සැකකරුවන්ගේ සී.සී.ටීවි දර්ශන පොලීසියට
කිරි සුවඳ වෑහෙන පුංචි සාදනාට තවමත් මාස දෙකයි දින විසි එකකි. ආදරණීය අම්මාගේ උණුසුමට තුරුල් වූ බිළිඳිය පුංචි තොලගින් කිරි රස බලමින් සිටියාය. වෙනත් කිසිවෙක් ගෙදර නොසිටි මොහොතේ නිවසට පැමිණි ආගන්තුකයින් දෙදෙනෙකි.ගෙමිදුලේ රැඳී සිටි දෙන්නා “ගෙදර කවුද...? ගෙදර කවුද...?” යැයි හඬ නගද්දී ගේ තුළ උන් බිළිඳිය හොවාගත් ජයනි දොරකඩට පැමිණියාය.
“මාමා ඉන්නවාද? සල්ලි වගයක් තියෙනවා මාළු ගත්තු ඒවාට දෙන්න...” පැමිණි අය ඇසුවේ එසේය.
“ආ.... අම්මයි තාත්තයි ගෙදර නෑ... බෙහෙත් ගන්න ගියා...” ජයනි පිළිතුරු දුන්නාය.
“ඇත්තද....? මහත්තයත් පන්සල් ගියා නේද...?” පෙරළා ඔවුන් ජයනි නම් වූ තරුණ මවගෙන් අසා “ගිහින් එන්නම්” කියා පිටව ගියහ.
ජයනි නිවසේ කාමරයට ගොස් බිළිඳියට කිට්ටු වූවා පමණය. මොහොතක් ගතවූයේ නැත. යන්නම් කියා ගිය පිරිමි පුද්ගලයින් දෙන්නා කිසිදු අවසරයකින් තොරව කාමරයට පැමිණ අවසන්ය.
ජයනිට හිතාගන්නට අවස්ථාවක් නොවීය. පිරිමි දෙන්නාගෙන් එකෙක් රැවුල වවාගෙනය. ඔහු ආ සැණින් ජයනිගේ උරහිස අල්ලා පසෙක තිබූ අල්මාරියට හේත්තු කළේය. අනෙකා බිළිඳිය සියතට ගත්තේය. තමන්ට සිදුවන්නට යන අතවරයෙන් බේරීමට කෑමොර දෙමින් පොරබැදූ ජයනි වහා නිවෙසින් පිටට පැනගත්තේ පසුපස දොරෙනි. ඒ ගමන් ඇය නතර වී තිබුණේ අසල්වැසි නිවස අසල වූ කඩයක් අසළය. සිදුවූ අකරතැබ්බය එහි පිරිසට දැන්වූ සැණින් සියල්ලෝ නිවෙස වෙත දිව ආහ. සල්ලාලයන් දෙන්නා ආගිය අතක් නොවීය. අවාසනාවකට කිරිකැටි දරු පැටියාද පෙනෙන්නට නොවීය.
පන්සලේ හාමුදුරුවන් මුණගැහෙන්නට ගිය ජයනිගේ සැමියාට පණිවුඩය දන්වන අතරතුර අසල්වැසියෝ දරුවා සොයන්නට වූහ. සැවොම විශ්වාස කළේ දරැවා පැහැරගෙන යන්නට ඇති බවය. තත්ත්වය වටහාගත් විහාරයේ ස්වාමීන් වහන්සේ වහාම දුරකථන ඇමතුමක් ලබාගත්තේ කතරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාටය.
“මහත්තයෝ.... වල්ලිමාතාගම පුංචි දරුවෙක් පැහැරගෙන ගිහින් තියෙනවා දැන්... ආරංචියේ හැටියට ත්‍රීවීල් එකක අරගෙන ගියා කියන්නේ.”
වැඩිදුරටත් විමසා තොරතුරු දැනගත් වහාම ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතා සිය නිලධාරීන් ප්‍රදේශයේ හන්දියක් ගානේ යෙදවූවේය. එසැණින් අසල්වැසි පොලිස්ථාන වෙතද තොරතුරු වාර්තා කළේය. අනතුරුව ස්ථානාධිපතිවරයා වල්ලිමාතාගම දෙසට යමින් සිටියේය.
“මහත්තයෝ.... ළමයා හම්බවෙලා තියෙනවා. ගෙදර බැරල් එකක් ඇතුළෙ ඉඳලා... දැන් ඉස්පිරිතාලේ ගෙනියන ගමන්ලු...”
මේ ඇමතුම ආවේ පෙර කී පන්සලේ හාමුදුරුවන් ගෙනි. ඒ සමඟම ජීප් රථය හැරවූ නිලධාරීහු රෝහල වෙත ධාවනය කළහ.
මොහොතක් ගත වෙත්ම ත්‍රිරෝද රථ හා යතුරුපැදි කිහිපයක් රෝහල දෙසට වේගයෙන් පැමිණියහ. පිරිස දිවගියේ හදිසි අනතුරු ඒකකය දෙසටය. පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු අසලට කිට්ටු කළහ. බිළිඳිය පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරුන් පවසා සිටියේ දැරිය රෝහලට රැගෙන එන්නට පෙරාතුව මියගොස් ඇති බවය.
ඝාතනයට ලක්වූ දැරියගේ මව තරුණ රූමතියකි. ඇය 19 හැවිරිදිය. නිවෙසේ කිසිවෙක් නොමැති මොහොතේ ඇයට අතවර කරනු රිසියෙන් සැලසුම් සහගතව පැමිණි සැකකරුවන් දෙන්නාට තම ඉලක්කය ගිලිහී ගොස් තිබිණි. තරුණ මවගේ කෑමොර දීම සහ කලබල කර පැන ගැනීම හේතුවෙන් පසුබැස්ස අපරාධකරුවන් දෙන්නාගෙන් අයෙක් දරු පැටියා උස්සාගෙන ගොස් මිදුලේ තිබූ වතුර බැරලයට දරුවා අතහැර පලා ගිය බවට තොරතුරු හෙළි වී තිබේ. ගම්මුන් දරුවා සොයමින් සිටියදී විනාඩි 20කට පමණ පසුව ඇයගේ සිරුර බැරලය තුළින් ගොඩගන්නා විටද සිරුර අධික සීතලකට පත්වී තිබුණි.
සිදුවීමට පෙර නිවසේ වැඩිහිටියන් හෝ ජයනිගේ සැමියා නොසිටි බව අනාවරණය වී ඇත. ජයනි සඳරේඛා පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ප්‍රේම සබඳතාවයක් මත චාරුක හා විවාහ වී තිබුණේ සිය මවුපියන්ට විරුද්ධ වෙමිනි. ඇය චාරුක හා කතරගම වල්ලිමාතා ගමේ පදිංචියට ගියාය. ජයනිගේ පවුලේ හිතවතුන් ජයනිව අත්හැර දැමුවේ මේ විවාහය නිසාය. එහෙත් මාළු ව්‍යාපාරයක නිරත ඇගේ ස්වාමියාගේ පියා හා මෑණියෝ ඇයට ආදරයෙන් සැලකූහ.
ඔවුන් දෙන්නාට කුළුඳුලේ උපන් බිළිඳාට මාස දෙකයි දින 21ක් පිරුණු දා මේ අපරාධය සිදුව තිබුණේ කිසිවකුත් විශ්වාස නොකළ අයුරෙන්ය. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට පත්වූ බිළිඳාගේ මව ජයනි මහත්මිය මෙසේ කීවාය.
“26 වෙනිදා හවස 6.50ට විතර දෙන්නෙක් ඇවිත් කතා කළා. තාත්තාට සල්ලි වගයක් දෙන්න තියෙනවා කීවා. ඒ වෙලාවේ අම්මා, තාත්තා දෙන්නම හිටියෙ නෑ. මහත්තයත් පන්සලට ගිහින්. තාත්තා ගෙදර නෑ කීවාම දෙන්නාම ගියා. විනාඩි දහයකින් විතර ආයෙම ඇවිත් මට අතවර කරන්න හැදුවා. මං කෑගහලා බයට බේරිලා පැනගත්තා. දරුපැටියා ඒ කෙනෙක් මගෙන් උදුරා ගත්තා. පස්සෙ ඇවිත් බලද්දි දුව පේන්න හිටියෙ නෑ. හම්බවුණා වතුර බැරල් එකේ ඉද්දි. මට ඒ මිනිස්සු දෙන්නා දැක්කොත් ආයෙ අඳුරාගන්න පුළුවන්.”
සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිල සුනඛ පබ්ලෝ රැගෙන විත් විමර්ශන ආරම්භ කළ අතර විද්‍යාත්මක සාධක ඔස්සේ විමර්ශන සිදුකෙරෙමින් තිබේ. ඒ අතර අපරාධකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් දෙන්නාගේ සී.සී.ටී.වී. දර්ශන පොලීසියට ලැබී තිබෙන බවද ඉදිරියට විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
කතරගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම්, අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේතුංග, උප පොලිස් පරීක්ෂක ලක්මාල් සමඟ පොලිස් සැරයන් 28030 සමන් යන අය වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර