“අපේ රටේ බාලයන් වීර වූ උදාර වූ චරිත ඇති තමන්ටත් අනුන්ටත් වැඩ සලසාලන්නට සමර්ථ වූ මිනිසුන් බවට පමුණුවන්නට නම් අන් කුමක් කෙසේ වුවද එකක් අවශ්‍යය. ඒ කිමෙක් ද? ශික්ෂකයන්, අපේ දරැවන් හික්මවන්නවුන්, අභිමානය ඇත්තවුන්, අභිමානය රක්නවුන් බවට පැමිණ වීමයි. අභිමානය රහිතයන්ගේ බැල්මෙහි හික්මෙන්නාහු ද අභිමාන රහිතයෝ වෙති. අභිමාන රහිත රහිතයන්ගේ කවර වීරත්වයක් ද? කවර උදාරත්වයක් ද? විරෝධාර ගුණ රහිතයන්ගෙන් ඔවුනට හෝ අනුනට හෝ කවර නම් වැඩෙක් සිදුවේද?” කුමාරතුංග මුනිදාස 1934 අගෝස්තු 28 ලක්මිණිපහන කතුවැකිය.
කුමාරතුංග මුනිදසුන්ගේ කතුවැකියකින් කොටසක් උපුටා ගෙන මේ සටහනට මුල පුරන්නට යෙදුණේ ශික්ෂකයකු ගුරුවරයකු තුළ තිබිය යුතුම ගුණාංග කීපයක් වත්මන් ශික්ෂකයන්ට ද සිහිපත් කිරීමේ අටියෙනි. මන්දයත් වර්තමාන ඇතැම් ශික්ෂකයන්ගේ ක්‍රියාකලාපයන්, අභිලාෂයන්, චර්යා රටාවන් ආදිය නිසා සමාජ ශික්ෂක ප්‍රජාවම අවලාදයට, ගැරුහුමට ගොදුරු වී ඇති බැවිණි. එහෙත් බොහෝ ශික්ෂකයෝ සිය භූමිකාවේ සිව් කොන මැනවින් අවබෝධ කොට ගෙන එදත් කටයුතු කළහ. අදත් කටයුතු කරති.
මෙකල මෙන් සැමට අධ්‍යාපනය විවෘත නොවූ සමයක බොහෝ ගැහැට විඳ අකුරු උගෙන ගම්බද දරුවන් වීර උදාර චරිත ඇති තමන්ටත් අනුන්ටත් වැඩ සලසාලන්නට සමත් මිනිසුන් බවට පත්කළ ශික්ෂකයකු අද මම ගමේ ඇත්තන්ගේ රස කතා මණ්ඩපයට කැඳවා ගෙන ආවෙමි.
අකරගල්ල, එරියාව කොළණියේ පදිංචි හේ නමින් රත්නමලල ඉරුගල් බණ්ඩාරලාගේ හේරත් බංඩා රත්නමලල මහතාය. දැනට අසූහත් වැනි වියේ පසුවන ඔහු විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි.
“අපි ඔබේ ළමා කාලයෙන්ම මේ කතාව පටන් ගමු නේද ?” මම රත්නමලල මහතාට යෝජනා කෙළෙමි.
“මගේ උපන් ගම මහව, ඉපලෝගම අපේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටියා. අපි බොහොම දුප්පත් පවුලක්. අම්මා අකුරු දන්නේ නෑ. තාත්තත් උගතෙක් නෙමෙයි. ඒත් තාත්තා බුද්ධිමත්. දුප්පත් වුණත් තාත්තට උවමනා කළා අපට හොඳින් උගන්වන්න.”
“මම පළමු පංතියේ සිට පස් වැනි පංතිය දක්වා ඉගෙන ගත්තේ මහව හුලෝගෙදර පාසලෙන්. ඊට පස්සේ තාත්තා මාව ඒ ඉස්කෝලෙන් අයින් කරලා. කඳාන නාගොඩ විද්‍යාලයට දැම්මා. තාත්තාගේ යාළුවෙකු ගෙදර නැවතිලා ඉඳලා තමයි ඒ පාසලට ගියේ. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය දක්වා ඒ පාසලෙන් ඉගෙන ගත්තා.”
“ඊට පස්සේ තාත්තට ඕන වුණා මාව කුරුණෑගල මලියදේව විද්‍යාලයට දාන්න. ඒ කාලේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් තිබුණේ නෑනේ. සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්න වුණේ. “ස්කූල් පීස්” කියලා අය කරනවා. ස්කූල් පීස් අය කරන්නේ එක එක පංතියට එක එක ගණන් වශයෙන්. මට මතක හැටියට මාසයකට රුපියල් දහයක් හරි දොළහක් හරි අය කළා. මං ඔය කියන කාලේ මලියදේව විද්‍යාලයේ විදුහල්පති ලෙස හිටියේ යූ.බී. වන්නිනායක (හිටපු මුදල් ඇමතිවරයෙකු වූ දිවංගත යූ.බී. වන්නිනායක) මහත්තයා. එතුමා අපේ තාත්තත් එක්ක හොඳයි. ඒ නිසා එතුමා මාව මලියදේව විද්‍යාලයට ඇතුළත් කර ගත්තා.”
“කුරුණෑගල තරුණ සංගමය මඟින් තමයි එදා මලියදේව විද්‍යාලය පාලනය කළේ. ස්කූල් පීස් ගෙවීම ප්‍රමාද කළා කියලා වන්නිනායක සර් මට කරදර කළේ නෑ. එතුමා ජීවතුන් අතර ඉන්නකම් අපේ සම්බන්ධතා තිබුණා. එතුමාගේ දේශපාලන වැඩවලටත් මම උදව් කළා.”
“මලියදේවෙට මං ගියේ යන්තම්පලාව පිහිටි පන්සලක නතර වෙලා. ඒ පන්සලේ නම මුදලින්දාරාමය. අපේ ඥාති හාමුදුරුනමක් තමයි පන්සලේ හිටියේ. පන්සලේ නතර වෙලා හිටියට මම පන්සලට ගේන දානේ කෑවේ නෑ. පන්සලේ උයාගෙන කාලා තමයි හිටියේ. උයාගන්ඩ අවශ්‍ය බඩු තාත්තා ගෙදරින් ගෙනත් දෙනවා. ඒ කාලේ අපේ ගම්වල අය නඩුහබවලට ගියේ කුරුණෑගල උසාවියට. එහෙම එන අය අතෙත් මට උයාපිහා ගන්න බඩු තාත්තා එවනවා. යන්තම්පලාවේ සිට කුරුණෑගලට දුර සැතැපුම් තුනයි. බස් එකට ගත්තේ ශත පහයි. ඒත් මම කිසිම දවසක බස් එකෙන් ඉස්කෝලෙට ආවේ ගියේ නෑ. සැතැපුම් තුනම ආවේ ගිවේ පයින්මයි. ආර්ථික අමාරුකම් නිසාමයි එහෙම කළේ.”
“මලියදේවෙ මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 1952 අවුරුද්දේ ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට මම පෙනී සිටියා. ඒ කාලේ ඒ විභාගයට තිබුණේ විෂයන් හයයි. 1953 අවුරුද්දේ මාර්තු විසිහත විභාගයේ ප්‍රතිඵල පිටවුණා. මම සම්මාන හයක් එක්ක විෂයන් හයම පාස් වෙලා තිබුණා. ඒකත් විශේෂත්වයක්. කොහොම හරි ආර්ථික දුෂ්කරතා නිසාම ඉන් ඉහළට ඉගෙන ගන්ඩ මට අවස්ථාවක් ලැබුණේ නෑ.”
“එතකොට ඔබේ ගුරු ජීවිතය ආරම්භ වෙන්නේ මොන කාලයේ සිටද?” මම රත්නමලල මහතාගෙන් ඇසුවෙමි.
“1953 මාර්තු විසිහත් වැනිදා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල දුන්නානේ. මට අප්‍රේල් පළමු වැනිදා ගුරු පත්වීමක් ලැබුණා. වැඩබලන ඉංග්‍රීසි උපගුරැ ලෙස තමයි පත්වීම ලැබුණේ. මාසයකට රුපියල් හැටයි පඩිය. නිවාඩු නෑ. වැඩකරපු දිනවලට විතරයි පඩි ගෙව්වෙත්. මුල්ම පත්වීම ලැබුණේ ඇහැටුවැව කනිෂ්ඨ විද්‍යාලයට. 1953 අවුරුද්දේ පත්වීම ස්ථිර කළා. පත්වීම ස්ථිර කරලා මාව දැම්මේ කහටගස්දිගිලිය කෝන්වැව විද්‍යාලයට. ඒ පාසල සිංහල - දෙමළ මිශ්‍ර පාසලක්. පරණම ඉස්කෝලයක්. එහේ අවුරුදු පහක් විතර වැඩ කළා.”
“ඊට පස්සේ මට ස්ථාන මාරැවක් ලැබුණා අලව්ව, කෝදාපාළුව විද්‍යාලයට එතැනින් මං ගුරු පුහුණුව සඳහා මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ගියා. පුහුණුවෙන් පස්සේ පත්වීම ලැබුණේ අබකොළවැව විද්‍යාලයට. ඊළඟට තිඹිරියාව නවාන පාසලටත්, නිකවැරටිය, දණ්ඩුවාව පාසලටත්, බලල්ල බේරුවැව පාසලටත් ස්ථාන මාරැවීම් ලැබුණා.”
“1964 අවුරුද්දේ ජනවාරි මාසේ පළමු දා ගිරාබාව වරාවැව මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර ලැබුණා. අවුරුදු හතරක් එහේ වැඩ කරලා 1968 අවුරුද්දේ අඹන්පොළ උඩදිවුල්වැව විද්‍යාලයේ විදුහල්පති වශයෙන් ආවා. ඒ පාසලේ ඉද්දී “සමස්ත ලංකා පාඨශාලයීය කෘෂිකර්ම තරග* කියලා තරගයක් පැවැත්වූවා. ලංකාදීප පත්‍රයේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තමයි තරගය මෙහෙය වූයේ. ඒ තරගයෙන් ලංකාවෙන්ම පළමු වැනි ස්ථානය හිමිකරගත්තේ මම. 1972 – 73 මහ කන්නය සඳහා තමයි මේ තරගය සංවිධානය කෙළේ. මට ලැබුණ සහතික පත්‍රය තමයි මේ තියෙන්නේ.”යි කියමින් හේ ඒ සහතික පත අපට පෙන්වීය.
උඩදිවුල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ රත්නමලල මහතා අනතුරුව විදුහල්පති ලෙස පත්ව එන්නේ අකරගල්ල කනිෂ්ඨ විද්‍යාලයටය. දිගුකලක් එහි විදුහල්පති ධුරය හෙඹවූ ඔහු 1990 වර්ෂයේ නොවැම්බර් මස විසි හය වැනිදා සේවයෙන් විශ්‍රාම ගියේය.
“සේවා ජීවිතය ගැන ආපසු හැරී බලද්දී මොනවා ද හිතෙන්නේ” මම ඔහුගෙන් ඇසුවෙමි.
“සතුටු වෙන්න පුළුවන් අවස්ථා බොහෝමයි. කළකිරීම් නැත්තෙත් නෑ. ගුරු ජීවිතයේ අවුරුදු තිස් හත තුළම මම නිවාඩු දහයකට වඩා අරන් නෑ. මොන පාසලේ වැඩ කළත් වෙලාවට වැඩට යනවා. මගේ රාජකාරි ජීවිතයේ කවමදාකවත් මම ස්ට්‍රයික්වලට සම්බන්ධ වෙලා නෑ. මුළු ලංකාවම ස්ට්‍රයික් කළත් මම ඒවාට සම්බන්ධ වෙලා නෑ.”
“ඒ කාලේ වැටුප් වර්ධක දෙන්නේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරින්ගේ නිර්දේශය මත. අපට ඒ කාලේ කාර්ය දර්ශකය කියලා පොතක් දීලා තිබුණා. මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී පාසලට ඇවිත් තීරණය කරනවා. සේවය සතුටුදායක ද, ඉතා සතුටුදායක ද, අසතුටුදායක ද කියලා. ඒ බව අර පොතේ සටහන් කරනවා. ඉතා සතුටුදායක ගන්න නම් විභාග ප්‍රතිඵල හොඳට තියෙන්න ඕන. අසතුටුදායක නම් වැටුප් වර්ධක ලැබෙන්නේ නෑ.”
“මං විදුහල්පති ලෙස වැඩ කරපු හැම පාසලකම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 75%ක් සමත් ප්‍රතිඵල ලෙස තමයි ගත්තේ. මම විදුහල්පති ලෙස කටයුතු කරපු කාලයේ අර කාර්ය දර්ශක පොතේ “ඉතා සතුටුදායකයි* කියන සටහන තමයි හැම අවුරුද්දකම සටහන් වෙලා තියෙන්නේ. ගුරු අභ්‍යාස විද්‍යාලයේ විභාගයේදී විෂයන් පහළොවක් තිබුණා. ඒ විෂයන් පහළොවටම මට සම්මාන තිබුණා. එහෙම සම්මාන ගන්නේ ලංකාවෙන් කීප දෙනයි. අපේ ඒ හැකියාවන් දරුවන්ට දෙන්න තමයි අපි උත්සාහ කළේ.”
“දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විතරක් නෙමෙයි පාසල්වල භෞතික සම්පත් වැඩි කරගන්නත් මම මහන්සි වුණා. උඩදිවුල්වැව පාසලේ ඉදිකරපු ගොඩනැගිල්ල විවෘත කරන්න යූ.බී. වන්නිනායක මුදල් ඇමතිතුමා ගෙන්වා ගෙන ඒ කටයුතු ලස්සනට කළා. ඒ පාසලේටම ගෙවතු වගා තරගයෙන් ලංකාවේ පළමු වැනි ස්ථානය ලබාදීමට කටයුතු කළා.
මං අකරගල්ල පාසල කෘෂිකර්ම පාසලක් බවට පත්කරන්න මහන්සි ගත්තා. ඒත් ඒකට විරුද්ධව මිනිස්සු මට පෙත්සම් ගැහුවා. පාසල හරක් ගාලක්, කුකුළු පට්ටියක් කරන්න හදනවා කියලා දොස් නැඟුවා. අන්තිමට පෙත්සම් විභාග කරන්න ආපු නිලධාරීන් කීවා “මිනිස්සුන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. විදුහල්පති වැඩ කරන්න ඕන අධ්‍යාපන නිලධාරීන් කියන විදිහට” කියලා පෙත්සම් ඉවත් කළා. මම කරගෙන ආ වැඩසටහන දිගටම කළා. ඒත් පෙත්සම් යැවීම ගැන කළකිරීමක් ඇති වුණා.හරියට වැඩ කරන කෙනෙකුට සමහර තැන්වලදී වැඩ කරන්න දෙන්නේ නෑනේ.”
“ඔබේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ. ඒ කිපයක් මතක් කරමුද? මම රත්නමල්ල මහතාට යෝජනා කෙළෙමි.
“යූ.බී. වන්නිනායක මහත්තයා මන්ත්‍රී තරගවලට ඉල්ලපු හැම වෙලාවෙම මම එතුමාට සහයෝගය දුන්නා. ඒ කාලේ ඡන්ද රුස්වීම් අඩුයි. ගෙන් ගෙට ගිහින් ඡන්දය ඉල්ලන ක්‍රමය තමයි තිබුණේ. දවසක් වන්නිනායක මහත්තයයි. අපි කට්ටියකුයි එකතුවෙලා අපේ ගමේ (ඉපලෝගම) ගෙන් ගෙට ඇවිදින්න ගියා. ඒ යනකොට ගමේ මනුස්සයෙක් වැවේ වාන ළඟදී අපට මුණගැසුනා. මනුස්සයා වල් කොටලා (හේනක කැලෑවක කපා) නාගෙන ගෙදර යන ගමන්.”
“අපි වන්නිනායක ඇමතිතුමාට කීවා ඔය එන මනුස්සයාට කතා කරන්න කියලා. එතුමාත් “හා... උන්නැහැ කොහොමද” කියලා ඇහුවා. එතකොට මනුස්සයා දුන්න උත්තරය මොකක්ද දන්වාද? “මට ඕන විදිහකට කතා කරන්ඩ හැබැයි ඡන්දය නම් ඉල්ලන්ඩ එපා. උඹලා ඡන්දය ඉල්ලාගෙන යනවා. ආයි පැත්ත පළාතකට එන්නේ නෑ. මම ඡන්දය දෙන්නේ වන්නිනායක මහත්තයට විතරයි.” කියලා මනුස්සයා කීවා.
“ඊට පස්සේ වන්නිනායක මහත්තයා ඒ මනුස්සයාට රුපියල් දෙකක් දීලා “මේකෙන් ගෙදරට සීනි, තේ කුඩු ටිකක් යන ගමන් අරන් පලයන්. අපට ඡන්දය දෙන්න එපා. වන්නිනායක මහත්තයාටම ඡන්දය දීපන්.” කියලා කීවා. තමන් කවුද කියලා හඳුන්වා දෙන්ට වන්නිනායක මහත්තයා ගියේ නෑ.
නිහාල් ජයවීර