2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ආතරයිටිස්වලට ආයුර්වේද ප්‍රතිකාර....

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1659

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වනු ලබන ආතරයිටිස් රෝග තත්ත්වයට අයත් රෝග කාණ්ඩයන් බොහෝමයක් දක්නට ලැබේ. මේ අතරින් සෙප්ටික් ආතරයිටිස් (Septic Arthritis) ලෙසින් හදුන්වනු ලබන්නේ යම්කිසි විෂබීජයක් හේතුවෙන් සන්ධියකට සිදුවන හානියයි. එමෙන්ම වර්තමානයේදී බහුලව දැකිය හැකි ආතරයිටිස් වර්ගය වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් (Osteo Arthritis) වර්ගයයි. මෙය වයසත් සමඟම, යම්කිසි වැටීම්, තැලීම් වැනි නොයෙක් හේතු සාධක නිසා ඇතිවිය හැක. ඊට අමතරව රූමොයිටරිස් ආතරයිටිස් (Rumourtori Arthritis) රෝගය අපගේ ශරීරය තුළ ඇතිවන යම්කිසි ප්‍රතිශක්තිකරණය ආශ්‍රිතව ඇතිවන යම්කිසි තත්ත්වයන් හේතුවෙන් ශරීරය තුළ ඇති සන්ධි විනාශවීමේ ක්‍රියාවලියක් හටගනී. මෙයද අද සමාජයේ තරුණ මහලු වයස් භේදයකින් තොරව දැකිය හැකි සන්ධි රෝගයකි. රෑමැටික් උණ වැළඳීමෙන් පසුව ඇතිවන සන්ධි අමාරුව රුමැටික් ආතරයිටිස් ලෙසින්ද හැඳින්වේ. මෙය හෘදයට, හෘද වස්තු කපාටවලට සහ සන්ධිවලට හානිදායී තත්ත්වයක් ඇති කෙරේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සන්ධිගත රෝග තත්ත්වයක් ලෙසින්ද හඳුන්වනු ලබන්නේ මෙම බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන ආතරයිටිස් රෝග තත්ත්වයන්ය. සන්ධිගත රෝග පිළිබඳව ආයුර්වේද පුරාණ පොත්පත්වලද සඳහන් වේ. එබැවින් ආතරයිටීස් රෝගය මෑත කාලයේදී සොයාගනු ලැබූ රෝග තත්ත්වයක් නොවේ.

සන්ධිගත වාත රෝග නොයෙක් වයස් සීමාවන් තුළදී ඇතිවේ. එයට වයස භේදයක් නැත. නමුත් වයසට යාමත් සමඟ සන්ධි ආශ්‍රිත කාටිලේජ ගෙවේ. ඊට අමතරව සන්ධි ආශ්‍රිතව ඇති අස්ථිද ගෙවෙයි. මෙය වයසත් සමග වෙනස් වේ. එවිට එම සන්ධියට බාධාවන් ඇතිවේ. ඕනෑම සන්ධියකට ක්‍රියාකාරයට බාධාවන් ඇතිවූ විට සන්ධි වේදනාවන් ඇතිවේ.

සන්ධිගත වාත රෝග ඇතිවීමට හේතු

• වයස්ගත වීමත් සමග

• වැටීම් තැලීම් හේතුවෙන් සන්ධියට වන ගැටීමකින්

• දීර්ඝකාලීනව ඇතිවන සන්ධීය ගැටීමකින්

• වැරදි ව්‍යායාම් හේතුවෙන්

සන්ධිගත වාත රෝග සඳහා ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇත.

සන්ධිගත වාත රෝගයේ රෝග ලක්ෂණ

• සන්ධියක ක්‍රියාකාරිත්වයට බාධාවක් ඇතිකරනු ලබන ඕනෑම රෝග ලක්ෂණයක් සන්ධි රෝගයක් ලෙසින් හැඳින්වේ.

• සන්ධිය ක්‍රියාකිරීමට අපහසු වීම.

• ඉදිමීම

• වේදනාව

• ඒ අවට නිල්පැහැ ගැන්වීම හෝ රත්පැහැ ගැන්වීම.

මෙවැනි රෝග ලක්ෂණ මඟින් වෛද්‍යවරයා විසින් රෝග කාණ්ඩය තීරණය කෙරේ.

සන්ධිගත වාත රෝග සඳහා ප්‍රතිකාර

• මේ සඳහා ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ රෝග ලක්ෂණ හා රෝග කාණ්ඩය අනුවය.

• රෝගියාගේ වයස, ශාරීරික ස්වභාවය, රෝගය පැතිර යන ආකාරය අනුව රෝගයට ප්‍රතිකාරයද වෙනස්වේ.

• වයස්ගත රෝගීන්ට ප්‍රතිකාර කරද්දී ඉතා සැලකිලිමත්ව සහ ප්‍රවේශමෙන් ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වේ.

• සන්ධි රෝග සඳහා ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම බාහිරවද ප්‍රතිකාර කිරීම සිදුවේ.

• බාහිර ප්‍රතිකාර ලෙසින් පත්තු යෙදීම, ඖෂධ පොට්ටනිවලින් තැවීම, ආයුර්වේද තෙල් ගෑම ආදිය සිදුකෙරේ.

• අභ්‍යන්තර ප්‍රතිකාර ලෙසින් ඖෂද වර්ග ලබාදේ.

• බොහෝවිට සන්ධිගත රෝගයේදී දණහිස් වේදනාව බොහෝ රෝගීන් තුළ දක්නට ලැබේ. මෙය මැදිවිය ඉක්ම වූ අය තුළ බොහෝවිට වැඩිපුර දක්නට ලැබේ.

එවැනි රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර ලබාදෙන අතරතුරේදී නිසි දැනුම්වත්වීමක්ද ලබාදීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් රෝගියාට දණහිස් වේදනාව ඇති විට නිතර සිටගෙන සිටීමෙන් වැළකිය යුතුය. විශේෂයෙන් මුර සේවයේ යෙදෙන අයට, හමුදා සේවයේ යෙදෙන අයට, ගුරු වෘත්තියේ යෙදෙන අයට මෙම රෝගය බහුලව දක්නට ලැබේ. එබැවින් එවැනි රෝගීන්ට උපදෙස් ලබාදීම ඉතාම වැදගත් වේ.

• සන්ධියට පත්තු බැඳීම, බැන්ඩේජ් යෙදීමෙන් වේදනාව අඩුකර ගත හැකිවීම තවදුරටත් ඇතිවීම වළක්වා ගත හැක.

• මේ සඳහා ව්‍යායාම් මඟින්ද ප්‍රතිකාර ලබාදිය හැක. නමුත් නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි රෝගීන් හිතුමතේට ව්‍යායාම් කිරීමෙන් වැළකීම අවශ්‍යය.

• නමුත් ආයුර්වේදයට අනුව මෙවැනි රෝගීන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාරද ඇත.