♦ පනතේ වගන්ති 54ම වගේ වෙනස් කරලා
♦මගේ බැඳුම්කර වාර්තාව හරි බව හැමෝම පිළිඅරන්
“රාජ්‍ය දේපළ සුරකින නව විගණන පනතට ආණ්ඩුව බිය ඇයි? පොරොන්දු කඩකර අදට දින 939යි.”
මේ පසුගිය සඳුදා (20) දින බත්තරමුල්ල විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සවිකර තිබූ විශාල බැනරයක ලියා තිබූ වගන්තියකි. මෙම බැනරය ප්‍රදර්ශනය කර තිබුණේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව මගිනි. දැනට වසර තුනකට අධික කාලයක් තිස්සේ නව විගණන පනතක් පිළිබඳ කතාබහට ලක්වුවද අද වනවිට ඒ පිළිබඳ අඳෝසංසාරයක් නැත. එය තවමත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සිරවී ඇතැයි ඇතැමකු කියන අතර තව කෙනකු පවසන්නේ විගණන පනත පිළිබඳ සලකා බැලීමට පත්කළ ඇමැති අනුකමිටුව ළඟ ඇති බවය. එහෙත් මෙතරම් විශාල කාලයක් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කල්ගැනීම අවශ්‍යද යන්න කුතුහලය දනවන ප්රශ්නයකි. අද පවතින තත්ත්වය තුළ මෙම පනත තවත් කොපමණ කලක් මෙසේ තිබේද යන්න අවිනිශ්චිතය.
යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහනට අඩංගු කර තිබූ මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත දිනයද එම සැලසුමේ සඳහන් කර තිබුණා අපට මතකය. එහෙත් කිසිවක් සිදුව නැත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විගණන පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන බවට පසුගියදා රාවයක් පැතිරුණද එය තවම ක්‍රියාත්මක වී නැති සැටියෙකි.
එසේම විගණකාධිපතිවරයා පසුගියදා පැවසුවේ යැයි මාධ්‍ය වාර්තා කර තිබුණේ විගණන කොමිසම වසා දැමීම හොඳ බවය. එයට හේතුව විගණන පනත බලාත්මක වී නැති නිසා විගණන කොමිසම සල්ලි ගිලින සුදු අලියකු බවට පත්ව තිබීමය. මේ වනවිට එහි කාර්යාලය සහ යටිතල පහසුකම් මෙන්ම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමද විශාල මුදල් නාස්තියක් වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලය සඳහා හිස් ගොඩනැගිල්ලක් පවත්වාගෙන යාමෙන් සිදුවෙමින් පවතින රාජ්‍ය මුදල් නාස්තිය පිළිබඳවද විගණකාධිපති පෙන්වා දුන්නද එයින් ප්‍රතිඵලයක් ලැබී නැත.
මේ වනවිට විගණන ක්‍රියාවලියේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින් රාජ්‍ය ආයතන අගය කිරීමට ලක්කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව උසස් ප්‍රගතියක් දක්වන ආයතන අැගයීමට පාත්රකර සම්මාන ප්රදානය කිරීමටද, මන්දගාමී ආයතන පිළිබඳ සොයාබලා ඒවායේ දුර්වලතා සකස් කිරීමටද කටයුතු යොදා තිබේ. ආයතනවල අඩුපාඩු සොයනු විනා ඒවාට ප්‍රශංසා කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ අත ගැසුවේ ප්‍රථම වතාවටය.
මේ ආදී කරුණු පිළිබඳව වර්තමාන විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් අපි මෙසේ අරඹමු.
නව විගණන පනෙත් වර්තමාන තත්ත්වය කුමක්ද?
එය කොහේ තියෙනවාද දන්නේ නැහැ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විය හැකියි. පනතේ ඇතැම් වගන්ති සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවීම ගැන නීතිපති සමග කතා කළා. එහෙම පනතක් සම්මත කර ගැනීම නිත්‍යනුකූල නැහැ. ළඟකදී මෙය ඉවරයක් වෙන පාටක් නැහැ.
කෙටුම්පත අනුව විගණකාධිපතිට තිබූ අධිභාර පැනවීමේ බලතල ආපසු අමාත්‍යංශ ලේකම්වරුන්ට දෙන්න යනවාද?
ඔව්! සංශෝධනවල යෝජනා කරලා තිබෙන්නේ එහෙමයි. එය, අමාත්‍යංශ ලේකම්වරුන් කළ ඉල්ලීමක්. එහෙම වුණාම එය අසාර්ථක වෙනවා. ඒ මොකද තම අමාත්‍යංශයේ නිලධාරීන්ට එරෙහිවෙලා අධිභාර පැනවීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට ප්‍රායෝගිකව කළ නොහැකි නිසයි. මෙයින් වෙන්නේ වැරදිකරුවන් ආරක්ෂා වීමයි.
ජාතික විගණන පනතේ ප්‍රධාන වගන්ති තවත් වෙනස් කරලා තිබෙනවාද?
විගණන පනතේ වගන්ති 54න් සියල්ලම වාගේ මේ වනවිට සංශෝධන කර ඇති බව පෙනෙනවා. ඒ නිසා එය බලරහිත වෙලා. එළියට එන්නේ ඇතුළට දාපු පනත නොවෙයි. මෙහි බොහෝ කරුණු සැහැල්ලු වී තිබෙන නිසා ක්‍රියාත්මක වුණත් එයින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න බැහැ. ඒ නිසා ඒ ගැන මේ වනවිට උනන්දුව අඩුයි.
විගණන කොමිෂන් සභාව ගැන ඔබ මීට පෙර කතා කරලා තිබුණා. එය විශාල මුදල් නාස්තියක් කියලද ඔබ කියන්නේ?
විශාල රාජ්‍ය මුදල් නාස්තියක් මින් සිදුවෙනවා. සේවක වැටුප්, ගොඩනැගිලි නඩත්තුව ආදිය සඳහා මසකට රුපියල් ලක්ෂ 20ක් නිස්කාරණේ වැයවෙනවා. ලියුමක් යැව්වා ජනාධිපතිතුමාට මෙය වහලා දාන්න කියලා. එහෙම කළොත් මේ මුදල් නාස්තිය නවත්වාගත හැකියි.
විගණන කොමිසමේ ව්‍යුහය?
මෙහි සම්පූර්ණ නිලධාරි සංඛ්‍යාව 42යි. දැනට 21ක් ඉන්නවා. ඒ අයට කරන්න කිසිම වැඩක් නැහැ.
ඇයි මේ අය විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන්න බැරිද?
විගණන කොමිසම කියන්නේ සම්පූර්ණ ස්වාධීන ආයතනයක්. එහි නිලධාරීන් ස්වාධීන අය. ඒ කණ්ඩායම අපේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන්න බැහැ.
විගණන පනත අනුමත කරගන්නට පෙර ඇයි මේ කොමිසමක් පිහිටෙව්වේ?
ජාතික විගණන පනත යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහනට අඩංගුව තිබූ ප්‍රධාන කාර්යයක්. මෙය දින 100 තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටයි සැලසුම් කර තිබුණේ. කොටින්ම කිවහොත් මෙය (Overnight) වැඩක්. ඒ 19 වැනි ව්‍යවස්ථාව අනුව දින 100 තුළ ඉහළින්ම තිබූ පනතක්. ඒ නිසා තමා විගණන කොමිසම පිහිටුවූයේ. පනත බලාත්මක වූ වහාම ක්‍රියාත්මක කරන්න. එහෙත් අවාසනාවන්ත තත්ත්වයක් මත මෙම පනත සම්මත කර ගැනීම දිගින් දිගටම කල් යනවා. ඒ නිසයි පනතක් නැතුව කොමිසම විතරක් තියෙන්නේ.
රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තාකර තිබුණා. මෙයට පෙර එවැනි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරලා නැතිද?
ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන 831ක් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු පළාත් ආයතන ආදියට ප්‍රශ්න 50ක් යවලා ඒවාට පිළිතුරු ලබාගෙන ඒ පිළිබඳ විමර්ශන කරලා වඩාත් හොඳ ආයතන හා නරක ආයතන ලෙස කොටස් කළා. නීතියට අනුගතව කාර්යක්ෂමව තමාට අදාළ රාජකාරි නිසි පරිදි ඉටුකළ ආයතන පිළිබඳ ලකුණු දෙන ක්‍රමවේදයක් අනුගමනය කළා. අංශ 11ක් යටතේ ලකුණු දුන්නා. මෙයින් රාජ්‍ය ආයතන 1/3ක් අකාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති බව තහවුරු වුණා. ආයතනවලින් සියයට 7ක් හෙවත් ආයතන 58ක් යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.
අලුත් කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල හිස්ව පවත්වාගෙන යාම පිළිබඳව ඔබ විගණන විමසුම් ඉදිරිපත් කළා. එහි ප්‍රගතිය කුමක්ද?
අපි පැහැදිලිව එහි තත්ත්වය වාර්තා කළා. විමසුම් ඉදිරිපත් කළා. එහෙත් ප්‍රගතියක් සිදුව නැහැ. මේ නිස්කාරණ මහජන මුදල් වැයකිරීමට කවුරුන් හෝ වගකිව යුතුයි.
බැඳුම්කර වංචාව පිළිබඳ මුලින්ම විගණනය කර වාර්තා කළේ ඔබයි. එහෙත් එදා ඔබේ විගණන ක්‍රමවේදය වැරදි බවද ඔබට එය ගැන දැනුමක් නැති බවද ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදී පවා පැවසුවා.
මගේ බැඳුම්කර වාර්තාව නිවැරදි බව අද සැමදෙනාම පිළිගෙන තිබෙනවා. කෝප් කමිටුව මෙන්ම බැඳුම්කර කොමිසමද කරුණු ඉදිරිපත් කළේ එය පදනම් කරගෙනයි. එය වැරදි යැයි පැවසීම ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීමට සහ තම වැරදි වසා ගැනීමට කළ දුර්වල උත්සාහයක් විය හැකියි. මුදල් මණ්ඩලය මගේ ගණනය කිරීම් නිවැරදි බව සනාථ කරගෙන තිබෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ.
නව දේශීය ආදායම් පනත පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
තිබුණු පනත වෙනස් කළ එක හොඳයි. බලතල ආදායම් කොමසාරිස් වෙත ඒකරාශිවීම හොඳ ප්‍රවණතාවක් ලෙස මා දකිනවා. මතුවට රාජ්‍ය ආදායම එකතු කිරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් නැතිවන විදියට කටයුතු කළ හැකි නම් එය වැදගත්. දේශීය ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදය ඇමැතිවරයා අනුව වෙනස් විය යුතු නැහැ. මෙයට ජාතික ප්‍රතිපත්තියක් තිබීම අවශ්‍යයි.
♦ සාකච්ඡා කළේ I යසවර්ධන රුද්‍රිගු
සේයාරුව I සුමුදු හේවාපතිරණ