2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඉලෙක්ට්‍රික් ත්‍රිවීලර් අප අමාරුවේ දැමීමක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 231

ත්‍රීරෝද රථ රියැදුරන්ගේ විරෝධය පළ වේ

එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිසෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලභය. මෙරට තුළ ජනප්‍රිය උප සංස්කෘතීන් බොහෝමයක් ඇත. මේ අතුරින් නිදහස් වෙළඳ කලාප, කාර්යාල, ගමනාගමන සේවා, ත්‍රීරෝද රථ වැනි බොහෝමයක් උප සංස්කෘති ගණයට වැටේ.

මේ සියල්ල අතුරින් මෑත කාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූවක් වශයෙන් ත්‍රීරෝද රථ උප සංස්කෘතිය හැඳින්වීමට හැකිය. මේ වටා  සෑදුණු උප සංස්කෘතියේ විශේෂ ලක්ෂණ පිළිබඳව සමාජය තුළ බෙහෙවින් කථාබහට ලක්වන අතර අද වනවිට පොදු ප්‍රවාහන සේවා මෙන්ම බොහෝ පිරිස් තමන්ගේ ගමනාගමන පහසුව සලසා ගැනීමට ත්‍රීරෝද රථය උපයෝගී කරගන්නේ ගමනාගමනයේ පහසුව තකාය.
රටේ සෑම ස්ථානයකම පාහේ ත්‍රීරෝද රථ පවතී. පිරිස් සිය ජීවිකාව සරිකර ගැනීම සඳහා ත්‍රීරෝද රථය පැදවීම තෝරාගෙන තිබීම ඊට හේතුවයි.

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය මෙරටින් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට බොහෝ ත්‍රීරෝද රථ රියදුරෝ සැක පළ කරති. ඒ පිළිබඳව ඔවුන් සිටින්නේ බියෙන් හා සැකයෙනි.
මෙවර අයවැය යෝජනා තුළින් ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන සියලු මෝටර් රථ සම්බන්ධයෙන් තීරණාත්මක පියවර රැසක් ගෙන තිබූ අතර රටේ ඇති සියලුම වාහන 2040 වනවිට දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කර හරිත ප්‍රවාහන සේවයක් ඇති කරන බව මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.
එමෙන්ම පරිසර හිතකාමී විදුලි ත්‍රීරෝද රථ භාවිතය දිරිමත් කරන අතර ඩීසල් ත්‍රීරෝද රථ බද්ද රුපියල් 50000කින් පමණ ඉහළ දමා තිබේ. එමෙන්ම දැනට භාවිත කරන ලද ත්‍රීරෝද රථ බංගලාදේශයට විකුණා ගැනීමේ අවස්ථාවද සලසා දීමට රජය කටයුතු කරන බවත් කියැවිණි.

කෙසේ වෙතත් විදුලි බලයෙන් ධාවනයවන ත්‍රීරෝද රථ හඳුන්වාදී දැනට තිබෙන ඩීසල් ත්‍රීරෝද රථ බංගලාදේශයට විකිණීමට යන රජයේ සැලසුම බොහෝවිට ත්‍රීරෝද රථ මෙරටින් ඉවත් කිරීමේ රජයේ සැලස්මක් වියහැකි බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය කියයි.

අයවැයෙන් කියැවුණු ත්‍රීරෝද රථ වෙනුවට විදුලියෙන් ධාවනයවන කාර් හඳුන්වා දීම සහ දැනට තිබෙන ත්‍රීරෝද රථ බංගලාදේශයට විකිණීම සම්බන්ධව ත්‍රීරෝද රථ හිමියන් කිහිප දෙනෙකුගෙන් සහ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපතිවරයාගෙන් අපි අදහස් විමසුවෙමු.

මේවා පැලැස්තර
නන්දසේන - හෝමාගම

මොන දේ ගෙනාවත් ලංකාවට මේ පැරණි ත්‍රීරෝද රථ වගේ කිසි දෙයක් හරියන්නේ නැහැ. දැන් මේ රජය කියන විදිහට මේ ඉලෙක්ට්‍රිකල් වාහන ගෙන්නුවා කියමුකෝ. එතකොට ගැරිජ් ඒවා හදන්න හුරුවෙන්න ඕන. ඒ වගේ මිනිස්සුන්ට විවිධ අර්බුදවලට මුහුණ දෙන්න වෙනවා. වෙන කොච්චර ත්‍රීවිලර් හඳුන්වා දුන්නද? ඒ වෙනුවට විකල්ප කීයක් ගෙනාවත් ඒවා අසාර්ථකයි. මේවා එක එක්කෙනාට වාසි විදිහට ගෙනෙයි. නමුත් ඒ අර්බුදය විසඳන්නේ නැහැ. මේ කියන ත්‍රීවිලර් එක විකුණලා අලුතින් එක ගේන අධිකාරියක් තමයි මේ ගෙන්න හදන්නේ. ඕවා තාවකාලික පැලැස්තර විතරයි. මේ ත්‍රීවිලර් එක තමයි දුප්පත් මිනිහට හරියන්නේ. මිනිස්සුන්ට හුරුවෙලා තියෙන්නේ.

ප්‍රශ්න ගොඩක්
ප්‍රියන්ත - රාගම

මේ මොන විකල්ප හඳුන්වලා දුන්නත් වැඩක් නැහැ. මිනිස්සු වගේම මේ කර්මාන්තයේ ඉන්න අයත් දැන් මේ වාහනයට තමයි හුරැවෙලා තියෙන්නේ. දැන් මේවා විකුණනවානම් ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ රජය හරහානේ. අපි මේ වාහන ලක්ෂ දෙකහමාරකට වගේ විකුණනවනම් රජය එච්චර ගාණකට මේ වාහන අපෙන් මිලදී ගන්නේ නෑ. ඒ අය මේක අපෙන් ඉල්ලන්නේ ලක්ෂ එකහමාරකට වගේ. මේ විදුලියෙන් දුවනවා කියන්නේ බැට්රියෙන් දුවන ඒවටයි. එහෙම චාර්ජ් ඉවර වුණාම මොකද වෙන්නේ. මේ වාහන විදුලි ත්‍රීරෝද රථ පාරවල්වල සීසීකඩ තියෙයි. අනික මේ වාහන නඩත්තු කරන්න වෙනම ප්‍රශ්න එනවා මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් හොයලා තමයි මේවා ක්‍රියාත්මක කරන්න ඕනා. හැම ආණ්ඩුවක්ම කියන දේ ඉටු කරන්නෙ නෑනේ. මුලින් එකක් දෙකක් ගෙනත් හඳුන්වලා දෙයි. ඊට පස්සේ මේ කිසි දෙයක් වෙන්නේ නෑනේ.

අපිව වට්ටන්න එපා
නිමල්සිරි - පිටකෝට්ටේ

මේ බලයට එන හැම ආණ්ඩුවක්ම බඩේ පාර ගහන්නේ පොඩි මිනිහට. ලොකු ලොකු බලවත් උදවියට මේ කිසි එකක් නැහැ. මේ ත්‍රීරෝද රථ කර්මාන්තයෙන් තමයි අපි කීයක්හරි හම්බකර ගන්නේ. පත්වෙලා එන හැම ආණ්ඩුවම බලයට එන මුල් කාලේ බොහොම සුහදශීලීව තමයි එන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. නමුත් බලයට ඇවිත් ටික දවසක් යද්දි ඒ කිසි දෙයක් මතක නැහැ. මේ වීල් එක වෙනුවට අලුතෙන් එන විදුලි කාර් එක සහ විදුලි ත්‍රීරෝද රථය මේ ත්‍රීරෝද රථයේ මිලටම දෙනවද? නෑනේ. ඊට වඩා වැඩි මිලට තමයි දෙන්නේ. අනික ඕවා නඩත්තු කරන්න ගිහාම කොච්චර වියදමක් යනවද. ඒවා පිළිබඳව මේ කවුරුත් කතා කරන්නේ නැහැ. අපි කරුණාවෙන් එක ඉල්ලීමයි කරන්නේ. අපේ දරු පවුල් නඩත්තු වෙන්නේ මේකෙන්. ඒ නිසා මේ කර්මාන්තය ඇද වට්ටන්න එපා කියලා තමයි.

නඩත්තුව අමාරුයි
රවීන්ද්‍ර - ඇතුල්කෝට්ටේ

දැන් සමහරු හිතනවා මේ නිසා අර්බුද එක්ක විදුලි කාර් එකක් හොඳයි කියලා. නමුත් මේවා නඩත්තු කරන්න ගියාම තමයි මිනිස්සුන්ට තේරෙන්නේ ඔය කියන තරම් සෙතක් මේවගෙ නැහැ කියලා. අනික ඔය වාහන නඩත්තු කරන්න ගියාම ඕවට හුරුවුණු මැකැනික්ලා නෑ. හිටියත් ඉන්නේ අතලොස්සයි. අනිවාර්යෙන්ම මේවා රෙපෙයාර් කරන්න ඕන කම්පැණි එකට දාලා. ඉතිං ඒවට විශාල කාලයක් යනවා. මේ වගේ සිදුවීම් බොහෝමයට මුහුණපාන්න වෙනවා. ඇත්තටම ඉලෙක්ට්‍රික් වාහන විකුණගන්න කෙරෙන ඇන්දිල්ලක් මේ කරන්නේ අපිට ආදරේට නෙමෙයි මේව කරන්නේ.

 

ලංකා ස්වයං රැකියා ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති 

සුනිල් ජයවර්ධන

වර්තමාන මුදල් අමාත්‍යවරයා මේ අයවැයේදී විශේෂයෙන්ම ත්‍රීරෝද රථ කර්මාන්තය සඳහා ඉදිරිපත් කළ යෝජනාවලියේදී ඉතා විශාල සංවර්ධන ක්‍රියාවලියකට ත්‍රීරෝද රථ කර්මාන්තය ඇදගෙන යන බවට පැවසුවත් ත්‍රීරෝද රථ කර්මාන්තය මරලා වළලන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වල දීලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රීරෝද රථ වෙනුවට හඳුන්වා දෙන්න යන වාහනය බොරුවක් සහ පුස්සක් බවට පත්වෙලා තියනවා. මේ තත්ත්වය තුළ මේ කර්මාන්තය අනතුරට පත් වෙනවා. ඒ වගේම මේ ගෙන්වන ලද විදුලි ත්‍රීරෝද රථය සහ විදුලි කාරය චාර්ජ් කළාට පස්සේ කිලෝ මීටර් සීයක් පමණයි ධාවනය කළ හැක්කේ. ඊට පස්සේ ආයෙම ඒක චාර්ජ් කරන්න ඕන. එතකොට එය චාර්ජ් වෙනකම් මගී ප්‍රවාහනයේ යෙදීම අපට අහිමි වෙනවා. රජය ඇත්තටම ත්‍රීරෝද රථ කර්මාන්තය නගා සිටුවනවානම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. ඒ වගේම ත්‍රීරෝද රථ සඳහා හඳුන්වාදෙන කවර විසඳුමක් වුවද පරිසර හිතකාමී මෙන්ම එම කර්මාන්තයේ නියලී සිටින ජනතාවගේ ආර්ථිකයට හිතකර විසඳුමක් ද විය යුතුයි.

► හසිත් අංජන 

   සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00