2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

වෙලාවක් තිබ්බොත් රට හදමු!

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

මිනිසා දේශපාලන සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කීවේ මීට අවුරුදු දෙදාහකට කලින්. දේශපාලන සත්ත්වයෙක් වීම කොයිහැටි වෙතත් දේශපාලනය කරන්නට ගොස් බලු වී සිටින මිනිසුන් දකිද්දි හිතෙන්නේ දේශපාලනය සත්තුන්ටම උරුම වෙච්ච දෙයක් විදිහටයි. එහෙම බැලුවම ඇරිස්ටෝටල් හිතුවා හරියටම හරි.

එකදාස් නමසිය තිස් එකේදී අපිට සර්වජන ඡන්ද අයිතිය කියලා අමුතු පවර් එකක් ලැබුණා කියලා අපේ මිනිස්සු තාමත් උඩ පනිනවා. එංගලන්තෙට ඒක ලැබුණෙත් ඊට අවුරුදු තුනකට කලින්ලු. ඉතින් ලංකාවට එච්චර ඉක්මණට ඒක හම්බවෙච්ච එක ලොකු ජයග්‍රහණයක් කියලයි කට්ටියගෙ අදහස. 

ඒත් ඉතින් ඉස්සර රජවරු කරපු තරම්වත් දෙයක් රටට කරන්න මේ සර්වජන ඡන්ද අයිතිය කියන එකට පුළුවන් වුණාද කියන එක සැකයි. මොකද රටේම මිනිස්සු එකට ඇණ කොටාගන්න, යුද්ධ කරන කාලකන්නි තැනකට රට ඇදගෙන වැටුණෙ ඔය කෙහෙම්මල් සර්වජන ඡන්ද අයිතිය හින්දම තමයි. 

කවුරු කොහොම කිව්වත් අද අපේ තරුණ පරම්පරාවේ ගොඩක් දෙනෙක්ට පොලිටික්ස් කියන්නෙ වට්ටෝරු වෙදෙක්ගේ කසායකටත් වඩා තිත්ත දෙයක්. හැත්තෑ හතෙන් මෙපිටට ඉපදුණු හැමෝම වගේ දේශපාලනේ දිහා බලන්නෙ ඒ විදිහටයි. උනුත් එකයි මුනුත් එකයි වගේම කොයි කවුරුත් එකයි කියලා කට්ටිය කියන්නෙ ඔය හින්දම තමා. අපිට ආදරේට වගේ ටීවී එකට එබි එබී පත්තරේට හොට දදා කතාකරන බොහොමයක් පොලිටික්කන්ගෙ අරමුණ තමන්ගෙ බලය රැකගන්න එක විතරමයි. 
අමෙරිකාවේ ජනාධිපතිවරණෙ ඉවර වෙලා ට්‍රම්ප් ජනාධිපති වෙලත් දැන් අවුරුද්දකට කිට්ටුයි. ඒත් මේ වෙද්දි ට්‍රම්ප්ටත්, ට්‍රම්ප්ගෙ ප්‍රධාන තරගකාරිය වෙච්චි හිලරිටත් වඩා ජනප්‍රිය චරිතයක් තමයි බර්නි සැන්ඩර්ස් කියන්නෙ. ජනාධිපතිවරණ සටනෙදි හිලරිට හිලරිගෙම පක්ෂය ඇතුළෙන් ලොකුම සටන දුන්නු කෙනා තමයි සැන්ඩර්ස්. සැන්ඩර්ස්ගෙ දේශපාලන ඉතිහාසෙ දිහා චුට්ටක් හැරිලා බලන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මිනිහා හැමදාම තමන්ගෙ අදහස් හරි පැහැදිලිව එළියට දාපු මනුස්සයෙක්. දේශපාලනය ඇතුළෙ ගේම් ගහනවා වෙනුවට තමන්ගේ ඇත්ත හැඟීම් එළියට දාපු මනුස්සයෙක්. 

අද හරිම මොඩර්න් ජාතියක් කියලා ලෝකෙට පෙන්නුවට හැත්තෑව දශකයෙදි අමෙරිකාවෙන් කළු ජාතික ජනාධිපති කෙනෙක් බිහිවෙනවා කියන එක හිතන්නවත් බැරි දෙයක් වෙලයි තිබුණෙ. ඒ තරමට කළු සුදු භේදෙ. ඒ විතරක් නෙමේ. ලංකාවෙ වගේ සමලිංගිකයෝ කොන් කරපු සමාජයක් තමා ඒ දවස්වල අෙමරිකාවෙ තිබ්බෙත්. හැබැයි බර්නි සැන්ඩර්ස් කියන සුදු හම තියෙන මේ මනුස්සයා තමන්ගෙ විශ්වවිද්‍යාල ජීවිතේ වැඩි කාලයක් වැය කළේ කළු සුදු ‍භේදය වෙනුවෙන් සටන් කරන්නයි. සමලිංගිකයෝ දිහා ‘ඈයියා’ කියලා බලපු අමෙරිකාව ඇතුළෙ සමලිංගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගන්න සැන්ඩර්ස් ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ ඒ අවස්ථාවට හරියන විදිහෙ ගේම් එකක් ගහලා ඉස්සරහට එන්න පුළුවන්කම තිබ්බත් ඔහු එහෙම කළේ නෑ. මොකද ඔහු අවස්ථාවාදය වෙනුවට තෝරාගත්තෙ හදවතයි. 

අපේ රටේ පොලිටික්කන් ගාව නැත්තෙත් අන්න ඒකයි. අද ඉන්න ගොඩක් අය බලන්නෙ තමන්ගෙ පක්ෂෙ ඇතුළෙ තමන්ගෙ තැන හදාගන්න විතරයි. එහෙම නැතුව රට හදන්න තියා අඩුම තරමෙ තමන්ට ඡන්දෙ දීපු මිනිස්සුන්ට මුකුත් කරන්නවත් බහුතරයකට උනන්දුවක් නෑ. 

හැත්තෑ හතට කලින් පරම්පරාවට තමන් ගරුකරන දේශපාලන චරිත කිහිපයක් තියෙනවා තමයි. හැබැයි හරියට හිතලා බැලුවොත් පේන කාරණේ තමා ඒ ගරුත්වෙ ඇතිවෙලා තියෙන්නේ ඒ මිනිස්සු දේශපාලනෙන් හම්බ කෙරුවෙ නැති නිසා මිසක් ඒ අයගේ ප්‍රතිපත්තිවල තිබ්බ ස්ථීර බවක් හින්දා නෙමේ. ඇත්තටම කිව්වොත් අපේ රටේ එදා දේශපාලකයන්ටවත් අද ඉන්න දේශපාලකයන්ටවත් හරිහමන් ප්‍රතිපත්තියක් නෑ. හරියට කුලී වැඩ කරන මිනිහෙක් වගේ දවසින් දවස තැනින් තැනට මාරුවෙවී එක එක දේවල් කියන එක තමයි ඒ අයගෙ වැඩේ. 

අනිත් ගොඩක් රටවල වගේ අපේ රටේත් පොලිටික්ස් කියන්නෙ ආර්ට් එකක්. හරිම අපූරු කලාවක්. ඒ කලාවේ ගොඩක් ලොකු අරමුණු නැහැ. උදාවෙන හැම අවස්ථාවක්ම තමන්ට වාසිවෙන විදිහට පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක විතරයි ඒ ගේම් එකේ හරය. 

මේ හින්දා අපේ පොලිටික්කන්ට ඕනේ තමන්ගෙ පක්ෂෙ ඉස්සරහට ගෙනියන්නයි, පක්ෂෙ ඇතුළෙ තමන්ගෙ තැන ආරක්ෂා කරගන්නයි, එහෙමත් බැරිනම් අනිත් පැත්තට මාරු වෙන්නයි විතරයි. ඒ මොකක්වත් බැරි වුණොත් තමන්ටම කියලා පක්ෂයක් හදාගෙන මාධ්‍ය හමුවක් දෙකක් පවත්වලා තමන්ගෙ ජොලිය කොහොමහරි ගන්න තමයි බලන්නෙ. ඉතින් මේ වැඩ ටික කරලා වෙලාවක් ඉතුරැ වුණොත් විතරක් රටට, රටේ මිනිස්සුන්ට ඕනෙ මොනවද කියලා පොඩ්ඩක් හෝදිසි කරලා බලනවා. අන්න එහෙමයි අපේ පොලිටික්ස්.

 ජා