මනුෂ්‍යත්වය වචනයේ පරිසමාප්ත අරුතින්ම දැන හඳුනාගත් මිනිසුන්ට සේම කලාකරුවන්ට ද ජාතිආගම් කුලභේද වලංගු නොවන වග අපි විශ්වාස කරමු. කලා කෞශල්‍යයත් නිර්මාණශීලීත්වයත් ආගම නම් පටු සීමාවට ඔහු ලඝු නොකළේ එබැවින් යැයි අපට සිතුණේ බුද්ධ ප්‍රතිමා මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන ද ප්‍රතිනිර්මාණය කරන කිතුණු භක්තික මේ අපූරු කලාකරුවා මුණගැසුණු ඇසිල්ලේදීය. මාරවිල කුරුස පල්ලිය පාරේ පදිංචි බී.එල්.ඩී. ෆීලික්ස් මහතා උපතින්ම කතෝලිකයෙකි. නමුත් ඔහුගේ ගෙවත්ත පුරාම ඇත්තේ ඔහු අතින් නිර්මාණය වූ ඓතිහාසික සිද්ධස්ථානවල අනුරුය. නත්තල් අසිරිය මුළු මාරවිල නගරය පුරා වෙලාගන්නා මේ කාලයේදී අපි ෆීලික්ස් සොයාගෙන ඔහුගේ නිවෙසට ගොඩවැදුණෙමු.
“මම කතෝලික කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මම ඔය එක එක විසිතුරු බඩු මැටිවලින් එහෙම හැඳුවා. ඒ වුණාට මෙහෙම ඓතිහාසික සිද්ධස්ථාන හදන්න කියලා එහෙම මගේ අදහසක්වත් තිබුණේ නෑ. මගේ යාළුවෙක් එක්ක මම 2012 අවුරුද්දේ පෙබරවාරී මස දිනයක පොළොන්නරු රාජධානි බලන්න චාරිකාවක් ගියා. මගේ ඒ යාළුවා බෞද්ධ කෙනෙක්. කොහොමත් මම කතෝලික කෙනෙක් වුණාට මට බෞද්ධ යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. අනික මම බෞද්ධ ආගමටත් ගොඩාක් ගරු කරනවා.”
තම මිතුරා සමඟ පොළොන්නරු ගිය ගමන ෆීලික්ස්ගේ ජීවිතේ හැරවුම විය. පොළොන්නරු ගමන පුරාම ඒ ඒ සිද්ධස්ථානයන් ෆීලික්ස් හොඳාකාරවම මතකයේ තබා ගත්තේය. පොළොන්නරු චාරිකාවෙන් පසු නිවසට ආ ෆීලික්ස් පොඩි මේසන් හැන්දක්, සිමෙන්ති බදාම, ගල් කැබලි ටිකක් ද ගෙන පොළොන්නරු ගමනේ දුටු ඓතිහාසික සිද්ධස්ථානවල අනුරුව ප්‍රතිනිර්මාණ කිරීමට උත්සාහ ගත්තේය. ඇතැම් නිර්මාණ අසාර්ථක විය. කැඩී ගියේය. නමුත් ෆීලික්ස් තම උත්සාහය අත්නොහැරියේය. හෙමි හෙමීට ඉතා සියුම්ව ඉවසීමෙන් කරනු ලැබූ ඔහුගේ නිර්මාණ කාලයක් යද්දී ඉතා සාර්ථක විය.
“පොළොන්නරු ගමන ගිහින් ගෙදර ඇවිත් දවස් දෙක තුනක් ගතවුණා. එක දවසක් මට මේ නිර්මාණ කරන්න ආස හිතුණා. ඊට පස්සේ තමයි මම මේ ඓතිහාසික සිද්ධස්ථාන හදන්න, බුදු පිළිමත් හදන්න පටන් ගත්තේ. මේ ප්‍රතිනිර්මාණ කරන්න මම අමුද්‍රව්‍ය විදිහට සාමාන්‍යයෙන් තෝරාගත්තේ ඉවත ලන දේවලුත් එකතු කරගෙනයි. ඒ අතරින් ගල් කැබලි, කුඩුණු මල් පෝච්චි කැබලි, ගඩොල් කැබලි වගේ දේවලුත් එක්ක සිමෙන්ති මම මේ වෙනුවෙන් තෝරා ගත්තා. ඒ ගල් පුච්චලා දෙන්නේ මගේ යාළුවෝ...”
මාරවිල යනු කතෝලික පරිසරයට උරුමකම් කියූ වැසියන් ජීවත් වෙන පරිසරයකි. නමුත් ෆීලික්ස්ගේ මෙම නිර්මාණ කිරීමට කතෝලික වැසියන්ගෙන් ලැබුණුයේ ඉමහත් දිරි ගැන්වීමකි. ඔවුන් ෆීලික්ස්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පවා නිවසට ගෙන එති. ගඩොල් පුළුස්සා දීමෙන් ද සහයෝගය ලබා දෙති. ඒ විතරක් නොව ඓතිහාසික සිද්ධස්ථානවල ඡායාරූප හෝ සිතුවමක් ලැබුණු විටද එය ෆීලික්ස්ට දීමට තරම් ඔවුන් නිහතමානී වෙති. ෆීලික්ස් ඓතිහාසික සිද්ධස්ථාන නැරඹීමට බොහෝ ප්‍රියතාවයක් දක්වයි. ඒ ගමනේදී ඔහු එවැනි සිද්ධස්ථාන ඡායාරූප ගත කරගනී. ඇතැම් නිර්මාණ ඔහු ප්‍රතිනිර්මාණයන් කරන්නේ තම සිතේ ඇඳි මතකයන්ට අනුවය.
“ෆොටෝ ගහලා කරනවාට වඩා මම දැන් ඒ නිර්මාණ කරන්නේ දැකපු මතකයනුයි. ඉන්දියාවේ වගේ තියෙන ඓතිහාසික සිද්ධස්ථානනම් මම ඔය පොත්පත්වල තියෙන පින්තූර දිහා බලාගෙන තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ... එහෙම කරද්දී සමහර තැන් කැඩෙනවා... ඒත්... මම ඒ බාධා ගැන එච්චර හිතන්නේ නෑ... ඕනෑම දෙයක් එහෙමනේ... මොන දෙයක්වත් ලේසියෙන් කරන්න බෑ...”
ෆීලික්ස් මහතා තම නිර්මාණ පිළිබඳව එසේ අදහස් දැක්වීය.
ඉතා සියුම්ව කරනු ලබන මෙම නිර්මාණ සඳහා ඔහුට වටිනාකමක් තීරණය කරන්නට බැරිය. වසර ගණනාවක් පුරාම කළ මෙම නිර්මාණ වෙනුවෙන් බොහෝ දෙනෙකු මිල නියම කළ ද ෆීලික්ස් ඒවාට මිලක් නියම නොකළේය. මේ වනතුරු ෆීලික්ස් තම දෑතින් නිර්මාණ කළ ඓතිහාසික සිද්ධස්ථාන අනුරු විකුණා මුදල් ගෙන නොමැත.
“මම මුලින්ම කරපු අභයගිරිය චෛත්‍ය දැකපු කෙනෙක් ඒ කාලේ මට රුපියල් තුන්දාහක් දෙන්න කැමති වුණා. ඒත්... මම ඒකට අකමැති වුණා. එකපාරම රුපියල් තුන්දාහක් දෙන්න තරම් ඒ මනුස්සයා කැමති වීමම මාව මේ ප්‍රතිනිර්මාණ තව තවත් කරන්න කැමැත්ත ඇති වුණා. ඊට පස්සේ තමයි මට මේකට තව උනන්දුව ඇතිවුණේ... අදටත් මේ නිර්මාණ දකින්න එන බොහෝ දෙනා මගෙන් ඒවා සල්ලි දීලා ගන්න අහනවා... ඒත්... මේ දේවල් සල්ලිවලට විකුණන්න මම කැමති නෑ... මේක මගේ රස්සාව නෙමේ... ඇත්තටම මේ ඓතිහාසික සිද්ධස්ථාන ප්‍රතිනිර්මාණය කිරීමෙන් මම ලොකු සතුටක් දැනෙනවා. ඒ කරපු නිර්මාණ හැමවෙලේම මගේ ඇස්මානයේදී දකිද්දී මගේ හිතට සැනසීමක් දැනෙනවා...”
ෆීලික්ස් මහතා එසේ කීය.
2011 අවුරුද්දේ සිට ඔහුගේ තිබුණු උනන්දුව මතම ෆීලික්ස් එවැනි ඓතිහාසික සිද්ධස්ථාන අනුරූ මවන මෙම කලාකරුවා අනුරූ දහසක් පමණ ප්‍රතිනිර්මාණය කළේය. කතෝලික හිතමිතුරන්ගෙන් මෙන්ම මාරවිල ප්‍රදේශයේ බෞද්ධ හිතවතුන්ගෙන් ද ෆීලික්ස්ගේ නිර්මාණයන්ට හොඳ ඇගයීමක් ලැබුණේය. ඒ අතර ගමේ පන්සලේ අමරවංශ හාමුදුරැවන්ගෙන් ද ෆීලික්ස්ගේ නිර්මාණවලට ආශිර්වාද හිමි විය. දිනක් අමරවංශ හිමි ෆීලික්ස්ගේ නිවසට වැඩම කළේය. නිර්මාණ දැක ඒවා අගය කළ අමරවංශ හාමුදුරුවන් ෆීලික්ස්ට යෝජනාවක් ද කළේය. එනම් මෙම ඓතිහාසික සිද්ධස්ථාන අනු නිර්මාණ එකතුව ප්‍රදර්ශනයන් කිරීමයි. ඒ අනුව 2011 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ගමේ පන්සලේ මෙම කිතුණු කලාකරුවාගේ දෑතින් නිර්මාණ වූ ඓතිහාසික සිද්ධස්ථාන අනුරූ නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කළේය.
ෆීලික්ස්ගේ බෞද්ධ හිතමිතුරන් එවැනි ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගන්නට යන සෑම අවස්ථාවකදීම ෆීලික්ස්වද ඒ සඳහා එකතු කරගනී. සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමෙන් අනතුරු ෆීලික්ස්ගේ රාජකාරිය වන්නේ එවැනි සිද්ධස්ථානවල ඇති සියුම් තැන්වල දළ සැලැස්මක් තම හිතේ මෙන්ම කුඩා පොතක සටහන් කරගැනීමයි. පොළොන්නරුවේ ද ෆීලික්ස් මෙම අනුරූ ප්‍රදර්ශනය කළේය. ඒ ප්‍රදර්ශනය දින කිහිපයේදී ද නන්දෙසින් පොළොන්නරුවට ආ බැතිමතුන්ගෙන් මෙම කිතුණු කලාකරුවාට ප්‍රශංසා ලැබුණි.
“මගේ අයියා පල්ලියේ පියතුමෙක්. මගේ නිර්මාණ දැකපු මගේ අයියා මට ගොඩාක් ප්‍රශංසා කළා. “ඔයාව යවන්නනෝනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට* කියලා තමයි අයියා කිව්වේ. අයියාගෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබුණා. පල්ලියේ පියතුමන්ලා වගේම පන්සලේ භික්ෂූන් වහන්සේලාත් මගේ නිර්මාණවලට ආශිර්වාද කරනවා. එක නිර්මාණයක් කරලා ඉවරවෙන්න මට කොහොමත් දවස් පහක් හයක් විතර යනවා. සමහරදාට රෑ දොළහ, එක විතර වෙනකනුත් මම වැඩ කරනවා. පාසැල්වල ප්‍රදර්ශනවලටත් මගේ මේ නිර්මාණ පාසැල්වලින් ඇවිත් අරගෙන යනවා. ඒ විතරක් නෙමේ සමහරදාට ගුරුවරු පාසැල් දරුවන් ද වාහනවලින් මගේ නිර්මාණ පෙන්නන්න ඒවා කියලා දෙන්න අපේ ගෙදරට එක්කගෙන එනවා. ඒ හැමදෙයක්ම මට සතුටක්...”
මේ වනවිට ෆීලික්ස් විසින් කළ නිර්මාණයන් අතරින් මැදිරිගිය වටදාගෙය, අභයගිරි චෛත්‍යය, ජේතවනාරාමය, ලංකාරාමය, වටදාගෙය, ථූපාරාමය, සීගිරිය මෙන්ම සුන්දර නුවරඑළිය ද විශේෂ තැනක් ගනී. ඓතිහාසික සිද්ධස්ථාන තම දෑතින් ප්‍රතිනිර්මාණය කරනා කිතුනු කලාකරුවාගේ ඊළඟ අනුනිර්මාණය ද තමත් සුවිශේෂී සිද්ධස්ථානයන් වනවාට කිසිඳු සැකයක් නැත.
( විශේෂ ස්තූතිය
ප්‍රභාත් ඉන්දික රාජපක්ෂ මහතා
මාරවිල නගරය - ග්‍රාමනිලධාරී )
►දිශානි ජයමාලි කරැණාරත්න
සේයාරූ I සුමුදු හේවාපතිරණ