2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

වඳ පිරිමින්ට ආයුර්වේදයෙන් ඔසු!

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 629


අද සමාජයේ විවාහ වී කලක් තිස්සේ දරුවන් නොමැති, කාන්තාවන්ට බොහෝ දෙනෙක් වඳ කාන්තාවන් ලෙසින් හඳුන්වති. නමුත් කාන්තාවන් පමණක් නොව විවාහක පිරිමින්ටද ඇතිවන විවිධ හේතු නිසාත් දරුවන් ලැබීමේ හැකියාව අහිමිව යයි. බොහෝ දෙනා ඒ පිළිබඳව කතා නොකරති. 

කාන්තාවන් මෙන්ම පිරිමින්ගේද ලිංගික පද්ධතියේ, මූලික අරමුණ වන්නේ ප්‍රජාව බිහිකිරීමයි. දරුවකු බිහිකිරීමට කාන්තාවගේ ඩිම්බයක්ද පිරිමියකුගේ ශුක්‍රාණුවක්ද අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලියේ ගුණාත්මකභාවය අනුව බිහිවන දරුවාගේ හොඳ නරක සියල්ල තීරණය වේ. මේ සඳහා පිරිමියකුගේද හොඳ ශුක්‍රාණුවක් අවශ්‍ය වේ.

කාන්තාවගේ ඩිම්බ එක වරකට නිපදවන්නේ එකක් හෝ දෙකකි. නමුත් ශුක්‍රාණු මිලියන ගණනක් නිපදවේ. පිරිමියකුගේ ශුක්‍රාණු හොඳින් නිපදවීම කායක් තිස්සේ පවතී. නමුත් කුඩා පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු බිහි නොවේ. ඒ සඳහා දරුවා වැඩිවියට පැමිණිය යුතුවේ. ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම මව්පියන් සැමරුවත් ඒ හා සමානව පිරිමි දරැවෝද වැඩිවියට පැමිණෙති. එයට හේතුව වන්නේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයයි. එක එක වයස්වලදී මෙවැනි හෝමෝන වෙනස් වේ.

වැඩිවියට පත්වන පිරිමි දරුවකුගේ ලක්ෂණ

• දරුවාගේ කටහඬ වෙනස් වීම.

• රෝම ඇතිවීම.

• රැවුල ඇතිවීම ආරම්භ වීම.

• උරහිස් පළල් වීම.

• ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම වර්ධනය වීම.

වැනි ද්විතීක ලක්ෂණ ඇතිවීම ආරම්භ වේ. එවැනි ලක්ෂණවලින් පසුව ශුක්‍රාණු නිෂ්පාදනය ආරම්භ වේ. එවැනි ශුක්‍රාණු මගින් දරුවකු බිහිකිරීමට හැකියාව ලැබේ. පිරිමි දරුවකුගේ මෙම ද්විතීක ලක්ෂණ අවුරුදු දොළහේ සිට ඇරඹෙන අතර මෙම ශුක්‍රාණු නිෂ්පාදනය ජීවිතයේ බොහෝ කාලයක් පවතී. නමුත් කාන්තාවකගේ එය වෙනස් වේ. බොහෝ විට කාන්තාවක ඩිම්බ පිටවීම වයස අවුරුදු හතළිස් පහ, පනහ වද්දී නතර වන අතර පිරිමින්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය ජීවිත කාලය පුරාම පවතී. නමුත් බොහෝවිට මහලුවද්දී මෙම නිෂ්පාදනය දුර්වල වීමටද පුළුවනි.

ශුක්‍රාණුවල ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මකභාවය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. ශුක්‍රාණු ඉතා සියුම් තත්ත්වයකි. එය ඇසට නොපෙනේ. මෙය පිහිනා යන මාළුවකු පරිදි හිසක් සහ වලිගයකින් සමන්විත වේ. ශුක්‍රාණු තරලයක සිටිනා අතර වලිගය ආධාරයෙන් පිහිනා යයි. ශුක්‍රාණුවේ ගුණාත්මකභාවය ලෙසින් හඳුන්වන්නේ මෙම පිහිනීමේ තත්ත්වයයි. ඒ සඳහා චලනය වීමට හොඳ ක්‍රියාශීලීභාවයත් අවශ්‍ය වේ. ඇතැමුන්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුවේ. ඇතැමුන්ගේ ගුණාත්මකභාවය අඩුවේ. එවිට එවැනි පිරිමින්ට දරුවකු බිහිකිරීමේ හැකියාවද අඩුවනු ඇත.

මීට අමතරව දරුවකු බිහිකිරීම සඳහා ලිංගික ශක්තියද ඉතා වැදගත් වේ. පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම ඉතා අවශ්‍ය වේ. ඇතැම් තරුණයන්ගේ ලිංගික ශක්තිය අඩුය. එමෙන්ම ශුක්‍රාණු කලින් පිටවීමද සිදුවේ. ලිංගික තෘප්තිමත් බව අඩාලවීමද දරුවන් නොමැතිවීමට ප්‍රධාන හේතුවක් වේ.

ලිංගික ශක්තිය අඩුවීමට හේතු

• මානසික හේතූන් මේ සඳහා ප්‍රබලව බලපායි. මානසික පීඩනය පිරිමින්ගේ ලිංගික ක්‍රියාවලියට තදින්ම බලපෑම් ඇතිකරයි.

• නිසි පෝෂණයක් නොමැතිකම.

• අධික නිදි මැරීම.

• වෙනත් රෝග සඳහා දීර්ඝකාලීනව ගනු ලබන ඖෂධ.

• වයසත් සමඟ ලිංගික ශක්තියද අඩුවීම.

• දිගුකාලයක් ඇඟට නුසුදුසු යට ඇඳුම් ඇඳ සිටීම.

• නිතරම ජංගම දුරකතන කලිසම් සාක්කුවෙන් දමා සිටීමෙන්.

• රස්නය ඇති පෝරණු වැනි ස්ථානවල වැඩිදුර ගැවසෙන, රාජකාරි කරන අය.

• ඉලෙක්ට්‍රොනික් උපකරණ මඟින් දිගුකාලීනව රාජකාරි කරන පුද්ගලයන්.

• නිතරම උණුවතුරෙන් ලිංගික ප්‍රදේශය සෝදන අය.

• වැටීමෙන් තැලීමෙන් අණ්ඩකෝෂ ආශ්‍රිතව සිදුවන තැලීම හේතුවෙන්.

• කම්මුල්ගාය වැනි රෝග වැළඳීමද පසුකාලීනව මේ තත්ත්වය ඇතිවීමට හේතුවිය හැක.

මේ සඳහා ප්‍රතිකාර

• දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලියට උරදිය නොහැකි පුද්ගලයන් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වේ. එමගින් රෝගය තීරණය කර ඒ අනුව ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ.

• ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා ශරීරයට නිසි පෝෂණය අවශ්‍ය වේ.

• කෘත්‍රිම හෝමෝන ලබාදෙන ඖෂධ, ආහාර පාන ආදිය ගැනීමෙන් වළකින්න. හෝමෝන පෙති වැඩිපුර ගැනීමෙන් ශරීරයේ නිෂ්පාදනය වන ස්වභාවික හෝමෝන නිෂ්පාදනය අඩාල වේ.

• ආයුර්වේදය ඖෂධ මඟින් අඩුවී ඇති හෝමෝනවල සමතුලිතභාවය ආරක්ෂා කෙරේ.

• ආයුර්වේදයේ මෙවැනි රෝගීන්ට උපදෙස් මගින්, ඖෂධ මගින්, ආයුර්වේද ශල්‍ය ක්‍රම මගින් මේ සඳහා ප්‍රතිකාර ලබා දේ

ජාතික ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශල්‍ය වෛද්‍ය 
එල්.පී.ඒ. කරුණාතිලක

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00