2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කම්මැලිකමේ මුනිවර පැවැත්ම

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 272

කම්මැලිකම... කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප‍්‍රවණතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරුද්දක් නෑ. සමාජයක් විදිහට කම්මැලිකම සාරධර්මයක් කරගන්න කොහෙත්ම හැකියාවක් නෑ.

ඒත් ලෝකෙ හැම දියුණුවක්ම සිද්ධවෙන්නෙ කම්මැලිකම වෙනුවෙන්. උදාහරණ විදිහට තාක්‍ෂණය දියුණු වෙන්නෙ අපිව වඩාත් කම්මැලි කරන්න. වැඩ පහසු කරන්න. ඒත් අපි ඒ ඉතුරැවෙන කාලෙත් අරන් තවත් කැම්මලි වෙන්න මහන්සි වෙනවා. එක විදිහකට අපි ජීවත් වෙනවා කියන්නෙ කම්මැලි වෙන්න මහන්සි වෙන එක. ඒක පැරඩොක්ස් එකක්. වැඩකරන ගොඩක් අයගෙ එකම හීනෙ කීයක් හරි ඉතුරු කරගෙන වැඩවලින් නිදහස් වෙන එක.

කම්මැලිකමේ තියෙනවා වෙනස් විදිහක ගැඹුරක්. හුදකලාවක්. භාවනාවක්. සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලියාගෙන යද්දි අදාළ සෝස් එකක දිනයක් වෙලාවක් නිශ්චිත කරගන්න අනිත් ටැබ් එක ඕපන් කරන්න කම්මැලියි. ඒක එච්චර අදාළ නෑනෙ කියල අත්ඇරලා දානවා. ඒ වගේ තැනකදි කම්මැලිකම හානිකර වෙන්න පුළුවන්. ඒත් ඒ හානියට වඩා කම්මැලිකමේ අත්දැකීම ගොඩක් වටිනවා.

ඒ සාන්තුවර කම්මැලිකම ඉගෙනගන්න හොඳම ගුරුවරයා පූසා. පූසෙක් තරම් ලස්සනට කම්මැලිකමේ පැවැත්ම පෙන්නන වෙන කිසි සතෙක් නෑ. පූසාගේ හැම ඉරියව්වකම තියෙන්නෙ කම්මැලිකමේ සහ ඉවසීමේ භාවනාවක්.

කම්මැලි වෙනවා කියන්නෙ කරන්න මැලිවෙනවා කියන එක. ක‍්‍රියාවට මැලි වෙන එකට. ක‍්‍රියාවෙන් නිදහස්ව බලා ඉන්න එක. ඒක වෙනස් ඩයිමෙන්ෂන් එකක්. කම්මැලි වීමේ ආර්ට් එක දන්නෙ නැති අය ජීවත්වෙන්නෙ ක‍්‍රියාව ඇතුලෙ විතරයි. මම කරමි. ඒ නිසා මම පවතිමි. නොකිරීම ඇතුළෙ පැවැත්ම කියන එක මනස සහ සමාජය විසින් අපිට අහිමි කරපු වෙනම කලාපයක්. ඒක මමත්වයෙන්, කාලයෙන් තොර පැවැත්මක්. සමාජයීය හෝ ‍පෞද්ගලික හෝ නොවන අවකාශයක්.

කම්මැලි වෙන්න ඉගෙන ගන්න හෝ කම්මැලි වෙන්න පුරුදුවෙන්න කියල මේ කතාව ඉවර කරන්න බෑ. මොකද කම්මැලි කියන්නෙම නොකිරීමක් හින්ද. ඒක නිසා හරිම වචනෙ කම්මැලි වෙන්න කියන එක විතරයි. ඒක වීමක්. කරන්න බැරි දෙයක්. විශේෂයෙන්ම නිර්මාණශීලී වෙන්න නම් කම්මැලිකම තියෙන්නම ඕන ගුණයක්. කම්මැලිවීම ඇතුළෙ හැදෙන ඩිටෑච්මන්ට් එක, නැත්තම් ඔරලෝසුවෙන් සහ රූලෙන් පිට පැනලා බලන්න පුළුවන් ගතිය තමයි ක‍්‍රියේටිව් බවක මූලික ලකුණ. නැත්තම් දිගටම සිද්ධවෙමින් යන්නෙ රිපිටීෂන් එකක්. ඒත් කම්මැලිකම කියන එක කාලකන්නිකම දක්වා යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඒක ආස්වාදනීය පැවැත්මක සීමාවෙ විඳිනවා කියන්නෙ ක‍්‍රියේටිව් ලේසිනස් එකක්. ලේසිනස් කියන ඉංග‍්‍රීසි වචනෙ නිකන්ම සිංහලෙන් ලියලා බැලුවම එන තේරැමත් ලේසි - පහසු කියන එකමයි (ඒත් ඒක අහම්බයක්). කොහොම වුණත් කම්මැලිකම සහ නිර්මාණශීලීත්වය අතර තියෙන ධනාත්මක සම්බන්ධය මේ වෙද්දි පර්ය්‍ෙෂණ කරලා ඔප්පු කරලා තියෙන එකක්. ඒත් කිසිම කෙනෙකුට කම්මැලි වෙන්නෙ මෙහෙමයි කියලා තව කෙනෙකුට කියල දෙන්න හැටියක් නෑ. ඒක බුද්ධත්වය වගේම තමන් විසින් සාධනය කරගත යුතු තත්ත්වයක්.

දැන් මේක වුණත් තවදුරට විස්තර කරගෙන යන එක මට කම්මැලියි. ඒක නිසා මම මෙතනින් නවතිනවා. මේක කියවගෙන යනඑක කෙනෙකුට කම්මැලි වුණත් ඒක නරකක් නෙමෙයි. මේක කියවන එකට වඩා ඒ කම්මැලිකම විඳින එක වටිනවා. අනෙක් අතට මගේ ලිවීම ඇතුළෙ එහෙම කම්මැලි වෙන්න ඉඩක් හැදෙන එක ගැන මං ආඩම්බර වෙනවා.

►චින්තන ධර්මදාස

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00