2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සම්මාන සොරාගත් සන්නි රෝග තෝල්කයා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

ලංකාවේ කෙසේ වුවත් ලෝක සාහිත්‍යය තුළ කෙටිකතාවට උරුමව ඇත්තේ ඉහළම තැනකි. බෙහෝ නවකතාකරුවන් ඒ හා සමගාමීව කෙටිකතා එකතු එළිදක්වන්නටද අමතක කර නැත. ඒවා බොහෝවිට සම්මානයන්ටද පාත්‍ර වන තරම් සාර්ථකය. සන්නි රෝග තෝල්කයා, කෙටිකතා එකතුව සම්මාන සොරාගත් නිර්මාණ සමුච්චයකි.

නිලන්ජනා සුදේශ්නා නායගම් ජම්පා ලහිරි ලන්ඩනයේ උපන් ඉන්දු අමෙරිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවකි. ඈ ලෝකයේ පාඨකයන් අතර සිය නම තහවුරු කරගත්තේ The Namesake නම්වූ ඇගේ මුල් නවකතාව මගිනි. එය මීරා නායීර් අතින් චිත්‍රපටයකටද නැගුණි. එතැන් සිට ඇගේ අතින් නවකතා මෙන්ම කෙටිකතා එකතු ගණනාවක්ම ලියැවිණි. සන්නිරෝග තෝල්කයා නැතිනම් Interpreter of Maladies කෙටිකතා එකතුව පුලිට්සර් සම්මානය, හෙමිංවේ PEN සම්මානය ඇතුළු සම්භාවනාවන් ගණනාවකට පාත්‍රවූවකි. දැනටමත් එය සිංහල ඇතුළු භාෂා 29කට පරිවර්තනය වී තිබේ.

ඉතා සුළු සිද්ධියකින් ඇරැඹි විචිත්‍ර සිද්ධිදාමයක් ඔස්සේ විකාශනය වන අපූරු කෙටිකතා සමුච්චයක් මෙහි වෙයි. කතා නවයකින් යුතු මෙහි විවරණය වන්නේ එකිනෙකට වෙනස් වූ පුද්ගල හා සිද්ධි සමුදායන්ය.

සන්නිරෝග තෝල්කයා පාඨකයා ඉදිරියට එන්නේ මැදිවියේ සංචාරක මග පෙන්වන්නෙකු ලෙසටය. නමුත් ඔහුගේ සැබෑ රැකියාව වෛද්‍යවරයකු වෙත එන රෝගීන්ගේ ලෙඩ රෝග ගැන විස්තර පහදා දීමයි. ලෙඩ රෝග ගැන විශේෂඥයකු ලෙස පෙනී සිටින කප්සායි සහ ආත්මාර්ථකාමී සැඟවුණු චරිතයක් සහිත දාස් මහත්මිය අතර ගොඩනැගෙන කෙටි ආයුෂයකින් යුතු රහස් ආල බන්ධනයේ දෙදරා යාම දක්වා කතාව පෙළගැසී තිබේ.

හොද්ද ඉදෙන තුරු පවතින අඹුසැමි දෙපලකගේ බ්‍රහ්ම දණ්ඩන පිළිවෙත නොසිතූ විරූ ලෙස කෙළවර වන්නේ හදිසියේම විදුලිය විසන්ධි වීමකිනි. වචනයෙන් දෙකෙන් නැවත ඇරැඹෙන කතාබහ අඳුරු රාත්‍රීන් හතරක් තුළ වැඩී වර්ධනය වන්නේ දෙදෙනා පිළිබඳ දෙදෙනා විස්තර කරන කතා සරිත් සාගරයක් ලෙසිනි. මළ දරු උපතක් නිසා දෙකඩ වී සිටින ගෝබා සහ සුකුමාර් යුවළ අඳුරේදී ඔවුනොවුන්ගේ සැබෑ රුව හඳුනාගනියි.

පුලිට්සර් සම්මානය දිනූ ලහිරිගේ මේ කෙටිකතා සමුච්චය මුලින් ප්‍රකාශකයන් ගණනාවක් අතින් ප්‍රතික්ෂේප වූවකි. ඉන්දියානුවන් සහ සංක්‍රමණික ඉන්දියානුවන් මුහුණ දෙන හැල හැප්පිලිසහගත ජීවිතය මේ කතා තුළින් විවරණය වෙයි. අමෙරිකාවේදී ඉහළ විචාරක සම්මානයට පාත්‍ර වුවත් මේ කතාවලට ඉන්දියාවේදී ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි.  දුරු රටක සිට ආගන්තුක ඇසකින් ඉන්දියාව දෙස බලා ෆැන්ටසීමය කතා ලියන්නියක ලෙස ඇයව විවේචනයටද ලක්ව තිබේ.

නමුත් ඇගේ කෘති බුකර් සම්මානය, අමෙරිකානු ජාතික ප්‍රබන්ධ ග්‍රන්ථ සම්මානය ඇතුළු සම්මාන ගණනාවකටම නම් කෙරී ඇත. අන්තිමේදී දකුණු ආසියා DCS සාහිත්‍ය සම්මානය ඉන්දියාවෙන්ම ඇයට හිමිවිය. ඇය ප්‍රබන්ධ නොවන ග්‍රන්ථයක් ලියුවේ ඉතාලි බස තමන්ම ඉගෙනගන්නා ආකාරය පැහැදිලි කරමිනි. ඈ එහි සඳහන් කර ඇත්තේ දැන් තමන් ලියන්නේ ඉතාලි බසින් පමණක් බවය.

 සුගත් පී කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00