අපේ රටේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ක්‍රියාත්මකවන විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි. යල මහ කන්න දෙකටම වාරි ජලය සපයමින් ඌව වෙල්ලස්ස හා රුහුණේ ඉඩම් අක්කර 2500 ක් අස්වැද්දීම, පහළ ඌවේ ඉඩම් අක්කර 12000ක් අස්වැද්දීම, හම්බන්තොට වරාය, හම්බන්තොට කාර්මික ජනපදය, මත්තල ගුවන්තොටුපළ යන ස්ථානයන්ට ජලය සැපයීම, ඌව පළාතේ සහ රුහුණේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලබාදීම, ලුණුගම්වෙහෙර හා හඳපානාගල වාරිමාර්ග ශක්තිමත් කිරීම මෙගාවොට් 100 ක විදුල බලාගාරයක් ඉදිකර වාර්ෂිකව විදුලි ජනන ඒකක මිලියන 300ක් ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම යනාදි අරමුණු රාශියක් උදෙසා ආරම්භ කළ මෙම මහා ව්‍යාපෘතිය අද ඌව පළාතේ මිනිසුන් හඬවන මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
මේ ඛේදවාචකය ආරම්භ වූයේ වැලිමඩ පුහුල්පොළදී උමාඔය හරස්කර ඉදිකරන ජලාශය හා වැලිමඩ ඩයරබා වතුයායේදී මාතැටිල්ල ඔය හරස්කර ඉදිකරන ජලාශය සමඟය. මේ සඳහා වැලිමඩ හා ඌවපරණගම පවුල් 156ක් ඔවුන්ගේ පාරම්පරික ගම්බිම වලින් ඉවත්කිරීම නිසා ජීවනෝපාය වූ ගොවිබිම් හැරයාමට සිදුවූයේ අනාගතය දැඩි අවදානමකට යොමුකරමිනි. වන්දියකින් සෑහීමකට පත්කළ නොහැකි මේ අහිමිවීම් ඔවුන්ගේ ජීවිත දමා ඇත්තේ අගාධයකටය.
මීට අමතරව මෙම ව්‍යාපෘතිය සදහා ඇල්ල සහ වැල්ලවාය ප්‍රදේශවල තවත් පවුල් ගණනාවක් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත්කර වගාබිම් මෙන්ම ව්‍යාපාරික ස්ථාන අහිමි කෙරිණ. ඒවා සඳහා වන්දි ලැබුණත් ජීවිත යළි ගොඩනගා ගැනීම අසිරු කටයුත්තක් බව ඔව්හු කියති. ඩයරබා ජලාශයේ සිට වැල්ලවායට ඉහළින් ඉදිකරන විදුලිබලාගාරය දක්වා එම ජලාශවල ජලය රැගෙන යාමට කි.මී. 23 ක් දිග උමං මාර්ගය කැනීම ආරම්භ කිරීමත් සමඟ බණ්ඩාරවෙලට ගැලූ කඳුළු ගඟ නිමක් නැතිව ගලා යන්නේය.
2014දී බණ්ඩාරවෙල අඹදණ්ඩේගම නිවසක් විනාශ කරමින් මහ පොළව ගිලා බැස්සේය. ඉන්පසු වෙහෙරගොඩ, මකුල් ඇල්ල, එගොඩවත්ත යන ගම්මානවල ළිං ජලය සිඳීයාම සිදුවිය. එම ගම්මානවල ළිං 60ක ජලය සිඳීගියේය. ඊට අමතරව කිසිම නියං කාලයක නොසිඳුණු ජල උල්පත් සිඳීගියේය. මකුල්ඇල්ල ගම්මානයේ පොළව ඉරිතලා ගිලා බැස විදුහල හා නිවාස කීපයක් බිත්ති පුපුරා ගියේය. මැදපේරුව වෙල්යායක් මැද විශාල ගිලාබැසීමක් පසුගියදා සිදුවූයේ තවත් පවුල් සිය ගණනකට භීතිය සහ උපද්‍රව සිදු කරමිනි. නිවාසවලටද හානි සිදුවිය. දැන් මුළු ප්‍රදේශයම අවදානම් කලාපයකි.
පසුගිය වසර පුරා මෙම ව්‍යාප්ත වූ මේ භූමි විපර්යාසය නිසා මේ වනවිට නිවාස 2800 කට පමණ හානි සිදුව ඇති බව බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් තනුක්ෂිකා මෙනෙවිය පවසති. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහිම ජලය සිඳුණු ළිං සංඛ්‍යාව 900 ක් පමණ වේ.
මිනිසුන් පීඩාවට පත්කරන මේ මහා අපරාධය ගැන වගකිවයුතු කිසිවකුගෙන් පිළිසරණක් නොලැබුණ තැන මේ ඛේදවාචකය ගොදුරු වූ ඇතැම් පිරිස් සංවිධානයක් පිහිටුවා ගෙන උද්ඝෝෂණ දියත් කළහ. තම අයිතිවාසිකම් දිනා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පවා මේ අසරණයන්ට සිදුවිය. ඇතැම් නිවාස හා වගාවන් සඳහා වන්දි නිර්දේශ වුවත් වගා වන්දි සඳහා ලැබුණ අධිකරණ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව යළි වීදි බැස උද්ඝෝෂණය කළහ. තත්ත්වය මෙසේ පවතිද්දී යළි නිවාස ගිලාබැසීමේ අවදානමද මතුවිය. බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ නිවාස කීපයක පොළව ඉරිතලා බිත්ති පුරා ගිලා බසින්නට පටන්ගත්තේය.
උඩපේරුව ග්‍රාමසේවා වසමේ අරාවත්ත ගම්මානයේ පදිංචි සමන්ති අනෝමා මහත්මිය මේ සිදුවීම හැඬූ කඳුළින් කියා සිටියාය.
උමාඔය ව්‍යාපෘතිය නිසා අපේ ළිඳ හිඳුණා. ඊට පස්සේ බොන්නවත් වතුර නැතිවුණා. ඊට පස්සේ පොළව ඉරිතලා ගිලා බසිමින් ගේ බිත්තිත් පුපුරන්න පටන් ගත්තා. අවට අය ඇවිත් මුක්කු ගහලා දැන් වහල තියෙන්නේ මුක්කු උඩ. අපිට යන්න කියල කිව්වත් යන්න තැනක් නැහැ. ගෙවල් හොයාගන්නත් නැහැ. මේ පළාතේම ගෙවල් විනාශ වෙද්දී කොහෙන්ද අපි ගෙවල් හොයාගන්නේ. අපේ වගාබිම් දාලා යන්නේ කොහොමද? අපි නැත්තට නැතිවුණා. අනේ දෙයියෙන් මේ අවනඩුව කාට කියන්නද? ඇය ප්‍රකාශ කළේ අසරණ ස්වරයෙනි.
මේ නිවසේ පමණක් නොව ගමේ හැම නිවසකම ඉරිතැලුම්ය. දැන් ඒවා වැඩිවෙමින් පවතී. දවසින් දවස තත්වය උග්‍රවන බව ඔව්හු පවසති. මෙම නිවසට මීටර් 100 ක් පමණ දුරින් පිහිටියේ වසමේ ග්‍රාම නිලධාරී එස්.එම්.ටී. සමරකෝන් මහතාගේ නිවසය. උපයා සපයාගත් මුදලින් රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඉතා පියකරු ලෙස ඉදිකළ එම නිවස වඩාත් බිහිසුණු ලෙස ගිලා බැසිමේ ලක්ෂණ පළකර තිබේ. ටයිල් පුපුරා උඩට නෙරා ඇත. කොයි මොහොතේ ගිලා බසීදැයි කිව නොහැකි තරමේ අවදානමකි. සතර අතින්ම නිවසේ බිත්ති පුපුරා පැලී ගොසිනි. බිරිය හා දරුවන් සමඟ ඔහුද නිවසින් ඉවත්ව ඇත. වසමේ හැම ගෙයකම පවතින අවදානම නිසා නිවැසියන් දිවා රෑ දෙකේම බියෙන් පසුවන බව ඔහු පැවසුවේය.
අරාවත්ත ගම්මානයේ පමණක් නොව, මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරතැන්න, බඹරගම, තන්තිරිය, කිනිගම, බණ්ඩාරවෙල නැගෙනහිර, හීල්ඔය හා පලලේපේරුව යන ග්‍රාමසේවා වසම්හි පවුල් තුන්දහසකට වැඩි පිරිසක් මේ වනවිට බහිරවයගේ වියරු හැසිරීමෙන් දැඩි සේ අසරණව ඇත. තවත් පවුල් දහස් ගණනක්ට ඉදිරියේදී මේ අවදානමට ලක්විය හැකි බව පැවසේ. ඊට හේතුව වන්නේ උමාඔය ව්‍යාපෘතියේ උමං මගේ කැණීම් බිඳුණුවැව දෙසට ව්‍යාප්ත වීමය.
උමාඔය ව්‍යාපෘතියේ අයටත් මේ ව්‍යසනය කොතෙක් දුරට පැතිරයාදැයි කිව නොහැකි තත්ත්වයක පවතින බව එහි නිලධාරියෙක් පැවසීය. ඉදිරියේ තවත් පවුල් කොතරම් සංඛ්‍යාවක් මේ ව්‍යසනයට බිලිවේදැයි කිව හැක්කේ බහිරවයාට පමණකි. පිළිසරණක් නොවූ තැන පීඩාවට පත්වූ මෙම ජනතාව විවිධ සංවිධානවල පිහිට පතති. උමා ඔය නිසා පීඩාවට පත් ජනතා සංගමය බිහිවූයේද ඒ සඳහාය. එහි සභාපති එච්. ඒ බෝධිපාල මහතාගේ වෙහෙරගලතැන්නේ පිහිටි නිවසද ඔහුගේම යාබද නිවසද පොළව ඉරිතලා බිත්ති පුපුරා ගිලාබසිමින් තිබේ.
ඔහු පවසන පරිදි උමාඔය උමඟ නිසා භූගත ජල මට්ටම් අදහාගත නොහැකි ලෙස දිනෙන් දින පහළ යමින් තිබේ. අපි ඔහුට සවන් දුනිමු.
“මෙතැනට තමයි මේ ප්‍රදේශයේ උමාඔයේ බලපෑම ඉස්සෙල්ලාම ආවේ. මේ භූගත ජල මාපකය සවිකරලා තියෙන්නේ විද්වත් මණ්ඩල නිර්දේශයක් අනුව. සතියකට දෙකකට වරක් නිලධාරින් ඇවිත් මෙම ස්ථානයේ මිනුම් කටයුතු කරනවා. මේක පටන්ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසේ. ඒ වනවිට මේ ප්‍රදේශයේ ජලය මීටර් 38 ක් යටින් තිබුණා. නොවැම්බර් මස 07 වැනිදා වෙනකොට ඒක මීටර් 48.8 දක්වා පහළ බැස තිබුණා. දෙසැම්බර් 19 වැනිදා වෙනකොට මීටර් 56.9 දක්වා පහත බැස තිබුණා. ඒ කියන්නේ අඩි 172 ක් විතර යටින් තමයි දැන් භූගත ජලය තියෙන්නේ.
මේ හරිය උල්පත්වලින් වතුර උතුරා ගිය ස්ථාන. කවදාවත් මොන නියඟක් ආවත් ජලය අඩුවුණේ නැහැ. අපට නම් විශ්වාසයන් නැහැ ජලය යළි ලැබෙයි කියලා. ජල සම්පාදනයෙන් ජලය සැපයුවත් මේ ජනතාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ හැම තැනම ඉන්නේ වී හා එළවළු වගාවන් කරන අය. මුළු වගාබිම්ම ජලය නැතිව විනාශයි. අපි සන්ධාන ගතවෙලා මේ අසාධාරණයට විරුද්ධව සටන් කරනවා.
වන්දි ගෙවීම්වලදී අසාධාරණයකම කියලා ශ්‍රෙෂ්ඨාධිකරණයට පවා ගියා. වගා හානි සඳහා වන්දි ලබාදීමට කළ අධිකරණ නියෝගය පවා තවම ක්‍රියත්මක වී නැහැ. සිදුවන විනාශයට කිසිම දේශපාලනඥයෙක් මේ දක්වා විසඳුමක් ලබාදීමට අපොසත් වී ඇත. දේශහිතෛෂි පරිසරවේදීන්ගේ හඬට පවා කන්නොදී පාරිසරික හානිය පවා නොතකා 2009 අප්‍රේල්මස 29 වැනිදා මෙම ව්‍යාපෘතියට මුල්ගල තබන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මේ සඳහා ඉරාන රජය ප්‍රදානය කළ ණය ආධාර රුපියල් මිලියන 15000 කි.
කෙතෙක් විරෝධතා මතු වුණද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින්ද මෙය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ එය නතර කළහොත් වැය කළ මහා ධනස්කන්ධයද වතුරේම යන බැවිනි. මේ නිසා තවදුරටත් මුදල් වැයකර ලබන වසරේ මැද භාගයේදී මෙම ඉදිකිරිම් නිමාකරන බව මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා නොබෝදා උමං මග විමර්ශනය කිරීමෙන් පසු ප්‍රකාශ කළේය.
මේ සිදුවූ විනාශය නතර නොවුවහොත් ඒ වනවිට ලංකාවේ සුන්දරම නගරයක් වන බණ්ඩාරවෙල ශ්‍රී ලංකා සිතියමේ ඉතිරිවේදැයි කියන්නට සමත් කෙනෙක් ඇද්දැයි නොදනිමි.
♦ කතාව I සේයාරූ
බදුල්ලේ පාලිත ආරියවංශ