2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ගෙඹි කර්මාන්තය

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

 

අප නිවසට ලියුම් ගෙන එන්නේ අහිංසක පෙනුමැති පියුම් මහතෙකි. ඒ මහතා ලියුම් දීමෙන් නොනැවතී රටේ තත්ත්වය ගැන වචනයක් දෙකක් මා සමඟ කතාබස් කිරීමට ද කාරුණික වෙයි. ඔහුගේ ජනප්‍රිය මාතෘකාව ජීවන වියදමය. හැමදාම එකම දේ කිව්වත් ඒ ඔහුගේ ජීවන වේදනාව බව දන්නා මම, හූමිටි තබමින් අසා ඉන්නෙමි. 

මෑතකදී, ඔහු ලියුම් දී ආපසු යන්නට පෙර මා ඔහු දෙස අමනාප බැල්මක් හෙළීය. 

ඇයි මහත්තයා මට රැව්වේ?

අනේ නෑ පියුම් උන්නැහේ. මම හිතාමතානම් රැව්වේ නෑ. ඉබේ රැවුණද දන්නේ නෑ.

ඒ මොකද මහත්තයො. මම මොන වරදක් කළාටද?

නෑ. නෑ. ඔහේ මොකුත් වැරැද්දක් කරලා නෑ. ඒත් මේ බිල් ගොඩ දැක්කම ඉබේටම රුවෙනවා. එරවෙනවා. ගෙරවෙනවා. ඔහේ ලියුම් බෙදනවා කියලා ගේන්නෙම බිල්නෙ. ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල්, අර බිල්, මේ බිල්
ඒකනම් ඇත්ත තමයි මහත්තයා. මාත් ලියුමක් දැකපු කාලයක් මතක නෑ. ඉස්සර වගේ දුඹුරු පාට ලියුම් කවර වෙනුවට  දැන් එන්නෙම ඔය වගේ සුදු දිග එන්ලොප් තමයි

ටෙලිෆෝන් භාවිතේ වැඩිවුණාට පස්සෙ ලියුම් ලියන එක අඩුවුණාලු නේද?

ඒකනම් ඇත්ත. ඉස්සර මම එනකල් කොල්ලො කෙල්ලො වැට ගාව, ගේට්ටුව ගාව එහෙමත් නැත්නම් තුන්මං හන්දිය ළඟ බලාගෙන ඉන්නවනේ. සමහර ගෑනු ළමයි ගෙදරට අහු නොවෙන්න ලියුම් දුන්නම මට ලේන්සු, කොට්ට උර වගේ දේවල් තෑගිත් දෙනවා. දැන් ඒ අයට මම උන්නද මළාද කියලවත් ගාණක් නෑ.

ලෝකය වෙනස් වෙනවනේ පියුම් උන්නැහේ. දැන් කතාබහ සේරම ෆෝන් කෝල්, එස්.එම්.එස් ෆේස්බුක් වගේ මාධ්‍යවලින්නේ.

මහත්තයට කියන්න, මේ ළඟදි පහේ ශිෂ්‍යත්වෙ පාස්වුණු මගේ පොඩි දූ මගෙන් ඇහුවනේ තාත්තට වට්ස් ඇප්, වයිබර් නැද්ද කියලා

ඉතින්?

ඒ පාර මම කිව්වා, එහෙනම් මගේ ෆෝන් එකටත් ඒ මළඉලව් දමල දෙන්ඩ කියලා;

ඉතින් දැම්මද? ඒවා තියෙන එකනම් ප්‍රයෝජනයි. වියදමකුත් නෑනෙ.

කොහෙ දාන්ඩද මහත්තයො. මගේ මේ පරණ කබල් ෆෝන් එකට එව්වා දාන්ඩ බෑ කිව්වනෙ. ඒ විතරක්ය, දුව කියාපි, ගුරු දෙගුරු සංගමේට එනකොට එහෙම ෆෝන් එක එළියට ගන්න එපාය කියලා

ඔව්. රුස්වීම් අස්සෙ ෆෝන් කතා කරන එකනම් හොඳ නෑ තමා

නෑ. නෑ. ඒක නෙමෙයි. මේ ෆෝන් එක අනිත් අය දැක්කම ඒක අපේ දුවගෙ රෙපියුටේෂන් ද මොකද්ද එකට හොඳ මදිලු.

එසේ කියමින් පියුම් මහතා, පාර දෙසට යන්නට විය. 

ඊට මොහොතකට පසු, මට පාර දෙසින් “යකඩ කටක” හඬක් ඇසෙන්නට විය.

පරණ බඩු අරන් අලුත් බඩු දෙනවා. පරණ බඩු වෙනුවට අලුත් බඩු දෙනවා

මම දොර අසලට පැමිණ පාර දෙස බැලුවෙමි. යළිත් “යකඩ කට” ඇසෙයි.

පරණ ෆ්‍රිජ්, වොෂින් මැෂින්, බයිසිකල්, ඇලුමිනියම් බඩු, බේසම්, ඕනම පරණ බඩුවකට අලුත් බඩුවක් දෙනවා

මෙය කදිම අවස්ථාවකි. පරණ බඩුවක් දී, අලුත් බඩුවක් වෙනුවට මුදලක් ලබාගත හැකිනම්, බිලක් හෝ ගෙවා ගත හැකිය. මම ගේ වටා රවුමක් ගැසුවෙමි. එහෙත් මළකඩ කෑ බයිසිකල් රිම් එකක්වත් සොයාගත නොහැකි විය. දැන් මහගෙදර පරණ බඩුවලට ඉතිරිව ඇත්තේ මාත්, බිරිඳත් බව මට සැණින් වැටහුණි. එහෙත් අප දෙදෙනාට මිලක් නියම කිරීමට තරම් මෝඩ වෙළෙන්දෝ මේ ලෝකයේ නැත. හිල් වූ බේසමක් තරමටවත් වටිනාකමක් නැති මිනිසකු බවට පත්ව සිටීම ගැන මා තුළ ඇති වූයේ ආත්මානුකම්පාවකි. මේ මොහොතේ මගේ බිරිඳ නිවසේ නොසිටීම ගැන මා තුළ ඇති වූයේ සතුටකි. ඇය සිතා සිටින තරම් වටිනාකමක් මට මේ ලෝකයේ නැති බව දැනගත්තානම්, එය ඇයගේ අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල් මට්ටම් කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබුණි.

පැන්ෂන් ගිය පොලිස්කාරයත්, පත්තරකාරයත් යන දෙදෙනාම එක හා සමාන යැයි කතාවක් ඇත. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත්, කෙමෙන් වියපත්වන අප වැනි ලේඛකයින්ට කළ හැකි එක් “රාජකාරියක්” වන්නේ පුවත්පතකට කුමක් හෝ තීරු ලිපියක් ලිවීමය. එය තමන් තවමත් ජීවතුන් අතර සිටිනා බව සමාජයට කියා පෑමට මෙන්ම, බිලක් දෙකක් ගෙවීමට “පනං හතරක්” සොයගැනීමට ද ප්‍රයෝජනවත් වෙයි.

“හී සරය” කියවා දුරකථනයෙනුත්, මගතොටදීත් මට ප්‍රතිචාර දක්වන හිතවත් පාඨක පිරිසක් ද සිටී. ඔවුන්ගෙන් සමහරු, ඊළඟ සතියේ තීරු ලිපියට අවශ්‍ය කථා වස්තු හා තේමාවන් ද සපයමින්, ඒවායේ චරිත බවට ද පත් වෙයි. එහෙත් ඒ කිසිවකුගේ අවශ්‍යතාව හෙළි නොකිරීමට මා පරිස්සම්වනුයේ, ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් ද සැළකිලිමත් වන හෙයිනි.

පසුගිය දිනෙක මට මුණ ගැසුණු විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුතුමිය,“හීසරය” අගයමින් කතාකොට, මෙසේ ද ඇසුවාය.

ඡන්දයක් ළං වෙද්දී, පැත්තෙන් පැත්තට පනින මිනිස්සු ගැන යමක් ලිව්වොත් නරකද?

අපි ඒගොල්ලන්ට කියන්නෙ ගෙම්බො කියලා

ඒකනම් හරි. මුන් පනිනවා විතරක්යෑ. පැනලා නිකං ඉන්නෙ නැතිව බක බකත් ගානවනෙ. මහ ලොකු වැඩක් කරලා වගේ

ඒ විතරක් නං මදෑ මැඩම්. පැනපු පැත්තේ එවුන් එක්ක පින්තූරත් අරං පත්තරෙත් දානවා රෙදිත් ඇඳගෙන

හිතාගෙන ඇති උන් පනින පනින පැතිවලට අපිත් පනී කියලා

අපිට දැන් පනින්ඩ ඉතුරුවෙලා තියෙන්නේ මකර කටට විතරයි, නේද මැඩම්

මගෙනම් බල්ලවත් යවන්නෙ නෑ ඡන්ද පොළට

ඒ වුණත් ඡන්දය පාවිච්චි නොකර ඉඳීම නම් පුරවැසි අයිතිය අපතේ යැවීමක් නේද මැඩම්

අපි හැමදාම ඔය කතාවලට රැවටිලා, මොකක්හරි ගෙම්බෙක් සභාවට යැව්වා. මෙදා පාර නං මම කාටවත් කතිර ගහන්නෙ නෑ

එසේ කියමින් ගුරුතුමිය නික්ම ගියාය. මුළු ලංකාවම ඇය වාගේ සිතනවානම්, ලංකාවේ මැතිවරණ ක්‍රමයට නැවතීමේ තිත තැබීමට සිදු වෙතැයි සිතමින් මමද එතැනින් පිටවුණෙමි.

ඊට දෙසතියකට පසු, අර ගුරුතුමියගේ ඡායාරූපය සහිත ඡන්ද පෝස්ටරයක් තාප්පවල අලවා තිබෙනු දුටු මට ඔළුවෙන් සිටගන්නට සිතුණි. දෙකක් කතා කරන්නෙමැයි සිතා මම ඇගේ නිවසට ගියෙමි. ඈ දුර තියාම දෑත් එක්කොට ආචාර කරමින් මා පිළිගත්තාය.


ඔන්න මම ඔයාගෙ ලබන සැරේ ලිපියට හොඳ කතාවක් එකතු කෙරුවා ඇය පුළුල් සිනාවක් පාමින් කීවාය.

ඒ කතාව සම්පූර්ණ ඇත්තය. මේ රටේ දේශපාලඥයින්ගෙන් සිදුවන එකම සේවය ජනමාධ්‍ය සඳහා පුවත් සැපයීම පමණි. අනේ මෙහෙම ගෙඹි රටක්!!!

►කපිල කුමාර  කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00