2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

අතේ ඇඟිලි හිරි වැටෙනවාද?

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7613

Carpal tunel Syndrome 

වර්තමානයේ රෝගීන් බොහෝ දෙනෙක් අතෙහි ඇඟිලිවල හිරිය හෙවත් වේදනාව පිළිබඳව පැමිණිලි කරන අවස්ථා බහුලව හමුවේ. සමාජයේ බොහෝ දෙනා අතර බහුලව පවතින මෙම රෝග අවස්ථාව නවීන වෛද්‍ය විද්‍යාවට අනුව Carpal tunel Syndrome ලෙස හඳුන්වනු ලබයි.

අතට ස්නායු සපයන ප්‍රධාන ස්නායුවක් (Median nerve) මැණික් කටු සන්ධියේදී තෙරපීමට ලක්වීම නිසා මේ තත්ත්වය ඇතිවෙයි. මෙහිදී කැපී පෙනෙන රෝග ලක්ෂණය වන්නේ අතෙහි මහපටඟිල්ල, දබරඟිල්ල සහ මැඳගිල්ල හිරිවැටීම හා වේදනාවයි.

කලාතුරකින් මැණික් කටු සන්ධියේ වේදනාව සහ එම වේදනාව අතෙහි ඉහළට පැතිරීමද විය හැකිය. රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හටගනී. විශේෂයෙන් රාත්‍රී කාලයේදී නින්දට බාධා වන පීඩාකාරී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. තදින් යමක් ග්‍රහණය කිරීමේදී අපහසුතාවයක්ද ඇතිවේ.

දීර්ඝකාලයක් මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකර සිටීමෙන් අතෙහි මහපටැඟිල්ල ආශ්‍රිත මාංශ පේශි ක්ෂය වීමක්ද සිදුවිය හැකිය. ස්නායුව පීඩාවට පත්වීමට බොහෝ හේතු සාධක බලපායි.

එනම්,

• අධි ස්ථුලතාවය ස්නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැම්පත් වීමෙන් ස්නායුව මත තෙරපීමක් ඇතිවීම.

• තයිරොක්සීන් හෝමෝනය විෂමතාවයන් නිසා (Hypothyroidism)

• මැණික් කටු සන්ධියට සිදුවූ අනතුරක්, අස්ථි බිඳීමක් නිසා (Trauma) 

• එසේම ස්නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක් හෝ මේද තැම්පත්වීමක් නිසා (Lipomas) ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

• ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලයේදී සිදුවන හෝමෝනමය වෙනස්කම් හේතුවෙන්

• ජානමය බලපෑම නිසා

මීට අමතරව රැකියාව හෝ එදිනෙදා නිතර නිතර යෙදෙන කාර්යයන් හා රෝගී තත්ත්ව අතරද මේ සම්බන්ධතා පවතින අවස්ථා හමුවේ.

මැණික් කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්නායුව ගමන් කරන අවකාශයේ පීඩන වෙනස්වීමක් සිදුවේ. මෙම පීඩනය වැඩිවීම නිතර නිතර සිදුවන ලෙස යම් කාර්යයක නිරත වන්නේ නම් ස්නායුව මත පීඩන බලපෑමක් ඉහත රෝගී අවස්ථාවට පත්විය හැක.

නිතර පරිගණක ආශ්‍රිත කාර්යයන්හි නිරත වන අයට, කම්පනය වන උපකරණ (Vibrating Tools) සමඟ නිතර කාර්යයන්හි නියුතු වන්නෝ මෙවැනි අවස්ථාවන්ට බහුලව ගොදුරු වෙති.

මෙහිදී පෙන්නුම් කරන විශේෂිත රෝග ලක්ෂණ හා විශේෂ රෝග පරීක්ෂා මඟින් පහසුවෙන්ම රෝගය පිළිබඳව රෝග තීරණයකට පැමිණිය හැක.

ඉහත සඳහන් කළ කාර්යයන්වල නිරත වන්නන් එහි බලපෑම අවම වන සේ උපකරණ භාවිත කළ යුතුවේ. කාර්යයන් කරන අතර වාරයේදී මඳක් විවේක ගැනීම, අත් හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම් කිරීම් මගින්ද මෙම රෝගයෙන් ආරක්ෂා විය හැක.
මැණික් කටුව සන්ධිය සඳහා වූ ආධාරක පැළඳීම (Wrist Braces) මෙමඟින් අතෙහි චලන සීමාවන අතර ස්නායුවට ඇතිවන පීඩනය පාලනය කරයි. එවැනි අවස්ථාවලද එවැනි වේදනාකාරී කාර්යයන්වල නිරතවීමෙන් වළකින්න. ප්‍රතිකාර නොකර දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයන් පාලනය නොකරන සිටීමෙන් ස්නායුවට හානි සිදුවීමෙන් මාංශ පේශි ක්ෂය වීම හා දුර්වලවීම සිදුවිය හැකි බැවින් ප්‍රතිකාරවලට යොමුවීම අනිවාර්ය වේ.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සරල ශල්‍ය ප්‍රතිකාරයක් මගින් මෙයට ප්‍රතිකාර කරනු ලබයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශල්‍යකර්මයට නොගොස් ඖෂධ ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව අතට පත්කර ගත හැකිය.

එහිදී ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ස්ථානිතව තෛල යෙදීම, තැවීම, පැලැස්තර යෙදීම ආදිය ප්‍රතිකාරද යොදාගනී. සුදුසු ව්‍යායාම්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. මෙය සරල රෝග තත්ත්වයක් යැයි සිතා නොසලකා හරින්න එපා. මෙම රෝග ලක්ෂණ ඇතිවීම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00