සෞදි රටේ ගෘහ සේවිකාවක් ලෙසින් මීට වසරකට උඩදී ගුවන් ගත වූ කාංචනා පසුගියදා දිනෙක මව්රටට ගොඩ බසිනුයේ අතේ පිච්චියක්වත් නැතිවය. කාංචනාගේ ජීවිතේ අහස උසට බලාපොරොත්තු නොතිබුණාම නොවේ. අසරණ ජීවිතයකට උරුකම් කිවූ ඩබ්ලිව්.ඩී. කාංචනා ඇගේ සැමියා වූ සමන් කුමාරත් සමඟ මීට වසරකට උඩදී ව්‍යාජ ලිපි ලේඛන සාදාගෙන සෞදි රටට යාමට උත්සාහ ගත්තේ ලොකු අවදානමක් ගනිමිනි.
ඒ තම අසරණ අවුරුදු හතරක් වයසැති කුඩා දියණිය ද මව්රටේ තනිකොට දමාය. මව් සෙනෙහස අවශ්‍ය මොහොතක තම කුඩා දියණිය සැමියාටත් තම වැඩිහිටි ඥාතී පරපුරටත් බාරදී කාංචනා 2016 සැප්තැම්බර් මස 05 වැනි දින කටුනායක ගුවන් තොටුපොළෙන් විදේශ ගත වූවාය.
ඒ වනවිට කාංචනාගේ අතේ තිබුණේ ව්‍යාජ ලිපි ලේඛනවලින් සාදාගත් ගුවන් ටිකට් පත පමණි. “කුමාරි” නමින් හැඳින්වූවාට සැබෑ ජීවිතේදී ඇය කුමාරිකාවක් නොවූවාය. අඟහිඟකම් මධ්‍යයේ ජීවිතය නගාසිටුවාගන්නට වෙර දැරූ කුමාරිගේ සිහිනය සැබෑවක් නොවන වග කුමාරිට ඉඟි පළවෙද්දී කාංචනා කුමාරි සෞදි රටේ ගෘහ සේවිකාවක් වී ගතවූයේ මාස දෙකකට අඩු කාලයකි. සෞදියේ දමාමි නිවසේ ගෘහ සේවිකාවක් වූ කාංචනා කුමාරි සෞදියට ගිය මුල් දිනවල ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ තම නිවැසියන්ට දුරකථනයෙන් අමතා තම සැපදුක පැවසුවාය. එපමණක් නොවේ. ඇය තම දියණියගේ හුරතල් හඬ දුරකථන රැහැන් ඔස්සේ අසා ඇඬුවාය. නමුත් තම පුංචි කැදැල්ලේ සතුට වෙනුවෙන් කුමාරි ඒ සියල්ල ඉවසා දරා සිටියාය.
“දමාමි ප්‍රදේශයේ තමයි ගෘහ සේවයට ගියේ. මුල් මාස තුනේ මම පඩි සල්ලි ටික දුන්නා. ඊට පස්සේ තමයි මට වෙනස්කම් කළේ...”
කුමාරි තම අතීතය මාතකයට නැඟුවේ හැඬූ කඳුලිනි.
එතැන් සිට කුමාරිගේ ජීවිතය කණපිට පෙරළිණි. නිවසේ අයිතිකාරිය ඇයට නොයෙකුත් හිංසා කළාය. ඇයට ඇඳීමට ඇඳුමක් හෝ දුන්නේ නැත. තියෙන ඇඳුම්, කඩමාළු වෙද්දී බඹරගස්වැව දුගී ජීවිතයක් ගත කළ කුමාරි තවත් අන්තයටම දුගී වූවාය. බඩගින්නට ගමේ ගස්වල ඕනෑතරම් ගෙඩි වර්ග තිබිණි. කොස් ගෙඩියකින්, දෙල් ගෙඩියකින් අඩුම තරමේ පළා කොළ ටිකකින් කුසගිනි නිවාගත් කුමාරිට සෞදි රටේදී දරුණුවට කුසගිනි දැනුණාය. ඒ කුසගිනි නිවන්නට සෞදියේ කුමාරිට කාත් කවුරුවත් සිටියේ නැත. ඇය අසරණ වූවාය. කුසගින්න තදින්ම දැනිණි. ඒත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය.
නිවසේ කාන්තාව හැඩිදැඩි කාන්තාවකි. ඇය කාංචනා කුමාරි බිම දමා පෑගුවාය. යටි බඩට දරුණුවට පහර දුන්නාය. එයට බාබා හවුල්කාරයෙක් විය. අදටත් කුමාරිගේ යටිබඩ ප්‍රදේශය ඒ තැලුම් හේතුවෙන් නිල් පැහැතිය.
කාංචනා කුමාරිගේ දෑත්වල අදටත් කැපුම් තුවාල රාශියකි. තුවාල කැළැල් රාශියකි. සැම විටම එක් උල් පිහියක් නිවසේ හිමිකාරිය අත තිබුණාය. එයින් නිතර නිතර කරදර කළාය.
“මගේ ඔළුව හැමවෙලේම බිත්තියේ හප්පනවා. මගේ කොණ්ඩේ ඇදලා කෙස් ගලවලා ගන්නවා. ඔළුවට ලොකු යකඩ හැඳිවලින් ගහලා ඔළුව තුවාල කරනවා. පුදුම වදයක් මට දුන්නේ...”
කාංචනා කුමාරි මාධ්‍යයට තම අදහස් දැක්වීය.
තවමත් කුමාරිගේ හිසකෙස් අතරෙහි හිසෙහි ඇති තුවාල කැළල් දැකගන්නට ලැබුණි. ඇගේ දෑස්වල නියපොතු නිල්පාටය.
“මගේ අතේ නියපොතුවලට ගහනවා. දත් දෙකක් කඩලා තියෙනවා. උයන හැඳිවලින් මූණට ගහද්දී මම අත අල්ලනවා. ඉතින් අත තුවාල වෙනවා. එක ඇහැකට එකපාරක් චාජරයකින් ගහලා ඇසේ උඩ කොටස පිපිරුණා...”
තවදුරටත් ඇය පැවසීය.
මාසයක් පමණ කුමාරිව කාමරයකට දමා නිවැස් හිමියන් විසින් දොර අඟුල් ලා තිබිණි. නිවසේ අයිතිකාරිය කීපවතාවක්ම කුමාරිට බිම දමා යටිබඩ පෑගුවාය. අදටත් කාංචනා කුමාරිට හරිහැටි ඇවිදගන්නට වාරු නැත.
කීපවතාවකම ඇයට තම නිවසට දුරකථනය ඔස්සේ කතා කරන්නට අවස්ථාව ලබා දුන්නාය. නමුත් ඒ සෑම වතාවකදීම නිවසේ අයිතිකාරිය පිහියක් අතැතිව ඇය අසලම සිටියාය. කුමාරිට තම දුක් ගැනවිලි කීමට අවස්ථාව නොලැබුණි. එසේ කිවහොත් ඇයට හිමිවන්නේ පිහි පාරෙන් මරු වැළඳ ගැනීමටයි. ඒ නිසාම කීපවතාවකදීම හිත තදකොට “මම හොඳින්” කියා කියන්නට තරම් අවාසනාවක් අත්වින්දාය.
නමුත් දරුවකුගේ හුස්මක වෙනසක් වුවද මව හඳුනන්නීය. ඒ නිසාම මව ඇතුළු කාංචනා කුමාරි පවුලේ ඥාතීහු මේ සැකය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තානාපති කාර්යාලට දැනුම්වත් කළහ.
අවසානයේදී සියලු දුක් ගැහැට විඳි කාංචනා කුමාරි, මවගේත් සැමියාගේත් විරෝධතාවය මත තම කුඩා දියණියගේ අනාගතය වෙනුවෙන් සෞදි රටට ගිය කුමාරි වේදනාවෙන් ගැහෙන පණ නළ ටිකද රැගෙන හරිහමන් ඇඳුමක් නොඇඳ කටුනායක ගුවන් තොටුපොළෙන් පසුගිය දිනෙක මෙරටට පැමිණියාය.
වසරකට අධික කාලයක් ඇය සෞදි රටේ දුක් වින්දාය. තමන්ගේය කියන කාත් කවුරුවත් නැති රටක ඇගේ කඳුළු දියවී වැටුණි. ඒවාට අදටත් වටිනාකමක් නැත. කුමාරියක් සේ මෙරටට එන්නට හීන ඇහින්ද කාංචනා කුමාරි අද රෝගිෙයකි. ගතේ වේදනාව මෙන්ම හිතේ වේදනාව අද දැනෙනවා වැඩිය. මේ කිසිවක් හරිහැටි නොදත් පුංචි දියණිය අද මව් සෙනෙහස විඳින්නට ළඟින්ම හිඳින්නීය.
ජීවිත ජීවත් කරවන්නට රට රාජ්ජවල අනේක විදි දුක් විඳින කුමාරිලා තව කෙනෙක් නම් මේ පොළෝ තලයේ සිටිනවා ඇද්ද...?
► දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ I කාංචන කුමාර ආරියදාස