2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කාබේරියෝ අපේ ගෙදරටම අැවිත් ගෑනු ඉන්නවාද කියලා අැහැව්වා

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

1931 වර්ෂයේ සැප්තැම්බර් මස තිස් එක් වැනිදා අරම්භ වූ දෙවැනි ලෝක යුද්ධය නිමාවට පත්වූයේ නවසිය හතළිස් පහේ සැප්තැම්බර් මස දෙවැනි දිනය. ඒ මේ ලෝකයට මිනිස් ජීවිත ලක්ෂ පන්සියයක් පමණ අහිමිකොට හා අප්‍රමාණ වූ දේපළ හා ධන සම්භාරයක්  විනාශ  කරමිනි. ශ්‍රී ලංකාව ද මේ යුද්ධයේදී යුද මධ්‍යස්ථානයක් ලෙස බ්‍රිතාන්‍යයෝ යොදා ගත්හ. බ්‍රිතාන්‍ය සතු පෙරදිග යටත් විජිත ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට තිබූ හොඳම යුද මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වීම ඊට හේතු විය.

 බ්‍රිතාන්‍ය සිය යුද හමුදා බල ඇණි ශක්තිමත් කර ගැනීමට යටත් විජිත රටවල ජනතාව ද බඳවා ගත්තේය. බ්‍රිතාන්‍ය හමුදාවට එසේ බඳවා ගත් දකුණු අප්‍රිකානු ජාතික යුද සෙබළුන් අපේ රටට ද ගෙනැවිත් තිබේ. ශ්‍රී ලාංකිකයන් ඒ හමුදාව හඳුන්වා ඇත්තේ කාපිරි හමුදාව වශයෙනි. කාපිරි හමුදාව ගැමියන්ගේ මුවඟට පත්ව ඇත්තේ  කාබෙරි හමුදාව වශයෙනි. 

මේ කාපිරි හෙවත් කාබෙරි හමුදාවේ සෙබළුන් මිනී මස් බුදින බවත්, ඒ නිසාම ඔවුන්ගේ කටට ඉබ්බන් දමා එහෙ මෙහේ රැගෙන ගිය බවත් අප කුඩා කල අසා ඇතත් එවැන්නකු ජීවිතේට දැක නැත. කාපිරි හමුදාව දෑසින් දුටු අය අද ජීවතුන් අතර සිටිත් නම් ඒ ස්වල්ප දෙනෙකි.

අපට එවැනි තැනැත්තිකයක ගල්ගමුව, මහගල්කඩවල ප්‍රදේශයේදී හමුවිය. එච්. එම්. මැණික්හාමි මාතාව ඇයයි. දරුවන් එකොළොස්දෙනකු මෙලොවට බිහිකළ ඇය මේ වනවිට අනූනම වැනි වියේ පසුවෙයි. “ගමේ ඇත්තන්ගේ රස කතා”අද අපි මේ වයෝවෘද්ධ මාතාවගෙන් අසමු.

අම්මා කාපිරි හමුදාව දැකලා තියෙනවා කියනවානේ. අපි එතැනින්ම කථාව පටන් ගමුද? මම මේ වයෝවෘද්ධ මාතාවට යෝජනා කළෙමි. 

ඔය කියන කාලේ වෙනවිට මට වයස අවුරුදු දොළහක් දහතුනක් විතර ඇති. යුද්දෙට තමයි කාබේරියන් ගෙනත් තියෙන්නේ. උන් ලොරිවල දාගෙන එහාට මෙහාට අරන් යනවා. කාබේරියෝ අරන් එනවා කීවාම අපේ අම්මලා, නැන්දලා, ගෑනු ළමයි වූ අපි එක කාමරයකට දානවා. තාත්තා දොර පොල්ල තියාගෙන දොරකඩ ඉන්නවා. ගෑනුන්ට කරදර කරනවා කියන කථාවට තමයි එහෙම කළේ. ඒ දවස්වල කාබේරියන්ට පුදුම බයක් අපි තිබ්බේ.

දවසක් අපේ ගෙදරටත් කාබේරියෝ ආවා. අපි අර විදිහට හැංගුණා. උන් අත් දෙක පපුවට තියලා ඇඟිලි කරකවමින් තාත්තාගෙන් අහලා තියෙනවා ගෑනු අය කෝ කියලා. තාත්තත් අතින්ම කියලා තියෙනවා නෑ කියලා. උන් ආපහු ගියා. අපි හොරෙන් බලාගෙන හිටියා. ඒ මිනිස්සු කළුම කළුයි. කොණ්ඩය බොකුටු ගැහැලා. උස මහතයි. කටට ඉබ්බෝ දාලා. මහපාර අද්දර ගෙවල්වලට තමයි වැඩිපුර එන්නේ. අපි ඒ මිනිස්සුන්ට බය තිබ්බට කරදරයක් කළා කියලනම් අහන්න ලැබුණේ නෑ.

කාබේරියන් විතරක් නෙමෙයි පන්ජාබ් කාරයොත් යුද්දෙට ගෙනත් හිටියා. ඒ අය නම් අපේ වැව් පිටියේ වාඩි ගහගෙනත් උන්නා. උයාගෙන කෑවේ. මිරිස් අඹරන්න ඕන වුණාම ගම් මැද්දට එනවා. ඒ අයට කුරුම්බා ගෙඩියක් වාගේ දෙයක් දුන්නාම අපට වේලපු අර්තාපල්, පාන් පිටි දෙනවා. වැව් පිටියේ වළවල් කපාගෙන තිබුණා. අහස් යාත්‍රාවක් එන ශබ්දය ඇහුණාම උන් අර වළවල් ඇතුළට බැහැලා තුවක්කු මානගෙන ඉන්නවා.

ඔය යුද්දෙ කාලේ අනුරාධපුර පාරේ සුද්දෝ නිතර නිතර ආවා ගියා. වාහනවලින් තමයි යන්නේ එන්නේ. පාර අයිනේ තියෙන වෙල් (කුඹුරු) ළඟ වාහන නතර කරලා තුවක්කු අරන් වෙලට යනවා. ඒ ගිහින් කුරුල්ලන්ට වෙඩි තියලා පාරට අරන් ඇවිත් ශුද්ධ කරලා එතැනම තියාගෙන බැදලා කනවා. සුද්දන්ට අපි බය නෑ. උන් ආපුදාට පුංචි ළමයි ළඟට යනවා. එහෙම ගියාම සුද්දෝ ශත දහයේ රිදී කාසි උඩ දානවා. අපි පැනලා ඒවා අහුලා ගන්නවා. සුද්දන්ට ඒක විනෝදයක්.

දවසක් සුද්දෝ කීප දෙනෙක් අපේ ගෙදරට ආවා. ඒ එනකොට අම්මා පිට්ටුවලට පිටි අනමින් හිටියා. සුද්දන් ගෙට ගොඩවෙනකොට අම්මා අනමින් හිටි පිටි එක අරන් ගේ ඇතුළට ගියා. සුද්දෙක් ඇහුවා ඒ මොනවද ඇතුළට අරන් ගියේ කියලා. අම්මා ආයි පිටි එක ගෙනාවා. ඒක දැකපු සුද්දෝ අහනවා මේවාගේ පුංචි ගුලි හදන්න කොච්චර කාලයක් ගියාද කියලා. කුරහන් පිටි පිට්ටුවලට අනනකොට පුංචි මුං ඇට ගුලි හැදෙනවනේ. පිටි අනනකොට ඉබේම ගුලි ගැහෙනවනේ. සුද්දෝ හිතුවේ පිටි ටික ටික අරන් වෙනම ගුලි කරනවා කියලා.

ඊට පස්සේ මේ ගුලි කාලා වැඩ කරන්න බෑ කියලා පහුවදාම අපේ ගමට පාන්පිටි ගෙනත් බෙදලා දුන්නා

කසාද බඳිනවිට අම්මගේ වයස කීයද? යි මම ඇගෙන් ඇසුවෙමි. 

කසාද බඳිනකොට මගේ හරි වයසනම් අවුරුදු දාහතරයි. ඒත් කසාද කොළේට (විවාහ සහතිකය) මගේ වයස විදිහට දැම්මේ අවුරුදු පහළොවයි කියලා. කසාදේ ඉක්මන් වුණෙත් යුද්දෙ හින්දා. යුද්දෙට අපේ රටේ කොල්ලොත් බඳවා ගත්තා. අවුරුදු දහ අටට වැඩි කසාද නොවිච්ච (විවාහ නොවූ) කොල්ලො තමයි හමුදාවට බඳවා ගත්තේ. කැමැත්ත අකැමැත්ත බැලුවේ නෑ.

ඒ වෙනකොට අපේ පුතාලාගේ තාත්තා (සැමියා) තරුණයා. දහ අට පැනලා. ඒත් කසාදයක් කරගෙන නෑ. දහ අටට වැඩි කසාදයක් නොබැඳපු අය හමුදාවට බඳවා ගන්න නිසා උන්දැට ඕන වුණා මාව ඉක්මණින් විවාහ කර ගන්න. ඒක හින්දා මගේ වයස වැඩියෙන් දාලා කසාද බැන්දා.

දෙදෙනාගේ විවාහ මඟුල සිදු වූයේ කෙසේදැයි අප විමසූවිට ඇය දුන් පිළිතුරයි මේ.

ඒ කාලේ විවාහ ලේකම් මහත්තයා හිටියේ මොන්නම්කුලම ගමේ. අපි එහාට ගියේ බක්කි කරත්තයෙන්. එයයි මායි දෙන්නා කරත්තේ නැගලා ගියා. නෑදෑයෝ පයින් ආවා. හවසට නෑදෑයන්ට අපේ ගෙදරට එන්න කීවා. එතකොට අපි හිටියේ වෑකන්ද පාමුල ගමේ. ඒ කොටසට කීවේ ඉහළ ගම්මැද්ද කියලා. පවුල් පහළොවක් විතර තමයි ඉහළ ගම්මැද්දේ හිටියේ. අපි ඔක්කොම නෑදෑයෝ. ඉතිං හවස නෑදෑයෝ අපේ ගෙදර ආවා. ඒ එනකොට තෑගි වශයෙන් ගෙනාවේ හාල්, පොල් වාගේ දේවල්. ඒවා තමයි ඒ කාලේ තෑගිවලට දෙන්නේ.

අම්මට දරුවෝ එකොළොස් දෙනෙක් හිටියා කියනවනේ. ඉතිං කොහොමද දරුවන් ටික හදාවඩාගෙන ලොකු මහත් කළේ? මම ඇගෙන් ඇසුවෙමි.

දරුවන් එකොළොස් දෙනෙක් බිහි කළා තමයි පුතේ. මගේ පළමු දරුවා ඉපදිලා ජීවත් වුණේ දවස් විසි ගාණක් විතරයි. ඒ දරැවා මිය ගියා. පිරිමි දරුවෙක්. පළමු දරැවා ලැබෙනකොට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. ඊළඟට දුවක් ලැබුණා. එයාට දැන් වයස හැත්තෑ තුනයි. දරුවන් හදාගන්න හරි දහිරියක් (වෙහෙසක්) ඇල්ලුවා.

උදේ පාන්දර නැගිටලා පිට්ටු දෙකක් තම්බනවා. එකක් උදේට කන්ඩ. අනිත දවල් කෑමට හේනට අරන් යන්ඩ. පිට්ටු කන්ඩ වෑංජනේකුත් හදන්ඩ එපායෑ. පිපිඤ්ඤා, වට්ටක්කා, මෑ කරල්, වැටකොලු වාගේ එළවළුවක් තෙල් අබ දාලා හදාගන්නවා. ඒ කාලේ දඩමස්, වැව් මාළු, දුම් කරවල හොඳට තිබුණා. දඩයක්කාරයෙක් ළඟට ශත පනහක් අරන් ගියාම මස් කොරහක් විතර දෙනවා. වැව්වල වතුර අඩුවෙන කාලයට පුතාලාගේ තාත්තා මාළු අල්ලාගෙන එනවා. කරක් ගහලා (කරකෙන්) තමයි මාළු අල්ලන්නේ. වැඩිපුර ඇල්ලුවාම ශුද්ධ කරලා දුම් මැස්සේ දානවා. 

අපි ඒ කාලේ රෑට විතරයි වැඩිපුර බත් කෑවේ. උදේට කුරහන් පිට්ටු, හරි රොටි හරි තමයි කෑවේ. හේන්වල, වත්තේ පිටියේ එළවළු වවා ගත්තා. වැවි පිටිවල පලා වර්ග තිබ්බා. ඒවායෙන් අහේනියක් (හිඟයක්) නෑ. දරුවෝ උස් මහත් කළේ ඕවා කන්ඩ දීලා තමයි. මටත් ඉතිං මව් කිරිවල හිඟයක් නෑ. දරුවෝ දහ දෙනාටම මව් කිරි තමයි දුන්නේ.

ඒ කාලේ බඩුවල මිලත් අඩුයිනේ  සීනි ශත දහයකුයි, තේ කුඩු ශතයකයි අද හවහට ගෙනාවොත් ඒවා හෙට හවහ වෙනතුරු ඇති. පරිප්පු ගෙනාවොත් ශත දහයක ගේන්නේ. කුම්බලා කරවල පැටව් දෙන්නෙක් ශතයට ගන්ඩ පුළුවන්. හැබැයි සල්ලි පනම් හිඟයි.

අපේ මුල් ගෙවල් තිබුණේ ගල්කල්ලේ වැව පාමුලනේ. අම්මාගේ මල්ලිලා දෙන්නෙකුගෙයි අපේ ගේයි මේ ගෙවල් තුනම වටේට තිබුණේ. මැද මිදුල. එක ගෙදරක වෑංජන දෙකක් ඉව්වොත් අනිත් ගෙවල් දෙකටත් දෙනවා. එතකොට වෑංජන හයක් කෑමට ලැබෙනවා. පිට්ටු, රොටි උයපුවිටත් මෙහෙම බෙදා හදාගෙන කනවා. හේන් කරපු කාලයට හේන්වල පැල් රකින්නත්, කුඹුරු කරන කාලෙට කුඹුරු රකින්නත් පිරිමි අය රූට පැල් යනවා. එතකොට ගෙවල්වල ඉතිරි වන්නේ ගෑණු අයයි ළමයින් ටිකයි විතරයි. හැබැයි  කිසිම කරදරයක් නෑ.  හොරුන් හිටියේ නෑ. ගමේ ඇත්තෝ හොඳ සමගියෙන් හිටියා.

ඒ කාලේ ගමන්බිමන් ගිය ආකාරය ගැනත් ටිකක් විස්තර කරමුද? යි මම යෝජනා කළෙමි.

ඒ කාලේ ගම්වල බයිසිකල්, ට්‍රැක්ටර්, කාර් වාහන තිබුණේ නෑනේ. ගමකට තිබුණ ලොකුම වාහනය තමයි ගොන් කරත්තේ. ඒකත් ගමේ හැමෝටම නෑ. අපි අටමස්ථානේ වඳින්න අනුරාධපුරේ ගියෙත් කරත්තවලින්. පාන්දර නැගිටලා උයාගෙන බත් මුලක් (පාර්සලයක්) උදේට කන්ඩ බැඳගෙන ගෙදරින් හයට විතර පිටත් වෙනවා. තාර පාරවල් තිබුණේ නෑ. කලා ඔය ළඟට ගිහින් මූණ කට හෝදාගෙන එතැන උඩමළුවට බාර වෙලා පඬුරැ බඳිනවා. තඹුත්තේගම කිට්ටුවට ගිහින් තමයි උදේට බත් කන්නේ.

කෙනෙකු ජීවත්ව සිටියදීම තුන් මුනුබුරන් දැකීමට ලැබීම කලාතුරකින් සිදුවන්නකි. ඊට වාසනාවක්, පුණ්‍යවන්තකමක් ද තිබිය යුතුය. මැණික්හාමි මාතාවට ඒ වාසනාව හිමිව තිබේ. ඇය මේ වනවිට තුන් මුනුබුරන්  දැක ඇති වාසනාවන්ත මාතාවක වී සිටින්නීය. ඇගේ දෙවැනි දියණියගේ දරුවකුගේ දරුවකුට ලැබුණු දරුවෙකු නිසා තුන් මුනුබුරන් දැකීමට මැණික්හාමි මාතාවට හැකිව තිබේ.

දැන් මගේ අතපය ටිකක් වලංගු නෑ. යන්ඩ එන්ඩ ටිකක් අමාරුයි. මෙහෙමවත් ඉන්නේ ඒ කාලේ අපි කාපු බීපු දේවල්, රෑ දවල් නැතිව කරපු වැඩ, පිං කටයුතු නිසා. අද වගේ වස විෂ දාපු කෑම නෙමෙයිනේ එදා අපි කෑවේ. යි ඇය අවසන්වරට කීවාය. 

ස්තූතිය  - මහගල්කඩවල, ජයලන්ද පදිංචි කේ. ඩී. තිලකරත්න මහතාට.
ගල්ගමුව නිහාල් ජයවීර

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00