2017 ජනවාරි 07 වන සෙනසුරාදා

නව වසරේ ග්‍රහ යුද්ද දෙකක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

 සියල්ල උඩුයටිකුරුවන පසුබිමක් 

ග්‍රහ සටනෙන් ජනවාරි 01 දින නෙප්චූන් ජයග්‍රහණය කළේ මීන රාශි තක්කාල උදාවේදීය. යුරේනස් ලග්නයේදී 6 වැන්නවූ රෝග සතුරු ස්ථානගත රාහු ශත්‍රැවද 7 වැන්නෙහි බ්‍රහස්පති මිත්‍රවද 9 වැන්නවූ පුණ්‍ය ස්ථානගත සෙනසුරු ශත්‍රැවද රවි, බුධ, ප්ලූටෝ කර්ම ස්ථානගතවද, අයස්ථාන ගත චන්ද්‍රයා ශත්‍රැවද 12 වැන්නවූ වැය ස්ථානගත අඟහරු ශත්‍රැවද සිකුරු නෙප්චූන් කේතු මිත්‍රව ද යෙදී තැන්පත්ව ඇත.

ජනවාරි 13 කිවිදින සිකුරු විජයග්‍රහණය කෙරෙනුයේ වෘශ්චික රාශි තත්කාලීන රාශි උදාවේදීය. සෙනසුරු ලග්නගතව ශත්‍රැවද, රවි, බුධ, ප්ලූටෝ දෙවැන්නේද ශත්‍රැගත අඟහරු - නෙප්චූන්, කේතු - සිකුරු මිත්‍රව සිව්වැන්නේද, යුරේනස් 5 වැන්නේ ද චන්ද්‍රයා නව ක්ෂේත්‍රව 9 වැන්නේද, රාහු ශත්‍රැව කර්මස්ථාන ගතවද, බ්‍රහස්පති මිත්‍රව 11 වැන්නවූ අයස්ථානගතවද තැන්පත්ව ඇත.

මීන රාශියට - 12 වැන්නට අධිපති නෙප්චූන් වේ. සිහින, මායා, මැජික්, ප්‍රර්ථනා සහ සිතුම් පැතුම් නේප්චූන් අශ්‍රිත ස්වභාවයයි. සක්වළ උපරිම කාමභෝගී සැප විහරණය ආශ්‍රිත රසකාමී සිකුරු ග්‍රහයා ආශ්වාදනීය වූ ඉරබටු තරුවයි.

ශ්‍රී ලාංකේය කේන්ද්‍රයට සමගාමීව මෙකී ග්‍රහ යුද්ධ දෙක 2017 වසර පුරාවටම බලපාන්නාවූ අනුවේදනීය පසුබිමක් නිර්මාණය කෙරේ. කෘෂිකාර්මික ගැමි ජන ජීවිත අතිශය මන්දගාමී ශෝකාකූල පසුබිම වඩ වඩාත් යොමු වී භීම සමයකට අවතීර්ණ වීම ආර්ථිකය ගරාවැටී තීව්‍රත වීමට මෙහිලා මෙකී ග්‍රහ යුද්ධ හේතු සාධක වන්නේය. ජන ජීවිත ආශ්‍රිත සංවර්ධනය, කෘෂිකර්මය මූලික කොටගත් ප්‍රවේශයක් නමුත් භූමිය - අනුග්‍රහය සහ උපදේශන සේවාව පිළිබඳ කඩිනම් අවධානය 2017 වසර තුළ යොමු නොවුණහොත් සෝමාලියාවේ තත්ත්වය උදාවන දිනය එතරම් දුරස්ථ නොවන බව පෙනෙයි. සමස්ත ජනතාව අතරින් ධනය - බලය හේතුකොටගත් අතළොස්සකගේ සැපවත් බව 1948 – 2017 අතර වර්ෂ 150ක කාල පරාසයක් මත ගොඩනැගී ඇති අතර එම දේශපාලනික භූමිකාව මත දිගුකාලීන වූ දුගී දුප්පත් බැව් සදහටම උරුම වෙනවා ඇත. මෙකී ශෝකාකූල පසුබිම තිරිවාන ගල් පාවෙන, ගොම වැරැටි බාවෙන උඩු යටිකුරු වෙමින් ගිනියම් වෙන දැඩි නොසන්සුන් අධි‍භෞතික ත්‍රාස්‍යජනක ග්‍රහචාරයක් නිර්මාණය වීමෙහි බොහෝ දුරට ඉඩකඩ ඇත.

සෞඛ්‍යය - අධ්‍යාපනය - නාවික ගුවන් මහාමාර්ග ආශ්‍රිත ගමනාගමනය -  තැපැල් - අධිකරණය - ජනමාධ්‍ය - උසාවි, බන්ධනාගාර - දේශපාලනික යනාදී ක්ෂේත්‍රයන්හි විස්මිත ගැටුම්කාරී බවක් ද පෙර නොවූ විරූ නොඇසූ විරූ දීපව්‍යාප්ත හැලහැප්පිලි කැරලි කෝළහාල - උද්ඝෝෂණ - වර්ජන - පිකටින් - අතුරුදන් වීම් - දූෂණ භීෂණ - ළමා අපචාර - කාමාපරාධ - දික්කසාද නඩුහබ - ගබ්සා කිරීම් - අභිචාරික ආයතන ප්‍රතිශතය දෙගුණ තෙගුණ වීමෙහිලා බලපායි.
හක්කේ බුදුරැස් - බොක්කේ දඩමස් සදාචාරාත්මක සාරධර්ම පිරිහෙන මස්කඩ සුරාසැල් - මත්ද්‍රව්‍ය - කුඩු මත්පෙති පැතිරීම - නායයෑම් - ජල ගැලීම් - ජලාශ්‍රිත විපත්ති - ගිනි ගැනීම් ගිනි තැබීම් - මදුරු වසංගත රෝග - කාලගුණික දේශගුණික විපර්යාස දැඩි වෙයි. එසේම සංශෝධන විශ්වාසභංග පරිපාලන ගැටලු බහුල වෙයි. මෙකී විෂමාචාරත්වය අවම කිරීමේ නීතිමය ක්‍රියාදාමයක් සඳහා බලධරයන් රට දැය සමය කෙරෙහි අප්‍රමාදව විශේෂ අවධානය යොමුකළ යුතුය.

♦ කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

 ජනතාවතුළ කලහකාරී අදහස් 

2017 ජනවාරි මස පළමුවන දින දහවල් 12.24ට අඟහරු ග්‍රහයා කුම්භ රාශියේහි රාහුට අයත් සියාවන නැකතේ තුන්වන පාදයේදී නැප්චූන් හමුවූ අතර එහිදී එකම අංශකයකදී දෙදෙනාම එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සහ දරනු ඇත. 2017 ජනවාරි 13 වන කිවි දින පාන්දර 3.25ට කුම්භ රාශියෙහිදී රාහුට අයත් සියාවස නැකතේ තුන්වන පාදයේ සිකුරු හා නැප්චූන් එකම අංශකයකදී හමුවෙයි. සිකුරු හා නැප්චූන්ද එකම අංශකයකදී එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සාහ දැරීමක් වනු ඇත. 

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මහජනයාගේ සිත් විප්ලවකාරී වූ අදහස් වලින් පිරීයනු ඇත. වෛද්‍ය වෘත්තිය / ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ මරණයක් වාර්තාවනු ඇත. ස්ත්‍රීන්ට හා ළමයින්ට ඉතා අශුභ වන අතර කාන්තාවකට දරුණු ලෙස වදහිංසා පැමිණවීමක් ආරංචි වනු ඇත. පතල් කඩා වැටීමක්ද භූමියේ සෙලවීමක්ද වාර්තාවනු ඇත. ගොඩනැගිලි, රථවාහන, ගිනිකෙලි ගබඩා, ආයුධ රැස්කර ඇති ස්ථාන ආශ්‍රිත අශුභ සිදුවීම්ද ගිනි ගැනීම්ද වාර්තා වේ.

මේෂ - භූමියට යහපත්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත. හිත මිතුරන් තමා සමග අමනාපකම් ඇති කරගනී. කලා ක්ෂේත්‍රයේ නියැලියේ නම් තම නම අපකීර්තියට භාජනය විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

වෘෂභ - රැකියා දියුණුව

ඔබගේ රැකියාවේ දියුණුවක් අත්වන අතර රැකියා ස්ථානය මාරුවීමක් සිදුවිය හැක. උරුම හිමිකමක් ලැබීමේ භාග්‍ය ඇතිකර පවුල් දිවියේ පැවති මතභේද අසමගිය මඟ හැරී යනු ඇත.

මිථුන - නව නිර්මාණ

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ වෙනත් අවශ්‍යතාවකට විදේශගතවීමට අපේක්ෂා කළ අයට තම සිතැඟි ඉටුවනු ඇත. නව නිර්මාණ පිළිබඳ හැඟීම් පහළවනු ඇත. සිත ආවේගශීලි වේ.

කටක - ශරීර පීඩා

ඔබට අයහපත් ඵල අත්වන අතර හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. තම හිත මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවන අතර ලේ විෂ වීමක් සිදුවිය හැකි බැවින් ආහාර පිළිබඳව සැලකිලිමත්වන්න.

සිංහ - ලිංගික ආකර්ශනය

ඔබගේ කටයුතු වලට බාධා වීම් ඇතිවන අතර කිසියම් ඇපයකට අත්සන් කිරීමක් සිදුවිය හැකිය. විරුද්ධ ලිංගික ආකර්ශනයට නතු වනු ඇත. බඩෙහි ආබාධයක් මතුවේ.

කන්‍යා - ඇස්වල ආබාධ

යම් යම් විරුද්ධවාදීන් තමන්ට එරෙහිව රහස් කුමන්ත්‍රණ දියත් කරන කාලයක් වුවද ඒවා සාර්ථකව මැඩලීමට හැකියාව ලැබෙනු ඇත. ඇස්වල ආබාධයක් ඇතිවනු ඇත.

තුලා - මංගල යෝග

විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදීයන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. හදිසි තීරණ ගන්නා වකවානුවක් වන අතර සිත කෝපයෙන් යුක්ත වනු ඇත.

වෘෂ්චික - නව දේපළ 

උරුම හිමිකමක් ලැබීමේ භාග්‍ය ඇතිවේ. නව නිවසේ අලුත් වැඩියාවක් කිරීමට හෝ නව දේපලක් මිලදී ගැනීමට සුදුසු වකවානුවක් වේ. හුස්ම ගැනීම් අපහසුතාවක් මතු විය හැක.

ධනු - රැකියාවෙන් ඉහළට

නව නිර්මාණයක් සෑදීමට සිත් යොමුවනු ඇත. කෙටි ගමන් ඇතිවනු ඇත. රැකියාවේ උසස් වීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටු වනු ඇත.

මකර - උගුරේ ආබාධ

ඔබගේ දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වන අතර විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වනු ඇත. උගුර ආශ්‍රිත ආබාධයක් ඇතිවනු ඇත.

කුම්භ - කැපී පෙනේ

තම හිතුමතයට ක්‍රියා කරන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. නිතර සිත කෝපයෙන් පසුවනු ඇත. රැකියාවේ උසස්වීමක් හිමිවීමට අවකාශ ලැබෙනු ඇත. 

මීන - පවුලේ ප්‍රශ්න

තම කටයුතුවලට විවිධ පාර්ශව වලින් බාධා කිරීම් ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා මතුවනු ඇත. සතුන්ගෙන් ශරීරයට පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල