පසුගිය සතිය තුළ රටපුරා බරපතළ පෙට‍්‍රල් හිඟයක් පැවැතිණ. එය බලවත් අර්බුදයක් වූ අතර ජනජීවිතය නොසන්සුන් විය. තත්ත්වය බැරෑරුම් වනවිට පෙට‍්‍රල් හිඟය ගැන සොයාබලා වාර්තා කරන්නට විශේෂ කමිටුවක් පත් කරන්නට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ අතරවාරයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට දොස් කියන ලද අතර පෙට‍්‍රල් හිඟය ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. ජන අවධානය වෙනස් කරන ආණ්ඩු ප‍්‍රශ්නයක් පැන නැගුණ විට යකෙක් මවා පෙන්වන අතර ප‍්‍රශ්නය ගැන සොයන්නට කමිටුවක් පත්කරයි. මෙම කමිටුවලින් සිදු වූ දෙයක් නැත. ජනතාවගේ විරෝධය අඩුවෙන තෙක් කමිටු ක‍්‍රියාත්මක වන අතර ඉන්පසු සිද්ධිය අමතක කරයි.
රටපුරා අස්සක් මුල්ලක් නෑර සතියක කාලයක් බලපවත්වන ලද පෙට‍්‍රල් හිඟයෙන් සිදුවූ හානියට වගකියන්නේ කවුද?
නොවැම්බර් මාසයේ ඇති එකම දීර්ඝ සති අන්තයේදී විවේකයෙන් සිටි ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය පෙට‍්‍රල් හිඟය හෙයින් කලබලකාරී තත්ත්වයකට පත්විය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රටට ගෙන්වන ලද ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් නැවක් ආපසු හරවා යවන ලද බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පෙට‍්‍රල් බෙදාහැරීමට බාධා සිදුවිය හැකි බවට මතුවූ ආරංචිය මෙයට පසුබිම් වූ බව සඳහන් කළ යුතුය. හැකි ඉක්මනින් තමන්ගේ වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට ප‍්‍රයත්න දරන වාහනවලින් කොළඹ ඇතුළු තදාසන්න සියලු පිරවුම්හල්වල පෝලිම් හැදුණු අතර එය අධි ඉල්ලුමක් බවට පත්විය. ඒ වනවිටත් පෙට‍්‍රල් සීමිතව පැවැති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල්වල පැවැති තොග ඉක්මනින් අවසන් වූ අතර ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වල ඉල්ලුම ඉහළ ගියේය. ඒවායේද පවතින තොග අවසන් වනවිට සංස්ථාවට නිසි තොග සැපයුමක් කරගෙන යන්නට නොහැකි වූ අතර එය මෙම ස්වභාවය තවත් සංකීර්ණ කළේය. ඛනිජ තෙල් වෙළෙඳාමේ දත්ත අනුව සම්පූර්ණ පෙට‍්‍රල් වෙළෙඳාමෙන් සියයට දහසයක ප‍්‍රතිශතයකට හිමිකම් කියන ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදාහැරීම් සම්පූර්ණයෙන් අඩාල වීමෙන් පසු ඛනිජ තෙල් සංස්ථාව නිසි කළමනාකාරීත්වයක් අනුව කටයුතු කළේ නම් පෙට‍්‍රල් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් ඇති වෙන්නේ නැත. නමුත් රට පුරා සියලුම ස්ථානවල පෙට‍්‍රල් හිඟ වූ අතර එය දින හයක් දක්වා අඛණ්ඩව පැවැතීම ඉතාමත් ගැටලු සහගත තත්ත්වයක් ඇති කළේය.
පොදු මගී හා භාණ්ඩ ප‍්‍රවාහන සේවාවට පෙට‍්‍රල් හිඟය බාධාවක් වූයේ නැත. නමුත් කාර්, ත‍්‍රීවිලර් සහ මෝටර් සයිකල් වැනි වාහනවලට එය විශාල ලෙස බලපෑවේය. ඉන්ධන ටැංකි විශාල කාර්වලට වඩා එය තීරණාත්මක වූයේ ත්‍රීවිලර් හා මෝටර්සයිකල් වලටය. සාමාන්‍ය ජනතාවගේ වාහන බවට පත්ව ඇති මේවායේ ගමන් බිමන් යන සමාජ ස්ථරයේ මැදි ආදායම් කොටස මෙයින් බලවත් පීඩනයකට ගොදුරු විය. ඉන්ධන පිරවුම් හල්වල පෝලිම් වල පැය ගණන් ගතකළ සාමාන්‍ය ජනතාව සිය විරෝධය කෙළින්ම එල්ල කළේ ආණ්ඩුවටය. ජනතාව ආණ්ඩුව හා යහපාලන වැඩපිළිවෙළ නිර්දය ලෙස විවේචනය කළේ “ඡන්දය දුන් අපේ මෝඩකම” යැයි මහත් ආවේගයෙන් කියමින්ය.
එදිනෙදා රස්සාව කළ යුතු සෑහෙන පිරිසක් මෙම දින කිහිපය තුළ පැය ගණන් තෙල් පිරවුම්හල්වල සිටි අතර එය ආර්ථිකයට විශාල හානියකි. දෛනික ආදායමෙන් ජීවත්වන ත‍්‍රීවිලර් කුලී රථ හිමියන් ගේ ආදායමට බලවත් පහරක් වූ අතර වැඩි දෙනෙක් එදිනෙදා ජීවත්වීමට ණයකරුවන් වූ බව පෙණින. කොළඹ හා ඒ අවට ප‍්‍රදේශවලට පමණක් නොව කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, පුත්තලම, ඇතුළු දිවයිනේ හතරදිග්භාගයම පෙට‍්‍රල් හිඟයට මුහුණ දුන් බව දැක්විය යුතුය. පෙට‍්‍රල් වාහන අඩුකම උතුර නැගෙනහිර පළාත් වලින් විශාල ගැටළු මතු නොවීමට බලපෑ හේතුව බව පෙනේ. මහනුවර, මාතර හා අනුරාධපුරය යන අනු බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ කොලොන්නාව නිමාවේ පෙට‍්‍රල් බෙදාහැරීම වෙනදා තරම් බව ඒවායේ බලධාරීන් පුන පුනා ප‍්‍රකාශ කරන ලද නමුත් ඒවා දිග පෝලිම්වල ඉන්නා ජනතාවගේ හිත හදන්නට සමත් වූයේ නැත. එය පැහැදිලිව පෙනී ගිය කරුණකි.
සුළු සිද්ධියක් විය හැකි පෙට‍්‍රල් හිඟය දරුණු සමාජ විරෝධයක් ඇති කරන මට්ටම දක්වා දුරදිග යන්නට බලපෑ එක හේතුවක් වූයේ ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාවයයි. ඉක්මනින් තීරණ ගැනීමට අපොහොසත් වූ අතර මෙරට ඉන්ධන බෙදාහැරීමේ නියාමනය ඉතාම දුර්වල බව සනාථ විය. අර්බුදයක දී විකල්ප විසඳුමක් සැලසුම් කර නොතිබුණ බව පැහැදිලිව පෙනී ගියේය. පෙට‍්‍රල් හිඟය ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය සෑහෙන ප‍්‍රමාණයකින් අඩාල කරන ලද අතර එය ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය සඳහා බලපානු ඇති බව ඉඳුරා දැක්විය හැකිය.
පෙට‍්‍රල් හිඟය ඇති කරන්නට කලින් සති දෙක තුළ සිදුවූ සිදුවීම්ද බැහැර කළ නොහැකිය. තමන් බෙදාහරින ඩීසල් සහ පෙට‍්‍රල් මිල සැප්තැම්බර් මාසයේ සිට වැඩි කළ යුතු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ප‍්‍රකාශ කළේය. මෙයට ප‍්‍රතිචාර වශයෙන් රජය එයට ඉඩ දිය නොහැකි බව ඇඟවූ අතර ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන බැවින් තෙල් මිල අඩු කිරීමට ඉඩ ඇති බව නිවේදනය විය. ඉන්දියන් ඔයිල් සමාගම පොදුවේ සෑම තෙල් ලීටරයකින්ම රුපියල් 17.00 බැගින් අලාභ වාර්තාකරන බව පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවීම පදනම් කරගෙන ඛනිජ තෙල් සංස්ථාව 2016 දී පමණක් රුපියල් බිලියන 69.6 ක් ලාභ උපයන ලද බව මුදල් අමාත්‍යංශයේ වාර්තා පෙන්වයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ආනයනය කරන ලද පැට‍්‍රල් තොගයක් නිසි ප‍්‍රමිතියට නැති බව දක්වමින් ප‍්‍රතික්ෂේප කරන්නේ එයින් පසුවය.
තෙල් හරවා යවන ලද ප‍්‍රමාණය වෙනුවට අලුත් ඇනවුමක් ප‍්‍රමාද වන අතර සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම වෙනදා කරන ඇනවුම් අතර ඇති වූ හිදැස මෙම හිඟය මතුකරනු ලැබ ඇත. නමුත් වගකිව යුතු අංශ විශේෂයෙන් ඛනිජ තෙල් තොග පාලනය කරන නිලධාරීන් රටට අවශ්‍ය තරම් පෙට‍්‍රල් අඛණ්ඩව ඇත්ද යන කාරණය ගැන කිසිසේත් සැලකිල්ලක් දක්වා නැත. විකල්ප ගැන අවධානයක් යොමු නොකිරීම නරකම තත්ත්වය බව සඳහන් කළ යුතුය. හිඟය පාලනය කරනු සඳහා පැය ගණනක් ඇතුළත ඉන්දියාවෙන් තෙල් තොගයක් තාවකාලිකව ගන්නට හැකියාව තිබිණ. ආණ්ඩුව හෝ නිලධාරීන් එය කෙරෙහි අවධානය යොමු කළේ නැත. රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කරන ඉල්ලීමක දී හෝ ඉන්දියන් ඔයිල් මව් සමාගමේ මැදිහත්වීමකින් දවසක් ඇතුළත ගැටලුව විසඳාගත හැකිව තිබුණ නමුත් එයට පියවර නොගැනීම වරදකි.
ලෝකයේ ඕනෑම රටක් ස්වකීය තෙල් ඉල්ලුම අඛණ්ඩව සපයනු සඳහා ආරක්ෂිත තොග නඩත්තු කරන අතර සංස්ථාව පමණක් නොව ඉන්දියන් ඔයිල් සමාගම ද ආරක්ෂිත තොග කෙරෙහි කිසිම සැලකිල්ලක් දක්වා නැති බව මෙයින් පැහැදිලි වෙයි. නිසි පරිදි තෙල් තොග ආරක්ෂා කර ගැනීමට සෑහෙන විනිමය ප‍්‍රමාණයක් අවශ්‍ය වන අතර රටට ඇති විනිමය හිඟය එයට බලපාන්නට ඇති බව මෙයින් ඇඟවෙන කරුණකි.
තෙල් තොග පවත්වා ගැනීමෙන් තොරව ක‍්‍රියාකරන ආනයනය සම්බන්ධ වගකිවයුතු අංශ අන්තිම මොහොතේ හදිසි මිලදී ගැනීම්වලට නැඹුරුවීමෙන් කරන ජාවාරමද මෙහිලා සඳහන් කළ යුතුය. මාසිකව අවශ්‍ය වන තෙල් තොග සලකා බලා නිසි කාලයට ඇනවුම් කර තොග පවත්වා ගත යුතු අතර එම මිලදී ගැනීම් වෙනුවෙන් රජයේ ටෙන්ඩර් විධිවිධාන අනුගමනය කළ යුතුය. එය සංකීර්ණ ක‍්‍රියාවලියකි. විනිවිද පෙනෙන ටෙන්ඩර් මගින් තෙල් සැපයුම්කරුවන්ගෙන් ලැබෙන මිල ගණන් සාකච්ඡා කර අවශ්‍ය ප‍්‍රමාණය ලබාගැනීම සිදු වෙයි. නමුත් තෙල් හිඟයක් බව සඳහන් වනවිට හදිසි මිලදී ගැනීම්වලට ඉඩ ඇත. ඒවා කරන්නේ ඉන්දියන් සාගරයේ ගමන් කරන සමීප නැව්වලින් ක්ෂණිකව කරන ඇනවුම් වශයෙනි. මිල සාකච්ඡා කර වහා කරන මිලදී ගැනීම්වලදී සැපයුම්කරුවන් වෙළෙඳ පොළ මිලට වඩා අඩුවෙන් මිල දක්වන අතර අතරමැදියන්ට කොමිස් ගෙවීමද බහුලය. මිල ගණන් විමසා හාඩ්වෙයාර් එකකින් ගල් වැලි ගැනීමට වඩා මහ පාරේ යන ලොරි අතරමඟදී නවතා ඒවා අඩු ගණනට ගැනීම හා එය සමාන කළ හැකිය. එම මිලදී ගැනීමට මැදිහත්වන කොන්ත‍්‍රාත්කරැවන් කියන මිල ගෙවන්නට ඉදිකිරීම්වල අයිතිකරුවන්ට සිදුවෙයි. ලංකාවේ තෙල් මිලදී ගැනීමේදී මෙම හදිසි මිලදී ගැනීමේ ප‍්‍රතිශතය ඉහළ යනවිට එයින් වාසි ලබන පිරිසක් සිටින බව නොරහසකි. විනිවිද පෙනෙන සහ යහපාලන ප‍්‍රතිපත්ති ගැන කතා කරන නමුත් මැති ඇමැතිවරුන් හා නිලධාරීන් රටට අවශ්‍ය තෙල් මිල දී ගැනීමේ සිට ඒවා වාහන වලට පොම්ප කරන තැන දක්වා ධන ආකාර හදාගෙන ඇත. තෙල් තොග රක්ෂණය, තෙල් පිරවුම් හල්වලට බලපත‍්‍ර පමණක් නොව තෙල් බෙදාහරින බවුසර් ද විශාල දූෂිත අංශ බව ජනතාව නොදන්නවා නොවේ.
රටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණය ගැන ඉලක්කම් තිබේ. ඒවා තක්සේරු කර නිසි මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් පවත්වා ගැනීම බරපතළ කාරණයක් නොවේ. ලෝකයේ වෙනත් බොහෝ රටවල් ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම හෝ අලෙවියට මැදිහත් වෙන්නේ නැත. ඒවා පෞද්ගලික ව්‍යවසායකයන් තරගකාරීව කරන ව්‍යාපාරයකි. ආණ්ඩු ඒවා නියාමනය කරන අතර හදිසි අවස්ථා සඳහා තොග පවත්වාගෙන යයි. එහෙයින් රජයට බරක් නැති රජයේ වගකීමක් නැති විය යුතු ව්‍යවසායයක් වන ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය ගැන ආණ්ඩුව අලුත් ආකාරයකට අවධානය යොමුකළ යුතුය.
දින හතක් ජනතාව පෝලිම් ගැස්සූ හැටි...
ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ ඛණිජ තෙල් ආනයන ඉතිහාසයේ පළමුවතාවට මෙරටට තෙල් ප‍්‍රවාහනය කළ නැවක නම පොදු ජනතාවගේ වහරට එකතු විය. නෙවරස්කා ලේඩි නමැති ලිබියාවේ ධජය සහිතව මෙරටට පැමිණි තෙල් ටොන් හතළිස් දහසක් රැගත් මෙම නැව පැමිණෙන විට වහා තෙල් තත්ත්වපරීක්ෂා කර ගොඩබෑම සඳහා සීරුවෙන් සිටි අතර ලැබුණ තෙල් රටපුරා බෙදාහැරීම අරමුණු කරගෙන තෙල් සංස්ථා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළේය.
බ‍්‍රහස්පතින්දා දහවල් වනතුරු රටපුරා තෙල් පිරවුම්හල්වල බරපතළ පෙට‍්‍රල් හිඟයක් පැවැති අතර එසේ පවතින නමුත් ඛනිජ තෙල් අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා කියා සිටියේ දිනපතාම දිනකට පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 1800-2000 අතර ප‍්‍රමාණයක් බෙදාහරිමින් සිටින බවය. තෙල් හිඟයක් මතුවන බව පෙනුණු වහා ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැතිනිය අනෝමා ගමගේ මහත්මිය කියා සිටියේ කලබල වූ වාහන හිමියන්ගේ අනිසි මිල දී ගැනීම නොවී නම් රටට අවශ්‍ය තරම් තොග පවතින බවය. ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් තෙල් අර්බුදයට හේතුව පිටුපස ලංකාවේ තෙල් අලෙවියෙහි නිරත ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිටින බව දක්වන ලද අතර පාර්ලිමේන්තුවේ දී තෙල් හිඟය ඇතිකරන්නට හේතුවූ අදිසි සිදුවීම් කිහිපයක් ද ගෙනහැර පෑවේය. එයට පසු දින ඉන්දියන් සමාගම විශේෂ නිවේනයක් නිකුත් කරමින් මෙරට තෙල් වෙළෙඳාමේ ඔවුන් සතු ප‍්‍රතිශතය සියයට දහසයක් වන අතර ත‍්‍රිකුණාමලය ඔවුන්ගේ සංචිත පවතින බව කියා සිටියේය. බෙදාහැරීමේ ගැටලුවක් නැති නමුත් නිසි ප‍්‍රමිතියකින් තොර හෙයින් තම තෙල් තොගයක් ප‍්‍රතික්ෂේප වූ බව පිළිගත් සමාගම ඒ වෙනුවෙන් අතිරේක නැවක් ඇනවුම් කර ඇති බවද සඳහන් කළේය.
ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශය, තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම දක්වන කරුණු කෙසේ වෙතත් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම් හල්වල දින හයක් අඛණ්ඩව දිග පෝලිම් දක්නට ලැබිණ.
දිග පෝලිම්වල පැය පහ හය එකදිගට සිටි ජනතාව අතර චෝදනා, ගැටුම් සහ හාස්‍යෝත්පාදය පැවැතිණ. කරන්දෙණිය උතුරු මාගල පදිංචි පනස් තුන් හැවිරිදි අයෙකු තෙල් පෝලිමේ සිටියදී හෘදයාබාධයකින් මියයාම කනගාටුදායක සිද්ධියක් විය. බද්දේගම, ගාල්ල සහ මාතර ඇතුළු ප‍්‍රදේශවල පෝලිම කඩා මැදට පැමිණි අය හෙයින් ගැටුම් ඇතිවූ අතර එය වනවිට පොලිසිය යොදවා පිරිස් පාලනය කිරීමට රජය පියවර ගෙන තිබීම විශේෂත්වයකි. කළුතර ප‍්‍රදේශයේ පිරවුම්හලකට පොලිසිය මැදිහත්ව සුපිරි වාහනයකට ඉන්ධන පිරවීමට ගත් තැත මහජන විරෝධතාව මැද ව්‍යවර්ථ වූ බව සිරස රූපවාහිනිය සිය සජීවි විචාරය අතර පෙන්වීය. කොළඹ ඇතැම් පෙට‍්‍රල් පෝලිම්වල සිටි වාහන හිමියන්ට කෙටි කෑම පාර්සල් බෙදා දෙන්නට කාරුණික පුද්ගලයන් මැදිහත් වූ අතර ඒවා සපයන ලද සමාගම්වල සන්නාමය ද තිබීම විශේෂත්වයකි. හෝමාගම තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල සිසිල් පැන් දන්සැලක් පවත්වන ලද බව වාර්තා වෙයි.
තෙල් පෝලිම්වල සිටි ගැනුම්කරුවන් ප්ලාස්ටික් බොතල් හා කෑන් සහිත අතිරේක පෝලිම් හදාගත් බව දකින්නට ලැබුණ දර්ශනයකි. අමාත්‍යංශය විශේෂ චක‍්‍රලේඛයකින් වාහන වලට හැර තෙල් සැපයීමෙන් වළකින ලෙස චක‍්‍ර ලේඛනයක් නිකුත් කළ නමුත් එය සාර්ථක වූයේ නැත. තමන්ගේ යතුරු පැදියේ ටැංකිය ගලවාගෙන පෝලිමේ ඉන්නා පින්තූරයක් සමාජ ජාල වෙබ් අඩවියක පළ වූ අතර තවත් උපහාසයකින් කියැවුණේ ලෝකයේ ලොකුම නත්තල් ගස තැනූ ඇමැති ලොකුම පෙට‍්‍රල් පෝලිම හැදූ බවය. තෙල් බෙදාගන්නට බැරි ආණ්ඩුවක් බලය බෙදන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීමද තෙල් පෝලිමක සිටි ජනයා අතරින් නැගුණ අදහසකි.
පෙට‍්‍රල් බෙදාහැරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුව සොයා අධ්‍යයනය කරන්නට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරන ලද අතර අගමැතිවරයාද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් කළේය.
ගාමිණී සරත් ගොඩකන්ද
සේයාරූ I සුමුදු හේවාපතිරණ