- මහාචාර්ය සෝමරත්න බාලසූරිය
මහාචාර්ය සෝමරත්න බාලසූරිය සිංහල සාහිත්‍යයේ වත්මන් දිසාව පිළිබඳව දැඩි නිරීක්ෂණයක සිටින විද්වතෙකි. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් ඔහු පසුව කැලණිය විශ්විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළේය. “කරත්තය” කෙටිකතා පොත සහ “වප්මඟුල” නවකතාව රචනා කරමින් සිංහල නිර්මාණ සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කිරීමට ද මහාචාර්ය බාලසූරිය දායක විය. මේ ඔහු “දේශය” සමඟ දැක්වූ අදහස් බිඳකි.
ඔබ නිර්මාණ සාහිත්‍යයේදී අනුගමනය කරන්නේ මොනවගේ ක්‍රමයක් ද?
සාහිත්‍ය හා දේශපාලනය අතර තිබෙන සම්බන්ධය පාදක කරගෙන නිර්මාණ බිහි කළ යුතු බව මට හිතුණා. ඒ කරුණු පදනම් කරගෙන මම කරත්තය කෙටිකතා පොත සහ වප්මඟුල නවකතාව ලිව්වා. ඒ කාලේ සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිව සිටි මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න මට ලිපියක් එවමින් සඳහන් කර සිටියා වප්මඟුල නවකතාව පවත්නා නවකතා අතර හැරවුම් ලක්ෂ්‍යයක් බවත් එය අනෙක් නිර්මාණකරැවන් ආදර්ශයට ගත යුතු යුතු බවත්.
ඔබේ කෘතිවල යටිපෙළෙහි අපේ රටේ දේශපාලනය සියුම් ලෙස හාස්‍යයට කල්කරනවා?
වෙනත් රටවල වගේ නොවෙයි අපේ රටේ ළමයෙක් පාසලට දමා ගැනීම, රැකියාවේ මාරැවීමක් හදාගැනීම, ගමට බස් එකක් ලබාගැනීම වගේ ඉබේ කළ යුතු දේවල් හැම එකකටම දේශපාලනය සම්බන්ධයි. එම ව්‍යාජ දේශපාලනඥයන්, ඔවුන්ගේ පැවැත්මේ හාස්‍යජනක බව ඉස්මතු කර දැක්වීමට මම වප්මඟුල නවකතාවෙන් උත්සාහ කළා. කරත්තය කෙටිකතා කෘතියේ කරත්තය කෙටිකතාවෙන් උත්සාහ කළේ එවැනි සමාජයක අවංකව නිදහසේ ජීවත්වීමට සිතාගන්නා පුද්ගලයෙක් ගැනයි. ඔහු කිසිවෙක් ගණන් ගන්නේ නැති නිසා අවසානයේ ඔහුට තම කතාව කීමට සිදුවන්නේ බල්ලාට සහ හරකාටයි. තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ කරන ඔහුට සමාජයෙන් අවසානයේ උදාකර දෙන්නේ විපතක්.
ඔබ කරත්තය කෙටිකතා පොතෙන් වගේම වප්මඟුල් නවකතාවෙනුත් එවකට පැවති හරසුන් සමාජය උපහාසයට ලක් කළා. අද බිහිවන බොහෝ කෙටිකතා පොත්වල එවැනි දැක්මක් දකින්න ලැබෙන්නේ නැහැ නේද?
ඒ කාලේ (80 – 90 දශකවල) අවුරුද්දකට කෙටිකතා පොත් 7-8ක් වගේ තමයි පළවුණේ. දැන් 100ක් පමණ පළවෙනවා. නමුත් ඒ කෙටිකතා කියවන විට පෙනෙන දෙයක් තමයි රචකයාගේ පෞද්ගලික අත්දැකීම් ඒ ආකාරයෙන්ම ලිවීමට දරන උත්සාහය. ඔවුන් සමාජය නිරීක්ෂණය කර සියුම්ව කරැණු උකහාගෙන ලියන බවක් පෙන්නේ නැහැ.
අද සම්මාන ලැබෙන සමහර පොත් සාර්ථක කෘති නොවුණත් ආධුනිකයන් ඒවා ආදර්ශ වශයෙන් සලකනවා නේද?
අද සම්මාන උත්සව 3-4ක් තිබෙනවා. පළාත් මට්ටමිනුත් සම්මාන ලබාදෙනවා. එලෙස සම්මානයට පාත්‍ර වනවිට ඉබේම ආධුනිකයා ඒ පොත් ආදර්ශ වශයෙන් ගන්නා බව ඇත්ත. ඒවා පසුව ඔවුන් ලියන කෘතිවලට බලපානවා. නමුත් ඒ වගේ පොත්වලින් අලුත් හැරවුම් ලක්ෂ්‍යයකට පිවිසීමක් සිදුවන්නේ නැහැ.
මේ තත්ත්වය වෙනස් කළ යුත්තේ කෙසේද?
ඒක ඉතින් විචාරකයන්ගේ කාර්යයක්. අද බිහිවන කෙටිකතා, නවකතා පොත්වල පෙරවදන හෝ පසුවදන ලියාගන්නවා, ප්‍රසිද්ධ චරිතයක් ලවා. සමහරවිට ඒ පුද්ගලයාට සාහිත්‍ය ගැන සම්බන්ධයකුත් නැහැ. ඒ ලියන අය මේ පොත් කියවලත් නැහැ. නමුත් ඔවුන් මේවා උසස් කෘති විදිහට සමාජයට හඳුන්වා දෙනවා. ඒක ලොකු වැරැද්දක්.
ලංකාවේ පූර්ණකාලීන විචාරකයෝ නැහැ නේද?
ඔව්. අද විචාරවලට වැඩිය තිබෙන්නේ පොත හඳුන්වා දීමක්. විචාරයේදී නිර්මාණය සියුම්ව, දීර්ඝව විශ්ලේෂණය කළ යුතුයි. අද ඒක සිදුවන්නේ නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ වගේ වියතුන් පොත් ගැන දීර්ඝව විග්‍රහ කරමින් විචාර පොත් පළකළා.
අද පළවෙන පොත් දියුණු සාහිත්‍යයකට මඟ පෙන්වන බවක් පේනවද?
අද තාක්ෂණය දියුණුයි. ප්‍රකාශකයන් වැඩියි. මේ නිසා පොත් වැඩිපුර පළවෙනවා. නමුත් ඒවායේ අන්තර්ගතය ඉහළ තත්ත්වයක නැහැ. ඉස්සර ලයනල් ලොකුලියන, ලාල් ප්‍රේමනාත්ද මැල් වගේ ප්‍රවීණයන් ස්ථිරව පොත් ප්‍රකාශන ආයතනවල හිටියා. පොත් අත්පිටපත් කියවලා කිරීමට සුදුසු දැයි නිර්දේශ කිරීමට. දැන් එහෙම නෑ. ලේඛකයා තමයි පොත ටයිප් කරලා වැරදි බලලා කවරෙත් හදලා ප්‍රකාශකයාට යවන්නේ. ඒකත් ඊමේල් එකකින් යැවීමට පුළුවන්. මේ නිසා අවර ගණයේ කෘතීන් සමාජයට එනවා. සාහිත්‍යයේ දියුණුවක් අපට දකින්න බැහැ. පාඨකයාගේ දියුණුවක් අපට දකින්න බැහැ. පාඨකයා ප්‍රබුද්ධ තත්ත්වයට පත්කරන ඔහු කම්පනය පත්කරවන ඔහුගේ ඇස් අරවන නිර්මාණ කෘති අද බිහිවෙනවා අඩුයි.
අද සාහිත්‍ය සම්මාන උළෙල වැඩියි. ඒ වගේම නවකතා ලියා සම්මාන ලබන ලේඛකයන්ට හොඳ ජනප්‍රියත්වයකුත් ලැබෙනවා. මෙලෙස සම්මාන ලබන කෘති විශිෂ්ට කෘති කියා ඔබට සිතනවාද?
එහෙම හිතන්න අමාරුයි. අද කරන්නේ සම්මාන උළෙලවලට ලැබෙන කෘති අතරින් හොඳම කෘතිය තෝරාගැනීමක් මිස ප්‍රමිතිගත කෘතියක් තෝරාගැනීම නොවේ. කළ යුත්තේ සම්මාන විනිශ්චය මණ්ඩලය යම්කිසි ප්‍රමිතියක් ප්‍රකාශ කර එම ප්‍රමිතියට ගැලපෙන කෘතියක් නැත්නම් සම්මාන නොදී සිටීමයි.
කලකට පෙර ප්‍රමිතියට අනුගත නොවන කෘතිවලට එලෙස සම්මාන නොදී සිටියා නේද?
ඔව්. රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ අවස්ථා කීපයක එය සිදුවුණා. මමත්, කේ. ජයතිලකත් සිටි ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයකදී අපි ඒ අවුරුද්දේ ස්වර්ණ පුස්තකයට ගැලපෙන නවකතාවක් නොතිබූ නිසා සම්මානය දුන්නේ නැහැ. අපි කළේ අවසාන වටයට පැමිණි පොත් පහටම සම්මාන මුදල බෙදාදීමයි.
අද සාහිත්‍යයත් වාණිජකරණය වෙලා නිසා නේද තිබෙන පොත් අතරින් එකක් තෝරා සම්මාන ලබාදීමට සිදුව තිබෙන්නේ?
ඔව්. ඒකත් හේතුවක් තමයි. අද සමාජයේ හැම දෙයක්ම වාණිජකරණය වෙලා. ඒකට සාහිත්‍යයත් ගොදුරු වෙලා. කොටින්ම ධර්ම දේශනා පවා වාණිජකරණයට ලක්වෙලානේ.
විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස ඔබ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ පවතින සාහිත්‍ය උනන්දුව දකින්නේ කෙසේද?
තමන්ගේ විභාගෙට අදාළ පොත් හෝ එය ආශ්‍රිත පොත් හැර පොදුවේ සාහිත්‍ය කියවීමක් විශ්වවිද්‍යාලවල දකින්න බැහැ. ඉස්සර සාහිත්‍ය පොතපත කියවූ පසු අපි ඒ ගැන හිතමිතුරන් අතර සංවාදයට ලක්කරනවා. අද කියවන සුළු පිරිස අතර පවා තිබෙන්නේ හුදෙකලා කියවීමක්.
කුසුම්සිරි