2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අංශභාගය හෙවත් පක්ෂාඝාතයෙන් බේරෙන්නේ කොහොමද?

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

දිනෙන් දිනම වැඩිවෙමින් පවතින සෞඛ්‍ය අවදානමක් ලෙස අංශභාගය නැතහොත් පක්ෂඝාතය රෝග තත්ත්වය හැඳින්විය හැක. සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවිපෙවතක් පවත්වා ගැනීමට අසමත්වීම නිසා මෙවැනි රෝගවලින් ජීවිත කාලයම ගෙවා දැමීමට බොහෝ අයට සිදුවී ඇත. වැදගත් කරුණ වෙන්නේ මෙවැනි රෝගයන්ට ලක්නොවී ආරක්ෂා වීමේ හැකියාව අප සතු බව අවබෝධ කරගැනීමයි.

මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ මොළයේ සෛල මිය යාමයි. මොළයේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය නිසි පරිදි නොලැබීම නිසා මොළයේ යම් යම් ස්ථානවල ස්නායු සෛල මිය යාම සිදුවේ. එවිට එම ස්ථාන මඟින් පාලනය වන්නාවූ ශරීරයේ කොටස් අඩපණ වේ. සංවේදන නොලැබී යන අතර ක්‍රියාකාරීත්වය දුර්වල වේ.

ආඝාතය නැතහොත් Stroke ලෙස හඳුන්වන මෙය මොළයට රුධිරය සපයන රුධිරවාහීනිවල මේද හෝ රුධිර කැටියක් සිරවීමෙන් සිදුවන අවහිරතාවයක් නිසාත් එමෙන්ම අධික රුධිර පීඩනය නිසා රැධිර නාලයක් පිපිරීමෙන් ඇතිවන අභ්‍යන්තර ලේ ගැලීමක් නිසාත් සිදුවිය හැක. එකවර ශරීරයේ එක් පාර්ශවයක අප්‍රාණික භාවයක් ඇතිවීම, කතාව අපහසු වීම, කට පැත්තට යාම මෙන්ම ඉතා තදබල රෝග අවස්ථාවන්හීදී සිහිමද ගතිය වැනි රෝග ලක්ෂණ ඇතිවේ.
මෙය හදිසි තත්ත්වයක් නිසා ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එමඟින් රෝගියාට ඇතිවන බලපෑම අවම කරගත හැකිවනවා සේම මරණයෙන් ගලවා ගැනීමට ද අවස්ථාව සැලසේ. මොළයේ සෛලවලට සිදුවඇති හානියේ ප්‍රමාණය අනුව මරණය පවා සිදුවිය හැක.

නමුත් අංශභාගය හෙවත් පක්ෂඝාතය 80%ක්ම වළක්වා ගතහැකි රෝග තත්ත්වයක් බව සිහිතබා ගතයුතුය. ඒ සඳහා කළයුතු වන්නේ නීරෝගී ජීවන රටාවකට හුරැවීමයි. මෙහිදී හෘදය හා රුධිර වාහිනි පද්ධතියේ නිරෝගී බව ආරක්ෂා කරගැනීම සඳහා මූලිකවම පියවර ගත යුතුය.

• අධික තෙල්, ලුණු, සීනි සහිත ආහාර මෙන්ම පිටිවලින් නිෂ්පාදිත ආහාර පාලනය කළ යුතුය.

• අධික රුධිර පීඩනය, රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, දියවැඩියාව යන රෝග තත්ත්වයන් මෙයට ප්‍රධානම හේතු ලෙස දැක්විය හැක. එබැවින් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වී රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හා රුධිර ගත සීනි මට්ටම පාලනය පිළිබඳ අවධානය යොමුකළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ඖෂධ ගත යුතුය.

• දුම්පානයෙන් වැළකීම හා මත්පැන් පානයෙන් වැළකීම අනිවාර්ය වේ.

වඩා වැදගත් කාරණය වන්නේ ක්‍රියාශීලී දිවිපෙවෙතක් පවත්වා ගැනීමයි. ඒ සඳහා දිනපතා හෝ සතියකට දින 2 – 3ක් ව්‍යායාම්වල යෙදීම අත්‍යාවශ්‍ය කරුණකි. දිනපතා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි සැහැල්ලු ව්‍යායාම්වල යෙදීමට උනන්දු විය යුතුය. එමඟින් ශරීර අභ්‍යන්තර සියලු පද්ධතීන්වල නිසි ක්‍රියාකාරීත්වයක් ඇතිවන අතර ශාරීරික මෙන්ම මානසික සැහැල්ලු බව, මාංශපේෂී, අස්ථි සන්ධිවල ශක්තිමත් බව පවත්වා ගැනීමටත් එමඟින් හැකියාව ලැබේ.

එසේම ව්‍යායාම මෙන්ම ශාරීරික සමබරතාවය පවත්වා ගැනීමට උපකාරීවේ. මානසික විවේකී බව ඉතා වැදගත් සාධකයකි. මානසික අසමතුලිත බව, ආතතිය මඟින් ශරීරයේ රසායනික වෙනස්කම් ඇති කෙරේ. එමඟින් දියවැඩියාව, අධික රැධිර පීඩනය ඇතුළු සියලු රෝගයන්ට මඟ සලසයි.

දේහ බර නිසි ලෙස පවත්වා ගැනීමට, ආහාර, ව්‍යායාම හා මානසික සමබරතාවය යන සාධක තුනම බලපාන අතර අලුත් එළවළු, පලාවර්ග, පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, පිටි සහ සීනි අධික ආහාර, ලුණු, තෙල් අධික ආහාර පාලනය කරගත යුතුය. තරබාරු, අංශභාගය මෙන්ම අනෙකුත් සියලු රෝගයන්ට ප්‍රබල හේතු සාධකයන් වන බැවින් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ජානමය සාධක මේ තත්ත්වයට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. එබැවින් එවැනි පුද්ගලයින් නිසි කලට ව්‍යායාම කර නිසි වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීම මෙන්ම කල්තියාම ආරක්ෂක උපක්‍රම භාවිතය ඉතා වැදගත් වේ.

නිවැරදි ආහාර පුරුදු හා චර්යා රටා කුඩා කල සිටම අනුගමනය කළයුතුය. එවිට ජානමය සබඳතාවයන් ඇති රෝගයක් වුව එහි තීව්‍රතාවය අඩුකර ගැනීමට හැකියාව ලැබේ.

ආයුර්වේදයට අනුව පක්ෂඝාතය හෙවත් අංශභාගය රෝගය සෑදීම වළක්වා ගැනීම මෙන්ම එය සුව කරගැනීමට සාර්ථක ප්‍රතිකාර ඇත. ඒ අතර ඖෂධ ලබාදීම මෙන්ම බාහිරව තෙල් ආලේපනය, පත්තු බැදීම මෙන්ම තැවීම් මඟින් ද මෙය සුවකර ගැනීමට හැකියාව ඇත. නමුත් රෝගයක් වැළදීමට පෙර ඒ පිළිබඳව අවබෝධයක් ඇතිව එවැනි රෝග සෑදීමට ඇති ඉඩකඩ අවහිර කරගැනීමට යොමුවීම ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා
සෙත්සුව ආයුර්වේද රෝහල

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00