයෙන් බැලූ විට මොවුන් සත්‍ය වශයෙන්ම කලාකරුවන්ද? වන්දිබට්ටයින්ද? යැයි වටහා ගැනීමට සිදුව තිබෙනවා. ඔවුන් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ජනතාව වෙනුවෙන් සිතා බලාද? සංවේදී, කලාකාමී, ප්‍රතිභාපූර්ණ මේ පිරිස් ගොනු වී ඇත්තේ කා වෙනුවෙන්ද? ඒ තමන්ගේම බඩගෝස්තරවාදය පිණිසමයි.

මේ අනුව පෙනී යන කරුණ වන්නේ අපේ රටේ කලා-බර කලාකරැවන් බොහෝ දෙනාට සමාජ විඤ්ඤාණය නොමැති බවයි. සිය කලා නිර්මාණ කාර්යයේදී බරපතළ සමාජ යථාර්ථයන් ගැන කතා කරන්නට ඔවුන් ගන්නා උත්සාහය ඇත්තෙන්ම බොරුවක් බව ඒකෙන් ඔප්පු වෙනවා. සමාජීය වශයෙන් ඡන්දයක් වැනි අවස්ථාවක දී විකල්ප ස්ථාවරයක් ගත නොහැකි ස්වාධීන වැඩ පිළිවෙළක් සමාජයට දීමට නොහැකි ඔවුන්ගේ කලාකෘති තුළින් ජනතාව දැනුම්වත් කිරීමට හැකිදැයි සමාජයක් වශයෙන් මෙයට වඩා සිතිය යුතුයි.

 ජගත් පෙරේරා - මොරගොඩ, ගම්පහ