2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මෝඩයි - මර්ඩර් පටලැවිලා වෙච්ච ජරමරේ

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ගුරුවරුන්ගේ කීමට අපි එහෙම කළාට සර්ගේ වටිනාකම පස්සේ තමයි තේරෙන්න පටන් ගත්තේ. පුංචි පන්තිවල ඉගෙන ගන්න දවස්වල අපට වෙනම හොස්ටල් එකක් තිබුණා. කදුරු ගස් හන්දියේ තමයි ඒ හොස්ටල් එක තිබුණේ. පස්සේ කාලයක දි කුරුණෑගල නගරාධිපති වූ නොයෙල් සෙනවිරත්න මහත්තයාට අයත් ගෙදරක තමයි එදා මලියදේව කනිෂ්ඨ නේවාසිකාගාරය පවත්වාගෙන ගියේ. අපිට උදේට කෑම ඒ නේවාසිකාගාරයෙන් ලැබෙනවා. දවල් කෑම ඉස්කෝලේ ඇතුළෙ තියෙන හොස්ටල් එකෙන් දෙනවා. මේ ඇතුළෙ හොස්ටල් එකේ උදේට උයපු කෑම තමයි දවල්ටත් දෙන්නෙ. ඩී.බී. සමරකෝන් කියන සර් තමයි නේවාසිකාගාර භාර සර්. අපි මේ ගැන සර්ට කිව්වා. ඒ සර් මේක ප්‍රින්සිපල් සර්ට කියලා තියෙනවා.

දිසානායක සර් අපි කීපදෙනෙක් ඔෆිස් එකට ගෙන්නුවා. කාරණාව අහලා සර් මට කිව්වා ටිකිරි බණ්ඩා මේ වැඩේ උඹලා කරන්න ඕන. උඹලා කොහොම හරි උදේට උයන කෑමවලට ලුණු වැඩිපුර දාන්න ඕන^ කියලා. අපි හොරෙන්ම ඒ වැඩේ කළා. දවල්ටත් ඒ කෑමම අපට දුන්නා. වැඩේ සර්ට අහුවුණා. එදාම නේවාසිකාගාරයේ මැනේජර් අයින් කළා.

හොස්ටල් එකේ කෑම හොඳ නෑ කියලා සර්ට දැනුණොත් සර් අපට නිල නිවාසෙට එන්න කියලා කෑම දෙනවා. ක්‍රිකට් පැක්ට්‍රිස් ඉවර වෙලා හවස සර්ගේ බංගලාවට ගිහින් අපි කෑම කනවා. එහෙම කළත් අපි මොනවා හරි වැරුද්දක් කළොත් ගහනවාමයි. එතකොට අර සම්බන්ධතා මොකුත් නෑ. ඩී.බී දිසානායක සර්ගේ දඬුවම තමයි අපට කරපු උසස්ම සැලකිල්ල කියලා මට අද හිතෙනවා.

ගුවන් හමුදාවට බැඳුණාට පස්සේ දියතලාවේ පුහුණුවට යන්න අපි කණ්ඩායම රාගමින් දුම්රියට නැග්ගා. අපට කටුනායක කඳවුරෙන් බෑග් එකක් දීලා තිබුණා. අලි කකුල කියලා තමයි ඒ බෑග් එකට අපි කිව්වේ. බූට්ස්, කිට් එක ඇතුළු ආම්පන්න ඒකෙ තමයි දමාගෙන ගියේ. ගුවන් හමුදාවේ සිරිත් විරිත් ගැන අපට අවබෝධයක් නෑනේ. අපි කෝච්චියේ යද්දි විනෝදයෙන් ගියා. ගෙදරින් අරන් ගිය කෑම හුවමාරු කරගනිමින් කකා බිබී ගියා.

කොහොම හරි දියතලාවට ඇවිත් අපි කෝච්චියෙන් බැස්සා. ඒත් කතාව, කලබලය අඩු නෑ. සමහරු තමන්ගේ ජෝග්ගු හොයනවා. ඔය විදිහට එකම ගාලගෝට්ටිය. අපට ගෙනියන්න පුහුණු කිරීමේ අංශයේ නිලධාරීන් ස්ටේෂමට ඇවිත් හිටියා. ඒ අය මේවා බලාගෙන ඉඳලා. අපව වාහනවලට නග්ගාගෙන බලු විදිහට අපට බණින්න පටන් ගත්තා. හැසිරෙන්න දන්නේ නෑ කියලා තමයි ඒ බැන්නේ. අන්තිමට අපේ කණ්ඩායමේ අය සති දෙකක් විතර යනකම් එකිනෙකා කතාබහක් නැතිව ගියා. හැබැයි පස්සේ කාරණා කාරණා අපට තේරුම් කරලා දුන්නා. එහෙම නොකර විනය පවත්වාගෙන යන්න බෑ කිව්වා.

දියතලාව පුහුණු කඳවුරේ ඉද්දි උදේට ඉන්ස්පෙක්ෂන් යනකොට අපි නිදාගන්න ඇඳ, ඇඳ ඇතිරිලි පිළිවෙළට හදලා යන්න ඕන. ඇඳ ඉස්සරහ චිප් බොක්ස් එකක් තියෙනවා. ඒක උඩ බූට්ස් දෙක පොලිෂ් කරලා තියන්න ඕන. කැන්වස් දෙකක් ඒක උඩ තියෙන්න ඕන. කිසිම තැනක දූවිලි තියෙන්න බෑ. නිලධාරීන් උදේට ඇවිත් පරීක්ෂා කරනවා. ඇඟිල්ලෙන් අතගාලා බලනවා. දූවිලි තිබුණොත් ලෙවකන්න කියනවා.

උදේම මේ ඔක්කොම වැඩ කරන්න බැරි නිසා අපි කළේ රෑට බූට්ස් පොලිෂ් කිරීම් ආදිය කරලා ඒවා පිළිවෙළට තියාගන්න එකයි. ඇඳේ ඇතිරිල්ල, කොට්ටය හරියට සකස් කරලා තියලා බිම නිදාගන්නවා. හරිම සීතලයි. ඒත් ඒවා ඉවසාගෙන බිමම තමයි නිදාගත්තේ. පහුවදා උදේට රෙදි කෑල්ලක් තෙමලා ඇඳ යට පිහදානවා.

අපේ ගම (මොලෑව) පැරැණි කාලයේ සිටම ප්‍රසිද්ධ වෙලා තිබුණේ මෝඩ මිනිස්සු ඉන්න ගමක් විදිහට. අර තුම්පනේ වගේ. පටබැන්ද කතා එමටයි. ගමේ මිනීමැරුමක් සිද්ධ වුණා. සැකකරැ අපේ ඥාතියෙක්. ඒ නඩුව පෙරකදෝරැ මහත්තයකුට බාරදෙන්න සැකකරුගේ අයියත් එක්ක මම ගියා. නඩුව බාරදුන්නේ ගල්ගමුව උසාවියේ කතා කරන මලියදේව විද්‍යාලයේ ඉගෙන ගත්ත අපට සීනියර් පන්තිවල හිටපු පෙරකදෝරු මහත්තයකුට. එයා මම දැක්ක ගමන්ම ඇහුවා, මොකද මොලෑවේ මර්ඩර් කේස් එකද? කියලා.

දැන් නඩුව බාරදීලා අපි දෙන්නා එළියට ආවා. සැකකරුගේ අයියා මගෙන් අහනවා, ඈ බාප්පේ පෙරකදෝරැ මහත්තයත් දැනගෙන තියෙනවා නේද අපේ ගම මෝඩයි කියලා. මර්ඩර් කියන වචනය එයාට ඇහිලා තියෙන්නේ මෝඩයි කියලා. පස්සේ මං එයාට කාරණය තේරුම් කරලා දුන්නා.

1950 ගණන්වල ගල්ගමුව නගරයේ හිටියා කේ.එම්.පී. පීර් මොහොමඩ් කියලා මුදලාලි කෙනෙක්. එයා ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙක්. මේ ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රබල ගොවීන්ගේ වී මිල දී ගත්තේ ඒ මුදලාලි. අපේ අප්පච්චිගෙත් හොඳම හිතවතෙක්. එයා වී මිල දී ගත්තත් ඉන්දියාවට වී යවන්න බෑ. ඉන්දියාවට වී අපනයනය කරන්න පුළුවන්කම තිබුණේ සින්නක්කර ඔප්පු තියෙන ඉඩම් හිමියන්ට විතරයි. මේ මුදලාලි කළේ අපේ සින්නක්කර ඉඩම් ඔප්පු මුදලාලිගේ නමට ලියාගෙන මිල දී ගන්න වී ඉන්දියාවට යවන එකයි. වී ටික අපනයනය කළාට පස්සේ ආයි ඔප්පුව අයිතිකරුට ලියලා දෙනවා. එයාට මෙහේ කුඹුරු තියෙන බව සනාථ කරන්න තමයි අර විදිහට කටයුතු කළේ.

අපේ අප්පච්චි කරපු ඒ උදව්වලට කෘතගුණ සැලකීමක් වශයෙන් දැන් මම පදිංචි වෙලා ඉන්න මේ ඉඩම අරන් දුන්නේ ඒ මුදලාලි. මෙතැන අක්කර භාගයක බිම් ප්‍රමාණයක් තියෙනවා. එදා රුපියල් 2000කට තමයි මුදලාලි මේක අරන් තියෙන්නේ. අප්පච්චිව කඩේට ආපු දවසක මගේ නම අහගෙන මගේ නමින් තමයි ඔප්පුව ලියලා ඉඩම මිල දී ගෙන තියෙන්නේ. ඉඩමට දුන්නු මුදලයි, ඔප්පු ගාස්තුයි ඔක්කොම දරලා තියෙන්නේ මුදලාලි. අපෙන් ශත පහක් ගත්තේ නෑ. ඔක්කොම කරලා අප්පච්චි අතට ඔප්පුව දීලා තියෙනවා. අද මේ ඉඩම රුපියල් ලක්ෂ විසිපහක් තිහක් වටිනවා.

ඒ මුදලාලිගේ හොඳ ගතිගුණ තිබුණා. ඒ කාලේ ඈත ගම්වල සිට ගල්ගමුව නගරයට වී ගේන්නේ කරත්ත වලින්. මුදලාලි වී මිල දී ගෙන ඒ එන හැමෝටම කෑම උයලා දෙනවා. කෑමක් බීමක් නොදී කවුරුත් ආපහු යවන්නේ නෑ. 

1971 අප්‍රේල් කැරැල්ල මට හොඳට මතකයි. මම එතකොට දේවගිරිපුර ඉස්කෝලේ වැඩ කළේ. අප්‍රේල් පස්වැනිදා මම ඉස්කෝලේ යන්න පුට්සයිකලෙන් ගියා. ගල්ගමුව ස්ටේෂන් එක ළඟදි කට්ටියක් මාව නතර කරලා කිව්වා, අද වැඩට යන්න එපා. චේගුවෙරා කාරයෝ පොලීසිවලට ගහලා කියලා. ඒත් මම ඉස්කෝලෙට ගියා. එදා ළමයි හරිම අඩුයි. දේවගිරිපුර ගමේ ජේ.වී.පී. අය වැඩියි.

දවල් වෙනකොට අපට ආරංචි වුණා අපේ ඉස්කෝලේ ළමයි දෙන්නකුත් වෙඩි වැදිලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. ඉස්කෝලේ ක්වාටස්වල නතර වෙලා හිටියා වික්‍රමසිංහ හා සිරිසේන කියලා මහත්තුරු දෙන්නෙක්. සිරිසේන මහත්තයා අර ළමයි දෙන්නා බලලා එන්න කියලා දොඩම් ගෙඩි වගයකුත් අරන් රෝහලට ගියා. රෝහලේ දි සිරිසේන මහත්තයා අත්අඩංගුවට අරන්. එයා ජේ.වී.පී. කළේ නෑ. අන්තිමට එයා කඳවුරකට යැව්වා. එයාට මොනවා වුණාද කියලා. ඊටපස්සේ ආරංචියක් නෑ. ඒ දවස් ටිකේ අපිත් බයෙන් හිටියේ. දොර පලුවක් ඇරගෙන තමයි නිදාගන්නේ. ලාම්පුවක් පත්තු කරන්න බෑ. එහෙත් තුවක්කු හොයන්න එනවා. මෙහෙන් හමුදාව එනවා. ළමයි ඉස්කෝලේ එන්නේ නෑ. අපිත් උදේට ඉස්කෝලේ ගිහින් පොත් අත්සන් කරලා ආපහු එනවා යි ඔහු සිය මතක පොතේ පිටු තවත් ඉතිරිව තිබියදී එය වසා දමමින් අවසන් වරට කීය.

සටහන් හා සේයාරූ - 
 ගල්ගමුව නිහාල් ජයවීර

ස්තූතිය - ගල්ගමුව ජයලන්ද පදිංචි කේ.ඩී. තිලකරත්න මහතාට