2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ගැස්සිලා ගිය කොළඹ ලස්සන

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 273

නාගරික සංවර්ධනය මේ වනවිට නැවතත් කථාබහට ලක්ව ඇත. පුංචි ඡන්දයට දින ලබා දීමත් සමඟම දේශපාලන පොර පිටියේ ද බොහෝ අපේක්ෂකයින් තම තමන් සිදුකළ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ කථා කිරීම් මෙන්ම එකිනෙකාට චෝදනා කර ගැනීම් ද මේ දිනවල අපට ඇසීමට දැකීමට ඇත. පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ කොළඹ නගරයේ සංවර්ධනය වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ ලප් තැනම ලොප් වී ඇති බවට ජනතාව ද කසුකුසු ගෑමට පටන්ගෙන තිබේ. සෑමදෙසින්ම ඇසෙන මෙම කොළඹ නාගරිකයේ සංවර්ධන කටයුතු පිළිබඳව අප සොයා බැලීමට තීරණය කළේ එබැවිනි.

රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු බොහෝමයක් රාජ්‍ය ආයතන පිහිටා ඇත්තේ කොළඹ නගරයේය. මේ නිසා කොළඹ නගරයේ වාසය කරන ජනයාට අමතරව තවත් විශාල පිරිසක් දිනපතාම රැකියා කිරීමට මෙන්ම වෙනත් සේවා සලසා ගැනීමට කොළඹ නගරයට පැමිණෙති. නමුත් පෙර කොළඹ තිබූ තත්ත්වය අද වනවිට දකින්නට නොමැති බව කියමින් බොහෝ දෙනා මැසිවිලි නගති.

කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පිටකොටුව බස් නැවතුම්පොළ දක්වා වූ පදික වේදිකාව මේ වනවිට ජංගම වෙළෙඳුන් විසින් බදුගෙන ඇති අතර ජනතාව එම පදික වේදිකාවේ ගමන්කළ යුත්තේ ඉතා සීරැමාරැ ක්‍රමයටය. එමෙන්ම පසුගිය රජය විසින් පදික වේදිකාවේ වෙළඳාම් කරන්නන්ට ලබාදීමට ඉදිකළ වෙළෙඳ සංකීර්ණය අද වනවිට හිඟන්නාගේ සහ ගවයන්ගේ පරාදීසයක් බවට පත්වී ඇති අයුරු අප කළ සංචාරයේදී පෙනී ගියහ.

පසුගිය රජය මගින් දින හැටකදී ඉදිකර නිමකළ කැලණිය ගුවන් පාලමෙහි එක් මංතීරුවක් අලුත්වැඩියාව සඳහා වසා මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් එහි වැඩ නිමා වී නොමැති අතර හවස් කාලයේ පෑලියගොඩ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කිරීමට පැයකට අධික කාලයක් ගතවන බවටද බොහෝ පිරිස් කතා කරන්නේ චෝදනා මුඛයෙනි.

එමෙන්ම පසුගිය කාලයේදී කොළඹ සහ අවට කුණු එකතුවීමත් සමඟ ජනතාව මහත් වූ අර්බුදයකට මුහුණ පෑ අයුරු මෙන්ම ජනතාව කැළිකසළ රැගෙන නොයෑම හේතුවෙන් සහ එම කැළිකසළ දමන ස්ථානවල අවට සිටින ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන අයුරුද අපට දැකගත හැකිවිය.

කොළඹ නගරය වූ කලී මුඩුක්කු නිවසේ ජීවත්වන අන්ත අසරණයාගේ සිට අහස උසට ඉදිවූ විසල් මන්දිරවල වෙසෙන මහා ධනපතියන් දක්වා වූ විවිධ සමාජ පන්තීන්ට අයත් වූ ජනතාවක් වෙසෙන නගරයක් බව අප කවුරුත් දන්නා කාරණයකි. නමුත් කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ හඳුන්වන්නේ කොරියාව, සෝමාලියාව, ඉතියෝපියාව වැනි නම්වලිනි. මේවායේ වෙසෙන ජනතාවට පසුගිය කාලයේ මහල් නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදුන් අතර මේ වනවිට එම වැඩපිළිවෙළ කෙරෙන්නේ මන්දගාමීවය.

වර්තමානයේ කොළඹ නගරයේ කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව කිහිප දෙනෙකුගෙන් දේශයේ අප අදහස් විමසීමු.

ප්‍රියන්ත ප්‍රේමසිරි - රත්නපුර

මම අද කොළඹ ආවේ හදිසි වැඩක් කරගෙන යන්න. මට ස්ටේෂන් එක ළඟ ඉඳලා සී.ටී.බී. බස් ස්ටෑන්ඩ් එකට ළඟට එන්න පැය භාගයක් විතර ගියා. පාරේ හැමතැනම පදික වේදිකාවේ කඩ. ඇවිදගෙන යන්නවත් බැහැ. පෝලිමට ට්‍රැෆික් එකේ යනවා වගේ ඕන අපි පාරේ යන්න. ගිය ආණ්ඩුවෙන් මේ කඩ අයින් කළා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ ආයෙම දාලා. අපි කියන්නේ නෑ ඒ මිනිස්සු වැරදියි කියලා. නමුත් අපිත් පදික වේදිකාවේ යන්න එපැයි. එක්කෝ ඒ මිනිස්සුන්ට ඒවා දාන්න තැනක් දෙන්න ඕන. මේවා කතා කරලා වැඩක් නැහැ.

ටී.කේ. පියසීලි - වේල්ල වීදිය

අපෝ සංවර්ධනය ගැනනම් කතා කරන්න එපා මහත්තයා. බලන්න මේ පාරවල්වල හැටි. හැමතැනම කුණු. ඒ කුණු ගොඩවල් බල්ලෝ, හරක් අවුස්සන් කාලා ඇදලා දාලා හැමතැනම. වැස්ස වෙලාවට මේ පැත්ත මිහිපිට අපායක් වගේ. තට්ටුවල ඉන්න අයට දෙන්න කියලා පහුගිය ආණ්ඩුවෙන් හැදුවේ ඔය ඉස්සරහ තියෙන වෙළෙඳ සංකිර්ණේ. දැන් හදලා කොයි කාලෙද? හිඟන්නොයි, හරක්, බල්ලෝ විතරයි ඉන්නේ. බස් හෝල්ට් එකේ හැටි බලන්නකෝ මහත්තයා. වැස්සට පස්සේ පීනන්න පුළුවන් වතුර වළවල් තියෙනවා.

සුනිල් ජයලත් - පදික වෙළෙන්දෙක්

පහුගිය ආණ්ඩුව සංවර්ධනය සංවර්ධනය කියලා අපිව එලෙව්වා. බිස්නස් එකක් කරගන්න විදියක් තිබ්බේ නෑ. කඩවල් දෙනවා කිව්වට දුන් නෑ. මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ හොඳයි.

රටට එන විදේශිකයන්, විදෙස් ආයෝජකයන් මෙන්ම වෙනත් රාජ්‍යය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ද කටුනායක ගුවන් තොටුපොළෙන් පැමිණ පළමුව පැමිණෙන්නේ කොළඹ නගරයටය. රටේ වෙනත් ප්‍රදේශවලට යන්නේ ඉන්පසුවය. බොහෝ විට නැවතී සිටින්නේ කොළඹ නගරයේ ඇති හෝටල්වලය. රටේ ප්‍රතිරූපයට කොළඹ නගරයේ ඇති සංවර්ධනය ඍජුවම බලපායි. ඒ නිසා කොළඹ නගරය අඩුපාඩු නොමැති නගරයක් බවට පත්කළ යුතුය. ආසියාවේ ආශ්චර්යය කරා රට ගමන් කරවීමට නම් මේ වෙනස ඇතිවිය යුතුය. නමුත් මේ කියන සංවර්ධන මුඩුක්කුවෙන් මහපාරට ඇද දමන එකක්ද නොවිය යුතුය.

හසිත් අංජන
සේයාරූ: සමන්ත විල්තෙර