දිනෙන් දින වැඩිවන කසළ ගැටලුව නිසා පරිසරයට සිදුවන හානිය වළක්වාලන්නට ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහොමයක් රටවල් පිළියම් සොයාගෙන යයි. කසළ නිසියාකාරව බැහැර කිරීම සෑම පුරවැසියෙක්ම තම වගකීමක් ලෙස සලකා කටයුතු කරන්නේ නම් මෙම අභියෝගය බොහෝදුරට ජයගත හැකිය. එසේ කිරීමෙන් මෙම ගැටලුවට සාර්ථක විසඳුම් ලබාගත් බොහෝ රටවල් ගැන අපි අසා ඇත්තෙමු.
ශ්‍රී ලංකාවේ මුල්ම වතාවට නිසියාකාරව, විධිමත් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු කරන පාසල්, හෝටල් වැනි ආයතන නිරීක්ෂණයට ලක්කොට ඔවුන් දිරිගැන්වීම සඳහා සම්මාන උළෙලක් පවත්වන්නට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කටයුතු සංවිධානය කොට තිබේ.
මිහිසරු සම්මාන 2017^ මැයෙන් දෙසැම්බර් මස 28 දින නෙළුම් පොකුණ රංග ශාලාවේ දී ප.ව. 2ට පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ පරිසර අමාත්‍ය ධූරය ද දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
පළාත් සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් ඇතුළු රජයේ හා බස්නාහිර පළාත් මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මිහිසරු සම්මාන උළෙල සංවිධානය කරනුයේ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින්ය.
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිනි රුවිනි ධර්මසිරි මෙනෙවිය දේශයට පැවසුවේ මෙරටේ මුල්වරට පැවැත්වෙන මෙවන් සම්මාන පිරිනැමීමේ උළෙලක මූලික අරමුණ වනුයේ නිසිලෙස කසළ කළමනාකරණයෙහි යෙදෙන්නන් ඇගයීම හා ඔවුන් දිරිමත් කිරීම බවය.
මෙම උළෙල සම්මාන ප්‍රදානය අංශ කිහිපයකින් සිදුවෙනවා. කොම්පෝස්ට්, පිවිතුරු පුර, පිවිතුරැ පාසල්, රජයේ හා පෞද්ගලික ආයතන, හෝටල් හා රෝහල් වැනි පරිශ්‍ර තුළ කසළ කළමනාකරණය අපේ නිරීක්ෂණයට ලක්වෙනවා. අපේ නිලධාරීන් පිරිස් මාස ගණනාවක් මුළුල්ලේ මෙම ආයතන මූලිකව අධීක්ෂණය කළා. ඒත් අවසාන අදියරට අපි පස්දෙනෙකුගෙන් යුත් විද්වත් විනිශ්චය මඬුල්ලක් මේ සඳහා පත් කළා. මේ සියලු නිරීක්ෂණයන් සිදුවන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතවයි. අනික මේ රටේ ජනනය වන කසළවලින් 60% ක්ම ලැබෙන්නෙ බස්නාහිර පළාතෙන් බව අපි අමතක නොකළ යුතුයි. අධිකාරියේ සභාපතිනි, රැවිනි ධර්මසිරි මෙනෙවිය පැහැදිලි කළාය.
මෙම සම්මානයට නිවාස හෝ ගෘහස්ථ කසළ කළමනාකරණය ඔබේ නිරීක්ෂණයට ලක්වන්නෙ නැද්ද?
බස්නාහිර පළාතේ නිවෙස්වල කසළ කළමනාකරණය නිරීක්ෂණය කිරීම ප්‍රායෝගිකව ඉතාම අසීරු කාර්යයක්. ඒත් අපි ඒ අංශය ගැන අවධානයට ලක් කරන්නෙ ඒ ඒ පළාත්වලට අදාළ පළාත් පාලන ආයතන හරහායි. ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා ආශ්‍රිතව ඒ ඒ පළාත්වල නිවෙස්වලින් බැහැර කරන කසළ ගැන අපි අවධානය යොමු කරනවා. මොකද නිවෙස්වල තිබෙන අපද්‍රව්‍ය සම්බන්ධව ඍජුවම කටයුතු කරන්නෙ එම ආයතන මගින්. විශේෂයෙන්ම නිවෙස්වලින් බැහැර කරන කසළ ඔවුන් විසින් වර්ගීකරණයට ලක් කරනවානම් අදාළ ආයතනවලට විශාල පිටුවහලක් වෙනවා. මේ අනුව බස්නාහිර පළාත තුළ තිබෙන පළාත් පාලන ආයතන 48 ක් අපේ අවධානයට ලක්වෙනවා. කසළ නිසා ලෙඩරෝග පැතිරවීමේ අවදානම අවම කිරීම සඳහා ගන්න පියවර ඇගයීම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන්ටත් මෙවර සම්මාන හිමිවෙනවා.
හෝටල් සඳහා ලබාදෙන සම්මානය කෙබඳුද?
අපි හෝටල් සම්මානය අංශ දෙකකට බෙදා වෙන් කළා. එකක් තරු 3 හෝටල් සහ ඊට පහළ. අනික තරු 4 හා තරැ 5 හෝටල්, මොකද තරු 4 හා 5 වර්ගයේ හෝටල්වල ඔවුන්ටම ආවේණිකව අනුගමනය කරන ප්‍රමිතියක් තිබෙනවා කසළ කළමනාකරණය පිළිබඳව. මෙම සම්මාන උළෙල බස්නාහිර පළාතට පමණක් සීමාවුවත්, මා හිතනවා නුදුරේදීම අනෙකුත් පළාත්වලද මෙවැනි ආකෘතියේ වැඩසටහන් ආරම්භ කරයි කියලා.
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බස්නාහිර පළාත) දිස්ත්‍රික් කළමනාකාරිනී, නිරංජා ජයසේන මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කරමින් පැවසුවේ මෙම අධිකාරිය ස්ථාපිත කරන්නට ප්‍රථමයෙන් එවකට බස්නාහිර පළාතට අයත්ව තිබූ පළාත් පාලන ආයතන 45කින් එකතුකරගත් කසළ තැන් තැන්වල බැහැර කළේ කිසිදු පිළිවෙළක් නැතුව. ඒ හේතුවෙන් කසළ ප්‍රශ්නය බස්නාහිර පළාතේ විශාල අර්බුදයකට හේතු වුණා. අපේ නිරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා අපි පළාත් පාලන 45 කලාප 7කට බෙදා වෙන් කළා.
අපේ කසළවලින් 70% ක් විතර තියෙන්නෙ දිරන ද්‍රව්‍ය. අපේ ගොවියොත් කැමතියි කාබනික පොහොරවලට. එනිසා අපි කොම්පෝස්ට් හදන්න ප්‍රමුඛත්වය ලබාදුන්නා. අපේ මුල්ම කොම්පෝස්ට් ව්‍යාපෘතිය 2005 දී හැදුවේ අත්තනගල්ල රන්පොකුණ ගමේදි. ඒ සඳහා අපට ලැබුණෙ රුපියල් ලක්ෂ 13ක මුදලක්. දෙවැනි කොම්පෝස්ට් ව්‍යාපෘතිය පටන්ගත්තෙ කළුතර. අද වනවිට බස්නාහිර පළාතේ මෙවැනි කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘති 24 ක් තිබෙනවා. මෙම සම්මාන උළෙල ගැන කියනවානම් පෙර පාසලේ සිටම මෙය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. පාසල් දූ දරුවන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ද අපි ආරම්භ කරලා තිබෙනවා.
රමේෂ් උවයිස්