අලුත් පරපුරේ කවියෙක් වන ළහිරු කරුණාරත්න තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළකළේ 2012 දී ය. “කටු තුඩට පිනි පහස” නම් එයට බොහෝ දෙනාගේ සාධනීය ප්‍රතිචාර ලැබුණි. දැන් ඔහු වසර පහකට පසුව තම දෙවන කාව්‍ය සංග්‍රහය පළකරයි. ඒ වැහිබිංදු කටහඬයි. සමාජ මාධ්‍ය හරහා කවිය පවා සීඝ්‍රව සංසරණය වන යුගයක තම දෙවැනි කවිපොත ජනගත කරන ළහිරු මෙරට කාව්‍ය සහෘදයන්ට ඒ පිළිබඳ සාමීචියකට ඇරයුම් කරයි.
අප ඔහුගේ දෙවැනි කවිපොත අතට ගන්නේ පළමු කවි පොතේ සාධනීය ලක්ෂණ තවදුරටත් වර්ධනය වූ කවීත්වයක් දකිනු රිසියෙනි.
මෙහි පළමු කවිය වන කුණුගොඩ තුළින් වර්තමාන අධිපාරිභෝජනවාදී සමාජයේ පැතිකඩක් පෙන්නුම් කරනවා හැරෙන්නට සුවිශේෂී කාව්‍යොක්ති ජනිත නොකරයි. පොඩ්ඩිගේ මඟුල් දා කවිය ද පවුලක ලොකු බරක් කරට ගත් පොඩ්ඩිගේ වෙන්ව යාමෙන් ගෙදර ලොකු අඩුවක් ඇතිවන බව පැවසෙන්නකි. %රියාල් මල් නෙලා ගෙනෙමි^ පාඨකයා තුළ අපූර්ව සංකල්ප මවන ජනකවි ආර ද ප්‍රයෝජන ගත් කවියකි. කාව්‍ය නිමිත්ත සුලබ වුවද කවියා එය පවසන්සේ කාව්‍යොක්ති මතුවන අයුරිනි.
රැස්ව සිටි සැවොම වටකොට මතුළා ය
නපුරු යකඩ ඇණ ගත සිඳ යැව්වා ය
රියාල් මල් සිහිනවලම මැරුණා ය
අක්කා පරවෙලා ගෙදරට ආවා ය
පොත් ප්‍රදර්ශනයේ දී කවිය ද තරුණ පෙම්වතුන්ට සමීප අත්දැකීමක් කියාපාන්නකි. එදා සිටි පෙම්වතිය නැතිව අද තනිව ඔහු ඇවිදී. ඇය සමඟ මතකය අමතක කරන්නට උත්සාහ කළත් එය නොහැකි වේ.
ඔබ සමඟ තේරූ පොත්පත්
තනිව අතපත ගාමි
අයකැමි මාරු කාසි ඉල්ලූ සඳ
පසු හැරී ඔබේ නම අමතමි
තම ගැබිණි බිරිය රෝහලේ නවතා ගෙදර පැමිණි දුප්පත් සැමියාට දැනෙන අවිනිශ්චිත හැඟීම් කදිමට ග්‍රහණය කරගත් කවියකි බර
ඇති පදමට
මුට්ට උස්සල තියෙන
මගේ දෑතට
හෑල්ලුවට දැනිච්ච
බරක් තිබුණ නං ලොව
හදවත් දෙකක්ම ගැහුණ
උඹේ ගතේ බර තමයි රංජනී
සිදුර නම් කවිය තාත්තා අහිමි දරු පිරිස රැකබලා ගත් මවගේ හදවතේ සිදුරක් ගැන කියන්නකි. මෙතරම් ආදරයෙන් ශක්තියෙන් ජීවිතයට මුහුණ දුන් ඇගේ පපුවේ සිදුරක් තිබිය හැකිදැයි කවියා ප්‍රශ්න කරයි.
සමාන පද, සුබ නිමිත්ත වැනි කවිද පාඨකයා තුළ කුතුහලයක් උපදවමින් තවදුරටත් සිතීමට ඉඩ විවර කරයි. ළහිරු කරුණාරත්න සියුම් කාව්‍යොක්ති සොයා යන කවියෙක් බව පෙනේ. ඒ සඳහා තවදුරටත් ඉවසිල්ලෙන් සමාජය සියුම්ව නිරීක්ෂණය කළහොත් ඔහුට වඩාත් සාර්ථකත්වයකට පත්විය හැකි වනු ඇත.
පාඨක