2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කෙටි ජීවිතේ දිගු කතා

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

මේ වාරකන් කාලයයි
ගොළු මුහුද පුරා
අවලාද කියමින් 
රළ ගෙඩි පවා
ගාලු කළුගල් බැම්මේ
හිස ගසාගන්නා රාත්‍රියයි

සවන් දොර අඟුළුලා උඩු හිතක
හූ කියනවා මුහුදු පතුලත
ගිමන් නොනිවූ
සැඩ සුළං කැරැල්ලක් ඇවිත්
උණුවෙලා ගිය කාගෙදෝ සුසුමක්
තවරලා මුවදොරේ දෙපාමුල
තටු කඩා දුවයි කොග්ගලට
අරවින්දගෙයි නන්දගෙයි අතර මැද
කෙස්ගසක් තරම්වත් නැති හිස්තැනක

පටු කෝණ වෙළෙඳ වීදී දිග 
තත්ත්පරය පවා 
දිගු කෑලිවලට කපා 
පණ පිටින් වළ දැමූ 
කෙටි ජීවිතේ දිගු කතා
අවදිවෙනවා ඇති ඉඳහිට
රේන්ද සාප්පු ගාණේ 
අදත් ඇවිද යනවිට

රාත්‍රියට නටබුන් පිරුණු නුවර පාළුය
එක හිතක් පමණක් සැරිසරන
අහෝ ඛේදයකි මෙකී ඉරණම
ලෝකයාගේම දුක දන්න
ලේන්බාන් වීදියේ මහා කවියාටත් නොපෙණුනා නම්
සීනිගම දෙවොල් දෙවියන්ගේ 
පඬුපුල් අසුන කෝම උණු වෙන්නද

I ඩොමිනික් චන්ද්‍රසාලි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00