මෑත කාලයේ කෝප් කමිටුව (COPE - The Committee on Public Enterprises) සම්බන්ධයෙන් කතාබහක් ඇතිවූයේ මහබැංකු බැඳුම්කර සිදුවීම අනාවරණය වීමෙන් පසුවය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වශයෙන් හඳුන්වන කෝප් කමිටුවේ වර්තමාන සභාපතීත්වය දරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුනිල් හඳුන්නෙත්ති මන්‍ත්‍රීවරයායි. හෙතෙම කෝප් කමිටුවේ සභාපති වශයෙන් බැඳුම්කර වංචාව අනාවරණය කර මාධ්‍යයට තොරතුරු දීමට එකට එක කිරීමක් ලෙස කමිටුවේ සභාපතිත්වයෙන් ඉවත් කිරීමේ වෑයමක පිරිසක් නිරතව ඇතැයි මේ දිනවල දේශපාලන කරළියේ කතාබහට ලක්වෙයි. එම සිදුවීමට අමතරව මහාමාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ගනුදෙනු ලියකියවිලි හා තවත් අමාත්‍යංශ කිහිපයක තොරතුරුද කෝප් කමිටුවට කැඳවීමට සූදානම් වීම යන හේතුන්ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඉවත් කිරීමේ සැලසුමට බලපා ඇතැයි යැයි පැවසෙයි.
“කෝප් කමිටුවේ සභාපති ඉවත් කරන්න පුළුවන් ඡන්දෙන්ම තමයි. එහෙම නැත්තම් කමිටුවෙ විසිපහක් ඉන්නවා නම්, විසිපස්දෙනාම කීවොත් සභාපති ඉවත් කරන්න කියලා, එතකොටත් ඉවත්කරන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙන්නෙ නෑ. මොකද හැම කෙනෙක්ම වැඩකරන්නෙ පක්ෂ ක්‍රමයටනේ. ආණ්ඩුව තීරණය කළොත් සභාපති අයින් කරන්න ඕනෑ කියලා විපක්ෂයේ එකඟත්වයත් ලබාගන්න විපක්ෂය එක්කත් කතා කරන්න ඕනැ. එහෙම එකඟත්වය ගන්න බැරි උණොත් ඡන්දෙකටම ගිහින් තමයි අයින් කරන්න වෙන්නේ.” කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු සභාපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රමවේදය එලෙස පැහැදිලි කළේය.
කෝප් කමිටු සාමාජිකයන් පත්කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතුරිනි. මෙම පත්කිරීම පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදීම සිදුකරයි. කෝප් කමිටු සාමාජික සංඛ්‍යාව නිශ්චිතව දක්වා නැති නිසා පත්කරන සාමාජික සංඛ්‍යාව තීරණය කරන්නේ ද පාර්ලිමේන්තුව විසිනි. විපක්ෂය සහ ආණ්ඩුව පක්ෂය සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණි පසු කතානායකවරයා විසින් සාමාජිකයන් පත් කරයි. මෙවර පත්ව සිටින කෝප් කමිටුවේ සාමාජික සංඛ්‍යාව 26කි. එම සාමාජිකයන් 26 දෙනා අතර ආණ්ඩු පක්ෂ, විපක්ෂ හා සුලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු පත්ව සිටිති. කලින් පැවැති කෝප් කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 31ක් විය.
තෝරාගත් සාමාජිකයන්ගේ පොදු එකඟතාව පරිදි කමිටුවේ පළමු සැසිවාරයේදීම සභාපතිවරයකුද පත්කරගනු ලැබේ. 1979 ජූනි 21 වනදා ප්‍රථමවරට ස්ථාපනය කළ කෝප් කමිටුවේ ප්‍රථම සභාපති වූයේ ජෝර්ජ් අබේගුණසේකර මහතාය. ගතවූ අවුරුදු 40කට ආසන්න කෝප් කමිටු ඉතිහාසය තුළ 14 දෙනෙකු සභාපතිවරු වශයෙන් පත්ව ඇති අතර බර්නාඩ් සොයිසා හා තොණ්ඩමන් යන දෙදෙනා විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස සිටියදීත් කමිටුවේ සභාපතීත්වයට පත්ව තිබුණි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු කාලයේ සිට වත්මන් යහපාලන ආණ්ඩුව පත්වන තෙක් කෝප් කමිටු සභාපතීත්වයට පත්කරගනු ලැබුණේ පාලන බලය හිමි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක්ය. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු සමයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටු සභාපතීත්වයට පත්වූ විජේදාස රාජපක්ෂ මහතා විපක්ෂයේ අසුන්ගත් පසුවත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් කමිටු සභාපතීත්වය දැරුවේය. ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම කෝප් කමිටු සභාපතීත්වයට පත් කරනු ලබන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට ගරුකරමින් යහපාලන ආණ්ඩුවද කෝප් කමිටු සභාපතීත්වයට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුනිල් හඳුන්නෙත්ති පත්කිරීමට කටයුතු කළේය.
කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන සහ රජයේ අනෙකුත් ව්‍යාපාරවල අයවැය, වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්වය සහ මුදල් කළමනාකරණය ආදිය පිළිබඳව තොරතුරු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කරයි. මේ පරීක්ෂණ කටයුතු සඳහා ඕනෑම පුද්ගලයෙක් කමිටුව ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ආකාරයේ ලේඛනයන්, වාර්තාවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ අනෙකුත් දේපල වෙත ප්‍රවේශවීමටත් කමිටුවට බලය හිමිව තිබේ. කෝප් කමිටුවේ විෂය පථයට අමාත්‍යංශ සහ රාජ්‍ය දෙපාර්තුමේන්තුවලට අමතරව තවත් රාජ්‍ය ආයතන 244ක් අයත් වේ.
2012 ඩිව් ගුණසේකර හිටපු කෝප් කමිටු සභාපතිවරයා පත්වන තුරුම කමිටුවේ විෂය පථයට අයත් ආයතන සියල්ල පරීක්ෂාවට ලක්කර නොතිබුණි. ඩිව් ගුණසේකර මහතා යටතේ ආයතන 271ක්ම කමිටුව ඉදිරියට කැඳවා පරික්ෂණ සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරන ලදී. ඒ අතර ආන්දෝලනාත්මක යහපාලන ආණ්ඩුවේ මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳවද ඩිව් ගුණසේකර කෝප් කමිටුව විමර්ශනය කළේය. එම විමර්ශනයෙන් අනාවරණය කරගත් තොරතුරු සහ නිගමනයන් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. නමුත් 2015දී දින සියයේ ආණ්ඩුව අවසන් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ඩිව් ගුණසේකර කෝප් කමිටුව සොයාගත් තොරතුරු සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ඉදිරි කටයුතු අතරමග නැවතුණි.
කෝප් කමිටුව ක්‍රියා කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන ප්‍රතිපාදන තුළය. කෝප් කමිටුව සලකා බලන්නේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන විගණන වාර්තාය. ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත්කළ පසු විගණකාධිපති ධූරය පාර්ලිමේන්තුව යටතට පත්වෙයි. ඔහු වගකියන්නේ පාර්ලිමේන්තුවටය.
විගණකාධිපතිවරයා පත්වූ පසු සියලු රාජ්‍ය ආයතන විගණන දෙපාර්තුමේන්තුව හරහා විගණනය කර සිය නිරීක්ෂණද සහිතව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එහිදි කිසියම් ආයතනයක් කෝප් කමිටුවට කැඳවිය යුතු යැයි කමිටුවේ සභාපති විශ්වාස කරන්නේ නම් එම ආයතනය කැඳවනු ලැබේ.
කෝප් කමිටුවට බලය ඇත්තේ රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්වයන් පිළිබඳව සොයා බලා වාර්තා සැකසීම පමණි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඉදිරි කටයුතු තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි. ඒ හේතුවෙන් පසුගිය කාලය පුරා පත්වූ සෑම කෝප් කමිටුවක්ම වාර්තාවකින් අවසන් විය. එමෙන්ම ගතවූ කාලයේ කෝප් කමිටු සභාපතීත්වයට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් පත්වූ නිසා රජයේ ආයතනවල සිදුවන අක්‍රමිකතා කෙතෙක් දුරට නිවැරදිව විමර්ශනය කරනු ලැබුවේද යන්නත් ගැටලු සහතය.
මේ වනවිට දක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පක්ෂ භේදයකින් තොරව පිළිගනු ලබන විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති සභාපතීත්වයට පත්වූ පසු පෙරළියක් ඇති කරමින් කෝප් කමිටුව වඩාත් සක්‍රීය කාරක සභාවක් බවට පත්ව තිබේ. එම කාරක සභාව මඟින් අතිශය බරපතළ කරුණු ගණනාවක් අනාවරණය කරනු ලැබුණි. කෝප් කමිටුව තුළදී ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ගේ කෙනෙහිලිකම් මැද වුවද රජයේ ආයතන පිළිබඳව නිර්භයව පරීක්ෂණ පැවැත්වීමේ තත්ත්වයක් හා ඒ පිළිබඳව රටට කරුණු ඉදිරිපත් කිරීමේ තත්වයක් ඇති වූයේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතීත්වයට පත්වූ පසුය. ඇතැම් අවස්ථාවලදී සභාපතිවරයාට කමිටු රැස්වීමෙන් ඉවත්ව යාමට සිදු වූයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් කළ බාධා නිසාය. මේ වනවිට කෝප් කමිටුව අනාවරණය කළ කරුණු නිසා ආණ්ඩුවට අසීරැතාවලට මුහුණදීමට සිදුවූ අතර එනිසා කෝප් කමිටුවේ සභාපති වහාම ඉවත් කිරීමෙන් ආණ්ඩුවට ඉදිරියේදී වන හානිය අවම කරගත හැකි වන නිසා කෝප් කමිටුවේ සභාපතීත්වයට ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු පත්කර තත්ත්වය යම් තරමකට පාලනය කරගත ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මකව ඇතැයි වාර්තා වෙයි.
“මාව එහෙම කාටවත් ඉවත් කරන්න බෑ. මාව පත්කළේ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ හැම පක්ෂයකම මන්ත්‍රිවරුන්ගේ කැමැත්තෙන්. ඒ හින්දා එක්කෙනකුට දෙන්නෙකුට අවශ්‍ය හින්දා මාව ඉවත් කරන්නත් බෑ. එක පක්ෂයක ඕනැකමට මාව ඉවත් කරන්නත් බෑ. ඉවත් කරන්න ඕනකම තියෙන්නේ හොරකම් කරන අයට නේ. අපි බලමු ඉවත් කරන යෝජනාවක් ආවොත්, කාටද ඒ යෝජනාව තියෙන්නේ කියලා. මං පාර්ලිමේන්තුවට කමිටු වාර්තාව ඉදිරිපත් කරනකම් කිසිවක් මාධ්‍යයට කියලත් නෑ. ඒ කිව්වත් වැරදි නෑ. මොකද හොරකම් කියන එක නෙවෙයි වැරදි, හොරකම් කරන එකයි වැරදි.”
I සකීෆ් සාම් තන්වීරි