2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කාෙණ්ඩෙ බැඳපු පිරිමි ළමයි ඒ කාලෙ ඉස්කාේලෙ අාවා

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

මීට දශක පහ - හයකට පෙර අපේ රටේ ගම්බද ප්‍රදේශවල පාසල්වල අද තරම් පහසුකම් තිබුණේ නැත. පාසල් දරුවන්ට රජයෙන් නොමිලයේ පෙළ පොත්, නිල ඇඳුම් ලැබුණේ නැත. ඉගෙනුම් ශාලා, විද්‍යාගාර, පුස්තකාල ආදී භෞතික සම්පත් ද හිඟය. ගුරුවරු ගුරුවරියන්ගේ හිඟය ද තදින්ම තිබිණ.

එකල අපේ රටේ ගම්බද පාසල්වල අධ්‍යාපන කටයුතු සිදුවූ අයුරු ගැන තොරතුරු දැන ගැනීමේ අටියෙන් මම අද “ගමේ ඇත්තන්ගේ රසකතා” මණ්ඩපයට කැඳවාගෙන ආවේ පරණ ගුරුවරියකි.ඇය නමින් ජේ. ඒ. මේරිනෝනා මහත්මියයි. ගල්ගමුව, ඉහළ පලුකැන්දෑව ප්‍රදේශයේ පදිංචි ඇය දැනට අසූ හතර වැනි වියේ පසුවන්නීය. 

මගේ උපන් ගම ගම්පහ, බෙම්මුල්ලේ. ඉස්කෝලේ ගියේ පිටියේ ගෙදර ගැහැනු පාසලට. ඉස්කෝලෙට මුලින්ම යනකොට මට වයස අවුරුදු තුනයි. ඒ කාලේ වයස අවුරුදු පහ වෙනකම් ඉන්න ඕන නෑ. අක්කා ඉස්කෝලේ යද්දී මාත් ඒ පිටිපස්සෙන් ගියා. මුලින්ම හෝඩියේ පන්තියෙන්නේ එදා පටන් ගන්තේ. ඊට පස්සේ තමයි පළමු පන්තියට දාන්නේ.

1951 අවුරුද්දේ මම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ලීවා. මුල් සැරේ ප්‍රතිඵල අසාර්ථකයි. දෙවැනි සැරේ සම්මාන නමයක් එක්ක විෂයන් නමයම මම සමත් වුණා. ඒ කාලේ අවසාන වාර විභාගය කියලා විභාගයක් තිබුණා. ඒක ලියලා පාස් වුණොත් ගුරු පත්වීමක් දෙනවා. මම ඒ විභාගයටවත් නොලියා ගෙදර නතර වුණා. ගෙදරට වෙලා ඉන්නකොට ගුරු අභ්‍යාස විද්‍යාලයට බඳවා ගන්න විභාගය ගැසට් කරලා තිබුණා. මම ඒ විභාගය ලීවා. විභාගය සමත් වෙලා 1958 අවුරුද්දේ මහනුවර, උයන්වත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. අවුරුදු දෙකයි පුහුණුව. අවසන් විභාගයේ ප්‍රතිඵල එන්ටත් කලින් 1960 අවුරුද්දේ ජනවාරි මා‍සේ මට ගුරු පත්වීමක් ලැබුණා.

මගේ මුල්ම පත්වීම ලැබුණේ මහව, තුඹුල්ලේගම විද්‍යාලයට. පොඩි ඉස්කෝලයක්. පොල් අතු වහපු මඩුවක් තමයි තිබුණේ. එකම ගොඩනැගිල්ල ඒක තමයි. ඒ පාසලේ අවුරුදු දෙකක් වැඩ කරලා ගල්ගමුව, විද්‍යාදීප විද්‍යාලයට ස්ථාන මාරුවක් අරන් ආවා. පාළුව ජනපදය පිහිටුවූ අලුත තමයි ඒ පාසලට මම ආවේ. 1966 අවුරුද්දේ මට මහනාන්නේරිය මහා විද්‍යාලයට මාරැවක් ලැබුණා. හැට අටේ විතර නැවත පාළුව විද්‍යාදීප විද්‍යාලයට ආවා. ඊට පස්සේ පලුකන්දෑව පාසලටත් නැවත පාළුව විද්‍යාදීප විද්‍යාලයටත් මාරුවීමක් ලැබුණා. මම පාළුව විද්‍යාදීපයේ අවුරුදු විසි අටක් විතර වරින් වර සේවය කරලා තියෙනවා. 1994 අවුරුද්දේ ජනවාරි  20දා මම විශ්‍රාම ගත්තා

ඒ කාලේ මේ ප්‍රදේශවල පාසල්වල තිබුණු පහසුකම් එහෙම කොහොමද? යි මම මේ විශ්‍රාමික ගුරු මවගෙන් ඇසුවෙමි.

මම මුලිනුත් කීවානේ මගේ මුල්ම පත්වීම ලැබුණ පාසල ගැන. නිකවැරටිය ප්‍රදේශයේ ඇවිත් හිටපු පබාවතී නෝනයි මායි නතරවෙලා හිටියේ ඒකේ ගොඩනැගිල්ලේ තිබුණ එකම කාමරයේ. ලොකු මහත්තයා (විදුහල්පති), ඒ නෝනා දරුවන් වෙනම කටුමැටි ගහපු ගෙයක හිටියා. නිල නිවාස නෑ. ඒ ගමේ ටිකක් හොඳට හදලා තිබුණේ ග්‍රාම සේවක රාළහාමිගෙයි, විදානේ මහත්තයාගෙයි  ගෙවල් විතරයි. අනිත් ගෙවල් කටුමැටි ගහපු පිදුරු සෙවිලි කළ ගෙවල්.

මහව නගරයේ සිට සැතපුම් පහක් විතර දුරකින් පාසල පිහිටලා තිබුණේ. යන්ඩ හරිහැටි පාරක් නෑ. පයින්ම තමයි ඒ දුර ගෙවාගෙන යන්ඩ වුණේ. මම පත්වීම බාර ගන්ඩ ගිය මුල්ම දවසේ  ලොකු මහත්තයලා ගමට යන්ඩ ගිහින් තියෙනවා. ඒ ලොකු මහත්තයා පාදුක්ක පැත්තේ කෙනෙක්. ඉස්කෝලේ ඉඳලා මහවට යන්ඩ කරත්තයකයි ගිහින් තියෙන්නේ. මඟක් යනකොට කරත්තයත් ඇදගෙන ගොනා වැවකට පැනලා කට්ටියම හොඳටම තෙමිලා. අරන් ගිය බඩු මුට්ටුත් වැවට වැටිලා.
ඒ කාලේ ළමයි ඉස්කෝලේ ආවේ ඕන ඇඳුමක් ඇඳගෙන. සමහර පිරිමි ළමයි කොණ්ඩය බැඳලා. ගෑනු ළමයි පාට ගවුමක් ඇඳගෙන එනවා. පිරිමි ළමයි සරම් අඳිනවා. පහේ පන්තියට යනකම් ලියන්න ගත්තේ ගල්ලෑලි. ගල්ලෑල්ලයි, ගල් කූරයි පන් මල්ලක දාගෙන තමයි ළමයි එන්නේ. වහින දවස්වලට කෙසෙල් අත්තක් ඔළුවට අල්ලාගෙන එනවා. හේන් වැඩ කාලයට, කුඹුරු වැඩ කාලයට ළමයි ඉස්කෝලේ එනවා අඩුයි. ඉහළට ඉගෙන ගන්ඩ වුවමනාවකුත් ළමයින්ට නෑ. මව්පියන් ගොඩක් දුප්පත්. ඒ වාගේම හරිම හොඳයි.

පාළුව විද්‍යාදීප ඉස්කෝලේ ළමයින්ට ඉගැන්වූයේ බිමට පැදුරු දාලා. වාඩි වෙන්න ඩෙස්ක් බංකු නෑ. කොළනිය පටන් ගත්ත කාලෙමනේ. පස්සේ පස්සේ තමයි ඩෙස්ක් බංකු ලැබෙන්ඩ පටන් ගත්තේ. හැට ගණන්වල හරිම දුෂ්කරයි. ඉස්කෝලවලට පහසුකම් අඩුයි. දුප්පත් දරුවන්ට උගන්වන එක පිනක්. ඒ හින්දා දුෂ්කරතා බලන්නේ නැතිව දරුවන්ගේ ඇස් පාදන්න අපි මහන්සි වෙලා වැඩ කළා.

උපන් ගමට ආපහු නොගිහින් ඇයි මෙහේ නතර වෙන්ඩ හේතුව යි මම ඇගෙන් ඇසුවෙමි.

විවාහය නිසා තමයි මෙහේ නතර වෙන්ඩ වුණේ. තුමුල්ලේගම ඉස්කෝලේ වැඩ කරද්දී තමයි මහත්තයා  මට මුණ ගැහුනේ. එයත් වැඩ කළේ ඒ ඉස්කෝලේ. අපි අතරේ මිත්‍රත්වයක් ඇති වුණා. දවසක් එයා මට ලියුමක් දුන්නා. “මම කැමතියි. ඔයා මොකද කියන්නේ” කියලා ඒ ලියුමේ තිබුණා. අම්මලාගෙන් අහන්න කියලා මම කීවා. පස්සේ එයා අපේ ගෙදර ගිහින් තියෙනවා. ගෙදරින් කැමැත්ත දීලා තියෙනවා. ඊට පස්සේ එයා නැවත අපේ ගමට ගිහින් නම් දීලා ඇවිත් නම් ප්‍රසිද්ධ කළා කියලා මම දන්නෙත් ඊට පස්සේ. කොහොම හරි 1961 අවුරුද්දේ මාර්තු මාසේ අපි විවාහ වුණා. විවාහයෙන් පස්සේ මෙහේ ඇවිත් පදිංචි වුණා.

ඒ කාලේ මේ ගම්වල ඉස්කෝල හදාගෙන තියෙන්නේ මිනිස්සු එකතු වෙලා. ගල්ගමුව, පාඩිපංචාව කියන පාසලත් හදාගෙන තියෙන්නේ එහෙම. අපේ මහත්තයත් ඒ පාසල හදන්න මූලික වෙලා තියෙනවා. ඉස්කෝලෙට ළමයි ගත්තට පස්සේ පාසල හදන්න මූලිකත්වය ගත්තු අය අතර ජ්‍යෙෂ්ඨය සමත් අය ඉන්නවානම් ඒ අයට ගුරු පත්වීම් ලැබුණාට පස්සේ අවසාන ගුරු විභාගයට ලියන්න ඕන. මහත්තයා ඒ ගුරු විභාගයටත් ලියලා පස්සේ ට්‍රේනිං කොලීජියටත් ගියා.

ඔබ ගල්ගමුවට මුලින්ම පැමිණි කාලයේ මේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වය කොහොමද?

ගල්ගමුව පුංචි නගරයක්. කඩ කීපයයි තිබුණේ. ගම්වල තිබුණේ කැලෑ පාරවල්. ගල්ගමුවේ සිට නාන්නේරිය දක්වා එක බස් රථයක් දිව්වා. ඈත ගම්වල අය ගල්ගමුවේ පොළට ආවේ ගියේ පයින්මයි. ගෙදර යනකොට රෑ වෙනවා. මිනිස්සු පොළට එන්නෙත් බුලත් පුවක් ටික අරන් යන්නයි, ලූණු ටික, කරවල ටික වාගේ පොඩි දෙයක් අරගෙන යන්න එළවළු නම් අරන් යන්නේම නෑ. ඒවා හේනේ පිටියේ තියෙනවානේ.

ගම්වල රස්සා කරපු අය හරිම හිඟයි. හේන් - කුඹුරු ගොවිතැන තමයි කළේ. හරි සමගියක් ගම්වල තිබුණා. ගොවිතැන් කටයුතුවලදීත් එකිනෙකාට  උදව් කර ගත්තා. අත්තම් ක්‍රමයට තමයි ඒ වැඩ කර ගත්තේ. අපේ මහත්තයත් හේන් - කුඹුරු ගොවිතැන් කළා. මාත් ඒවාට උදව් කළා. කුඹුරක කැලේට කිට්ටුවෙන් තියෙන ලියැද්දක් කුරුල්ලන්ට කියලා වෙනමම අයින් කරනවා. “කුරුලු පාළුව” කියන්නේ ඒකට. කරල් පැහුනම කුරුල්ලෝ රංචු පිටින් ඒ ලියැද්දට එනවා. හරිම ලස්සනයි.

ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද? යි මා ඇසූ පැනයට ඇය දුන් පිළිතුරුයි මේ.

අපේ මහත්තයා ඒ කාලේ ටිකක් තදට දේශපාලනය කළා. හැත්තෑ එකේ කැරැල්ලේදී අපිත් බයෙන් හිටියේ. කැරලිකාරයන්ගෙන් ශ්‍රී ලංකාකාරයින්ටත් තර්ජන තිබ්බනේ. ඒ නිසා අපිත් රෑට ගෙදර හිටියේ නෑ. ළමයිනුත් අරන් කාගේ හරි ගෙදරකට රූට නිදාගන්න යනවා. එහෙමත් නැත්නම් කැලේකට ගිහින් ගහක් යට නිදා ගන්නවා. දෙපැත්තෙන්ම මිනීමැරුම් සිද්ධ වුණා. මෙහේ  ගුරුවරයෙකුත් ආණ්ඩුවේ හමුදාවෙන් අල්ලාගෙන ජීප් එකක දාගෙන ගිහින් ගල්ගමුව ස්ටේෂම ළඟ මරලා පුච්චලා දාලා තිබුණා

ඒ කාලේ ගම්සභාවට නියෝජිතයින් පත් කරන්න තිබෙන ඡන්දවලදී ඡන්දෙට ඉදිරිපත්වෙන ජනප්‍රිය කෙනෙක් හිටියොත් එයා හංගනවා. එයාගේ හිතවතුන් තමයි එහෙම කරන්නේ. අපිත් එහෙම කෙනෙක් හංගලා තියෙනවා. එයාට මොනා හරි කරදරයක් කරයි කියලා තමයි එහෙම කරන්නේ

ඒ කාලේ ඉස්කෝලවල වැඩ කරද්දී දවල්ට තේ බොන්න ඉස්කෝලේදීම තමයි ලෑස්ති කරගන්තේ. කැන්ටින් නෑනේ. කට්ටියම එකට එකතුවෙලා තමයි තේ බොන්නේ. ඉස්කෝලේ තැනක තේ උණු කර ගන්නවා. දර ළිපේ තමයි ඒක කර ගන්නෙත්. කවුරු හරි ගුරුවරයෙක් කන්ඩ මොනවා හරි ගේනවා. ඒකත් දවසින් දවසට එක එක්කෙනා මාරැ කරගෙන තමයි කරන්නේ. මම විද්‍යාදීප පාසලේ වැඩ කරන කාලේ දවසක් කට්ටිය එකතු වෙලා තේ බොන්න ලෑස්ති වුණා. කන්ඩ ගෙනත් තිබුණේ විස්කිරිඤ්ඤා. මම විස්කිරිඤ්ඤයක් අරන් හපනකොට දතක කෑල්ලක් කැඩිලා ගියා. කට්ටියට හිනා. මම පහුවදාම කුරුණෑගල ගිහින් කැඩුණු දතයි, තවත් දිරලා තිබුණ දත් හතරකුයි ගලවා ගත්තා. දත් අලුතින් දාන්න මුදලුත් එදාම බැඳලා ආවා. ඕවා තමයි තාමත් මතක්වෙන සිද්ධි කියමින් ඇය නිහඬ වූවාය.

වන්නියේ කැලෑබද ගම්මානවල ගැමියන්ගේ දූ දරුවන්ගේ ඇස් පාදන්නට ජීවිතයේ බොහෝ කාලයක් කැපකොට අද විශ්‍රාම සුවයෙන් පසුවන මේ ගුරු මාතාවට දිගාසිරි පතා මම ඇගෙන් සමුගත්තෙමි.

►ගල්ගමුව - නිහාල් ජයවීර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00