2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

වනසත්ව රජ දහනක අපූරු ජෙට්වින් විල් උයන

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

අපේ රටේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ ජෙට්වින් විල් උයන කියන්නේ පරිණාමවාදයේ ජීවමාන ප්‍රතිමූර්තියක් කිව්වොත් නිවැරදියි. මුඩු බිමක් තෙත් බිමක් බවට පත්කරමින් නිර්මාණය කෙරැණු මේ අපූරු හෝටල් බිම අද වෙද්දී වනසතුන්ගේ රජදහනක් වෙලා. 

ඒ බිමේ වාසයක කරන දස දහස් ගණනක් සත්ත්ව ශාක ප්‍රජාවගේ සුන්දරත්වය ප්‍රකට කරවන හමුවක් පසුගියදා ජෙට්වින් කලම්බු හෝටලයේදී පැවැත්වුණා. “Wild Vil Uyana” විදිහට නම් කරලා තිබුණු මේ වැඩසටහනේදී ජෙට්වින් විල් උයන වගේම ජෙට්වින් කදුරුකෙත හා ජෙට්වින් සර්ෆ් යන හෝටල් තුනේදීම ගන්නා ලද ඡායාරූප රැසක් ප්‍රදර්ශනයට එක් කර තිබුණා. එමෙන්ම “Wildlife In and Around Jetwing Vil Uyana” නමින් මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදැක්වීමත් එහිදී සිදුවුණා.

ජෙට්වින් විල් උයන හෝටල් බිමේ අක්කර තුනහමාරක ඉඩක් වෙන්වෙලා තියෙන්නේ එම ප්‍රදේශයට ආවේණික උණහපුළුවන් වෙනුවෙන්. ඇත්තටම එතැන දැන් උණහපුළු සංරක්ෂණ බිමක්. මීට අමතරව වල් බළලුන් ආරක්ෂා කිරීමටත් මෙතැන පියවර ගෙන තිබෙනවා. මේ පරිසරයෙන් සමනලුන් වර්ග 36ක්, මාළු ප්‍රභේද 4ක්, උභය ජීවී හා උරග වර්ග 3ක්, කුරුළු විශේෂ 140ක්, ක්ෂීරපායීන් කාණ්ඩ 20ක් පමණ සොයාගත හැකියි.

මේ විවිධත්වය නිසාම විල් උයන භූමිය අද වනවිට පර්යේෂකයින් රැසක් ආකර්ෂණය කරගන්නට සමත්වෙලා. 
දඹුල්ලේ පිහිටි ජෙට්වින් විල් උයන හෝටලය අනුරාධපුරය, සීගිරිය සහ පොළොන්නරුව කරා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් නැවතුම්පොළක් වීමට මේ වනජීවී සෞන්දර්යය විශේෂයෙන් බලපා තිබෙනවා.

I සනත් වීරසූරිය