2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

පෙරදා හමුවී පසුදා ඩෝසර් වූ ත්‍රි’ මලේ ඉපැරණි දාගැබ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 218

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂවල නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්මාරක ගවේෂණයක් ආරම්භ කළේය. එය මුලින්ම  අම්පාර දිස්ත්‍රික්කයටත් ඊට පසු මඩකලපුව දිස්ත්‍රික්කයටත් ව්‍යාප්ත විය. විවිධ බාධක මධ්‍යයේ සිදු කෙරුණු මෙම ගවේෂණයේදී පුරාවිද්‍යා ස්මාරක, සෙල්ලිපි රාශියක් සොයා ගැනීමට ඉඩ ලැබුණු අතර අමු අමුවේ වනසා දැමූ ඉපැරැණි උරුමයන් ද එම ලැයිස්තුවට ඇතුළත් විය.

මේ දිනවල නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ. එම ගවේෂණයට අනුව පුරාවිද්‍යා නිලධාරීන් ලේඛනගත කළ දාගැබ් ගොඩැල්ලක් ත්‍රිකුණාමලයේ සිට කි.මී. 35ක් දුරින් පිහිටි සම්පූර් පොලිස් වසමට අයත් සුඩකුඩා ප්‍රදේශයේ තිබුණි. අඩි 15ක් පමණ වට ප්‍රමාණයෙන් යුත් අඩි 5ක් පමණ උසැති මෙම දාගැබ් ගොඩැල්ල මත විශාල ගස් පවා වැඩී තිබුණි. අනුරාධපුර යුගයේ මුල් කාලයට එය අයත් කළ හැකි බව ගවේෂණය සිදු කළ පුරාවිද්‍යා කණ්ඩායම දල වශයෙන් නිගමනය කර තිබුණි. 

අවුරුදු 1500කට වැඩි ඉතිහාසයක් සහිත මෙම දාගැබට පසුගිය කොටි ත්‍රස්තවාදී සමයේද විශාල හානියක් වී තිබුණේ නැත. පුරාවිද්‍යා නිලධාරීන් පසුගිය දිනවල නටබුන් ස්ථානය ඡායාරූපවලට ද ගෙන තිබුණි. ඒ අසල කුඩා ගලකින් කැපූ පාදම් ගලක් ද දක්නට තිබුණි. නමුත් පසුගිය 18 දා පොලිස් හදිසි ඇමතුම්  අංශයට ලැබුණු පැමිණිල්ලකින් කියැවුණේ සුඩකුඩා ප්‍රදේශයේ තිබූ නටබුන් ස්ථානයක් සම්පූර්ණයෙන් ඩෝසර් කර තිබෙන බවය. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ එය පුරාවිද්‍යා නිලධාරීන් ලේඛනගත කළ දාගැබ බවයි. දාගැබ පිහිටි ස්ථානය සොයා ගැනීමටවත් නොහැකි ලෙස ඩෝසර් මගින් සමතලා කර එහි පස් ද සමතලා ලෙස අතුරා තිබුණි.

මෙය බෞද්ධ නෂ්ටාවශේෂ විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් හෝ මෙහි නිදන් සෙවීමේ තණ්හාවෙන් කළ වැඩක් වීමට ද පුලුවන. සාම්පූර් පොලිස් ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ එහි නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද ඒ ගැන පරීක්ෂණයක් පවත්වයි. තවමත් ඒ ගැන කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එච්. ඒ. සුමනදාස මහතා පැවසුවේ මේ ගැන පරීක්ෂණ පැවැත්වීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් ද පිටත් කර යැවූ බවයි. පසුගිය 20දා භික්ෂූන් වහන්සේ පිරිසක් ද මේ ස්ථානයට ගොස් පරික්ෂා කළ අතර, පුරාවිද්‍යා පොලිස් ඒකකයේ නිලධාරීහු අදාළ ස්ථානයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පොලිසිය පවසයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා ගවේෂණයකට ලක් නොවූ බෞද්ධ නටබුන් රාශියක් පිහිටා තිබේ. පසුගිය වර්ෂයේ ත්‍රිකුණකාමලයේ මාවිල්ආරු, කරදියනාරු ප්‍රදේශවලින් නව සෙල්ලිපි 73ක් (ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 4 සියවස්වලට අයත්) සොයා ගැනීම් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබුණි. 

කනගාටුවට කරුණනම් යුද්ධය පැවති සමයේ ආරක්ෂාවට පැවති නටබුන් ස්ථාන යුද්ධයෙන් පසු යළිත් ජනතාව නිදහසේ පදිංචිවීමට හා වගා කිරීමට පටන් ගත් පසු විනාශ කිරීමට පෙළඹවීමය. මේ නිසා සියවස් ගණනාවක් තිස්සේ පැවතුණු ඉතිහාසයේ නිහඬ සාක්ෂි මකා දැමීමට සමහරු පෙළඹී සිටිති.

උතුරු නැගෙනහිර ස්මාරක පිළිබඳව ගවේෂණය කළ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි අදහස් දක්වමින් කීවේ උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. සමහර ස්ථානවල නටබුන් වනසා කුඹුරු වගාකර ඇති බවද උන්වහන්සේ පැවසූහ.

“තනංගර් ගල්කන්ද හෙවත් පච්චනූර් ආදී ස්ථානවල තිබුණු නටබුන් සියල්ලම වනසා කප්පදරේ අක්කර 50ක පැතිරී තිබුණ නටබුන් සියල්ලමත් විනාශ කරලා. මේ භයානක තත්ත්වය වැළැක්වීමට වහාම කටයුතු කළ යුතුයි.”උන්වහන්චසේ කීහ. 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දැනට ලේඛනගත කර ගැසට් කර තිබෙන්නේ රක්ෂිත ස්මාරක 14ක් පමණි. එහි පුරාවිද්‍යා ගවේෂණය මගින් තවත් ස්මාරක රාශියක් ආරක්ෂිත ස්මාරක ලෙස ගැසට් කිරීමට නියමිතය. මෙලෙස විනාශ කිරීමට ගියහොත් ඉදිරියේදී නටබුන් ඉතිරිවේදැයි සැක සහිතය. ඒ නිසා බලධාරීන් කළ යුත්තේ අපරාධකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමත් වටිනා නටබුන් ස්මාරක රැක ගැනීමට ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහනක් සකස් කිරීමත්ය.

බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ සේරුවිල, ත්‍රීකුණාමලය කොටුව, තිරියාය, ලංකාපටුන, කුච්චිවේලි වැනි ප්‍රකට ස්ථාන ගැන පමණි. ඊට අමතරව කන්දකාඩු, කුලන්තල්ලුමලේ, ඉච්චිලන්පත්තෙයි, ගල්කුලම, තිරුමංගලාව, සේමපුර, දෙහිවත්ත, විලාන්කුලම, කරඹවලාන ඇතුළු නටබුන් ස්ථාන සිය ගණනක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතී. ඒ අතරින් විශාල ප්‍රමාණයක් මහවැලි නිම්නයේ මහවැලි නදිය හා වෙරුගල් ආරුව අතර පිහිටා තිබෙන්නේ පැරණි සේරු සෝම රාජධානිය සිහිපත් කරවමිනි. 

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00