2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

විශිෂ්ට සේවයකින් පසු විශ්‍රාම ලබන මාර්ක් හා රොජර්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

මාර්ක් සහ රොජර් හැදී වැඩුණේ එකටය. සේවය කළේ එකම තැනකය. එකම වෘත්තිය වුවද මෙහෙවර ඉටුකළේ අංශ දෙකකිනි. මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලබා වසර දහයක් පමණ පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සේවය සැපයූ දෙන්නා තව නොබෝ දිනකින් විශ්‍රාම ගැනීමට සූදානම්ය. මාර්ක් සහ රොජර් දෙදෙනාම සම වයසේය. උපන්දිනය 2008 වසරේය. මාස හයක් ඉක්මෙන්නට මත්තෙන් පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා එක්වී ඇත. එහිදී මාර්ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙන්ම රොජර් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූහ. ඊට අමතරව දෙදෙනාම සුනඛ සංදර්ශනවලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූහ.

ඩොබමන් පිංච කුලයේ උපන් මාර්ක් පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා සම්බන්ධ වී තිබුණේ 2009 වසරේදීය. එතැන් සිට පොලිස් සැරයන් 4490 බංඩාර මහතා යටතේ පුහුණුව ලැබූ මාර්ක් තහනම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මනා පුහුණුවක නිරත විය. ඒ අතර සුනඛ සංදර්ශන සඳහා දායකත්වය සපයා තිබුණි.

(මාර්ක් ඉපදුණේ 2008 අගෝස්තු 05 වැනිදා මාස හයෙන් පුහුණුව සඳහා යොදා ගත්තා. මූලික පුහුණුවේදී සුනඛයාගේ දක්ෂතාවය හඳුනාගෙන මාර්ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ පුහුණුවට යොමුකළා. ඊට අමතරව සුනඛ සංදර්ශන සඳහා පුරැදු කළා. එම අවස්ථාවලදී පොඩි දරුවෙක් සහිත පාපැදිය තල්ලු කරගෙන යාම, සුනඛයන් කීප දෙනෙකු සහිත කරත්තය ඇදගෙන යාම, බයිසිකලයක සුනඛයකු තබා තල්ලු කිරීම සහ සුනඛයන් සහිත මෙරිග රවුන්ඩ් ක්‍රියා කරවීම වගේ දේවල් කරනවා.) මාර්ක්ගේ පුහුණුකරු පොලිස් සැරයන් බණ්ඩාර මහතා පැවසීය.

මාර්ක් සම්බන්ධ වූ විවිධ සංදර්ශන හා උත්සව රාශියකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගී වූ විශේෂ උත්සව, 150 වැනි පොලිස් දින සැමරැම පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සව සහ විවිධ ප්‍රදේශවල පාසල් සංදර්ශන හා අවුරුදු උත්සව ඒ අතර ප්‍රධානය.

(මහනුවර අස්ගිරිය මූලස්ථානයේ සිටියත් රාජකාරි අවශ්‍යතාවය මත දිවයින පුරා ඕනෑම තැනක සේවයකට යන්න මාර්ක් සූදානමින් සිටියා. විශේෂ රාජකාරි වෙනුවෙන් මහනුවර සිට මාතර, වවුනියාව වගේ ප්‍රදේශවලට ගියා. දුරකට ගියත් පැය දෙකක් විතර විවේක අරගෙන රාජකාරිය කරන්න කටයුතු කරනවා. ඒ සඳහා මාර්ක්ට හොඳ හැකියාවක් හා දක්ෂතාවයක් තියෙනවා) යැයි බණ්ඩාර මහතා පවසයි.

2010 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් රැසකට සම්බන්ධ වී ඇති මාර්ක් ඉන් බහුතරය සාර්ථකව නිම කිරීම විශේෂිතය. ඒ අනුව හෙරොයින් හා ගංජා සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් විශේෂිතය. මේ ආකාරයට අලවතුගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර සොයාගත් මත්ද්‍රව්‍ය අනුව ප්‍රශ්න කිරීමෙන් ගංජා ජාවාරම්කරුවෙක් කොටුකර දීමට මාර්ක් සමත්ව තිබුණි.

(2016 ජූලි 2 වැනිදා මාර්ක් අලවතුගොඩ පොලීසියට කැඳවූවා විමර්ශනයක් සඳහා. සැකකටයුතු ත්‍රිරෝද රථයක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා. මාර්ක් රථය පරීක්ෂා කළා. සැක සහිත තැනක් ඉවකරලා නැවතුණා. එතන තහඩුව යට සඟවා තිබුණු ගංජා සහිත කවරයක් හමුවුණා. සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු මිලට ගත් ස්ථානය හෙළි වුණා. ඒ අනුව උකුවෙල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළා. ඒ අතරේ මාර්ක් වත්තෙ තිබුණු කුකුල් කූඩුවට ඇතුළුවෙලා බිම හෑරුවා. අපි සෝදිසි කළාම ගංජා ග්‍රෑම් 780ක පාර්සලයක් එතැන වළදමා තිබුණා.)

මේ ආකාරයටම මාතර බතූතා පාරේ නිවසක් සෝදිසි කිරීමට මාර්ක් සහභාගි වුණේ විශේෂ කැඳවීමක් මතය. එහිදී නිවෙසට යාබද ස්ථානයක සඟවා තිබූ ගංජා ග්‍රෑම් 250ක පාර්සලයක් සොයාගැනීමට සමත්ව තිබුණි.

හඟුරන්කෙත පොලීසියෙන් කැඳවීමක් ලැබිලා ගියා. ගංජා විකුණන සැකයට ගෙදරක් පරීක්ෂා කළා. ගෙදර පරීක්ෂාවට ලක්කරලා වත්තේ තිබුණු දරමඩුව පරීක්ෂා කළා. එතන උණ බටයක සඟවා තිබූ ගංජා ග්‍රෑම් 100ක් සොයාගත්තා.

මේ ආකාරයට ගම්පළ, මාතර, පේරාදෙණිය, බොරලැස්ගමුව, ඉරට්ට පෙරියකුලම්, හඟුරන්කෙත, අලවතුගොඩ සහ මාතලේ ප්‍රදේශවල සිදුකර ඇති වැටලීම් සියල්ල සාර්ථකය. නමුත් පශු වෛද්‍යවරැන්ගේ නිගමනය වූයේ මාර්ක් තවදුරටත් සේවයේ නොයොදා විශ්‍රාම ගැන්විය යුතු බවය. ඒ අනුව මාර්ක් දැනට විශ්‍රාම සුවයෙන් පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මත කල් ගෙවයි. ඉදිරියේදී මාර්ක් හා රොජර් රජයේ ප්‍රසිද්ධ ගැසට් නිවේදනයක් මගින් දන්වා වෙන්දේසි කිරීමට නියමිතය. මොවුන් අගයන ඕනෑම කෙනෙකුට එහිදී ලංසු ඉදිරිපත් කළ හැකිය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර