2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

හල්දුම්මුල්ලටත් අලි පනී!

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

ඌව පළාතටම කන්න බත සපයන්න අපට හැකියි කී ශක්තිමත් ගොවි පරම්පරාවක් සහ සශ්‍රීක වී වගා බිමක් හිමි ඌව කොස්ගම ප්‍රදේශයේ ගොවීන්ට දැන් සිටි සිදුව ඇත්තේ ජීවිතය අයැදීමටය. ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම අහිංසක ගොවියෙකුගේ ජීවිතයක් බිල්ලට ගෙන අවසන්ය. වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සංවිධානය වූ ප්‍රදේශවාසීන් පසුගියදා 17දා පස්වරුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය මරන්ගහවෙල ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ විසඳුමක් සොයන්නටය. 

ජයමිණි රුවන් කුමාර (42) හල්දුම්මුල්ල ඌවකොස්ගම ප්‍රදේශයේ පදංචි දෙදරු පියෙකි. ගොවියෙක් වශයෙන් කටයුතු කළ ඔහු පසුගිය 16 වැනිදා අළුයම කුඹුර බලා පිටත්ව ගොස් තිබුණේ දිවා ආහාරය සඳහා නිවෙසට පැමිණෙන බව කියමිනි.  ඔහුගේ බිරිය දිවා ආහාරය පිස සැමියා නිවෙසට  එනතෙක් බලා උන්නාය. ටිකෙන් ටික ප්‍රමාද වන්නට හේතුව සොයා ඈ නිවෙසින් පිටත් වූයේ සැමියා සොයා යන්නටය.

පෙරමඟට දුව ආවේ ඇගේ තාත්තාය. දරුවෝ රුවන් පාරේ වැටිලා ඉන්නවා තුවාල වෙලා... අලියා ගහලා වගේ. ඉක්මනට යමන් ඉසිපිරිතාලෙට ඔහු හති දමමින් කීවේ එසේය. ගම්වාසීන්ගේ සහායෙන් තුවාලකරු දියතලාව රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඔහු ජීවිතය හැරදාගොස් අවසන්ය. රුවන් කුමාර මහතාට වන අලි ප්‍රහාරය එල්ල වී තිබුණේ එදින පස්වරැ 1.20ට පමණය. අලින්ගෙන් ප්‍රදේශයට පවතින අවදානම පිළිබඳව  ගම්වාසීන් විසින් බලධාරීන්ට නිරතුරුවම තොරතුරු දන්වා අලි වැට ඉදිකර දෙන ලෙස දන්වා තිබුණේ වසර ගණනාවක සිටය. ඒ සඳහා කණු හා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනවිත් වසර 3කට අධික කාලයක් දමා ගිය ද ඉන් ඵලක් වී නොමැත. මේ වසර මුල සිට ඉකුත්දා වන අලි ප්‍රහාරයෙන් මරණය සිදුවන තෙක් එම ප්‍රදේශයේ “මාලදොල” ගම්මානයේ පමණක් නිවාස 5ක දේපලවලට අලි ප්‍රහාර එල්ල වී තිබුණි. මේ සම්බන්ධයෙන් ගමේ ජනතාව මාධ්‍යට කරුණු දන්වා ප්‍රසිද්ධ කර තිබුණද බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී තිබුණේ නැත.

එසේ  තිබියදී රුවන් කුමාර මහතා වන අලි ප්‍රහාරයකින් මියයාම ඊට විසඳුම් නොදීමෙන් ගමට අලි මරණ නිර්මාණය කිරීමක් බව ගම්මුන් පවසති. මීට වසර හයකට ප්‍රථම හල්දුම්මුල්ල කොස්ගම ප්‍රදේශයට වන අලි ගැටලුවක් තිබී ඇත. උඩවලව ප්‍රදේශයේ සැරිසරණ වන අලින් මේ ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත්තේ ඔවුන්ගේ වාසභූමි ජනාවාස වීමත් සමඟ බව ගම්මුන්ගේ අදහසය. ඔවුන් පවසන්නේ සොරගුණේ දේවාලයට අයත් ඉඩම් මහා පරිමාණයෙන් එළි පෙහෙළි කර වගාවන් ඇරඹීම නිසා ඒ ප්‍රදේශවල ආගිය අලින් ගම් ප්‍රදේශවලට පැමිණ ඇති බවය. බලපුළුවන්කාර ව්‍යාපාරිකයන්ගේ ක්‍රියා කලාපයන් නිසා අහිංසක ගොවියන් ඇතුළු ජනතාව  පීඩාවට පත්ව සිටින බව ඔවුහු පවසති. පසුගියදා වන අලි ප්‍රහාරයෙන් මිය ගිය රුවන් කුමාර මහතාගේ බිරිය කුමාරි කාන්ති (38) මෙසේ පැවසුවාය.

මහත්තයා එදා උදේම කුඹුරට ගියා. දවල් කෑමට එනවා කියලයි ගියේ. මම බලාගෙන ඉද්දී ගෙදරට කෝල් එකක් ආවා. තාත්තා කතා කරලා කීවේ මහත්තයා පාරේ වැටිලා ඉන්නවා අලියෙක් ගහලා වෙන්න ඇති ඉස්පිරිතාලේ ගෙනියනවා කියලා... ඇඟ පුරාම මඩ දූවිලි ගෑවිලා තිබුණු නිසා අලියා ගහලා කියන්න සාක්ෂි තිබුණා. දෙකේ පංතියේ සහ හතරේ පංතියේ ඉගෙන ගන්න පුතාලා දෙන්නෙක් මට ඉන්නවා. දැන් අපි අසරණ වෙලා ඉන්නේ

වසර කීපයක් පුරා වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලූ ගම්වැසියන්ට වනජීවී නිලධාරීන් හෝ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ පිළිසරණක් ලැබී නොමැත.  මේ හේතුවෙන් පසුගියදා සිදුවූ මරණයත් සමඟ උරණ වූ ප්‍රදේශවාසීන් තමුන් මුහුණපා තිබෙන අවදානමට විසඳුමක් ලබා ගන්නා පිණිස ඒකරාශී වූහ. 17 වැනිදා පස්වරුවේ  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාව ප්‍රකාශ කළේය. එහිදීද විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමට බලධාරීන් මුනිවත රකින බවය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලි වැට ඉදිකරන බවට බලධාරීන් විසින් ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් විරෝධතාවය අත්නොහරින බවය. මේ මොහොතේ ලී කොටන් දමා මාර්ගය අවහිර කිරීම සහ මාර්ගයේ ගිනි අවුලුවා තිබීම නිසා ගමනාගමනයට බාධා එල්ලවී තිබුණි. 

එම අවස්ථාවට හල්දුම්මුල්ල ඇතුළු ප්‍රදේශයේ පොලිස් ස්ථාන රැසක නිලධාරීන් සහභාගී වී තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ ගත්හ. ඒ අතර එම ස්ථානයට පැමිණි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් වෙනුවට කතා කළේය. ඔහු පොරොන්දු වූයේ වහාම අලි වැට ඉදිකිරීමට  පියවර ගන්නා බවත් එය ජනවාරි 15 දිනට පෙර ආරම්භ කරන බවත්ය. කෙසේ වෙතත් මේ මොහොතේ අලි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ දේහය රෝහලේ සිට නිවෙසට රැගෙන එමින් සිට එම ස්ථානයට පැමිණීමත් සමඟ තත්ත්වය උත්සන්න වනු පෙණිනි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ පොරොන්දුව අනුව එම ස්ථානයට පැමිණි මියගිය අයගේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත විරෝධතාකරුවන් විසිර ගියේය. 

පොරොන්දු වූ පරිදි ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම ඉටු කිරීම බලධාරීන්ගේ යුතුකමය. නොඑසේනම් ගම්මුන් ඒකරාශී වීම නැවැත්විය නොහැකිය. ඒ වෙනුවෙන් දැනටමත් ඔවුහු සූදානම්ය. 

► සමන්ත ප්‍රදීප් විල්තෙර
     පසුබිම් වාර්තා හා සේයාරුව -   සමන් පාලිත නානායක්කාර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00