2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

හරියට බිව්වොත් තේ හරිම ගුණයි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 947

උදෑසන අවදි වූ විගස උණුසුම් වතුර වීදුරුවක් බොන්න.

උදෑසන අවදි වූ විගස තේ, කෝපි, වතුර, කෝප්පයක් පානය කළවිට සිතට මෙන්ම ගතට ද ප්‍රබෝධයක් අත්වේ. නමුත් ඔබ නිරෝගී දිවියක් අපේක්ෂා කරනවානම් උදෑසනින්ම තේ, කෝපි පානය කිරීමට පළමුව උදේ අවදි වූ විගසම උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.

ග්‍රීන් ටී සහ බ්ලැක් ටී

හෘදයාබාධ, කොලොස්ටරෝල්, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා තත්ත්වයන් සඳහා ග්‍රීන් ටී, සහ බ්ලැක් ටී, ඕලෙන්ගා ටී ඉතා හොඳ ඔසුවකි. ශරීරයේ පිළිකා ඇති කරන පිළිකා කාරක ද්‍රව ගුණය (free radicals) ඉවත් කරන ප්‍රති ඔක්සිකාරක ගුණය බ්ලැක් ටී, ග්‍රීන් ටී, සහ ඕලෙන්ගා තේ වල පවතී. මෙමගින් පිළිකා නැසෙන බවත්, හටගෙන තිබෙන පිළිකා පැතිරීම වැළකෙන බවත් පරීක්ෂණවලින් තහවුරුවී ඇත.

මීට අමතරව කොලොස්ටරෝල්, හෘදයාබාධ, අධික තරබාරුව ද අඩු කරයි. බැක්ටීරියා වෛරස නාශක ගුණය ඇති නිසා එවැනි ලෙඩ රෝග ඇතිවීම අඩුවන අතර ආසාත්මිකතාවයන්වලින් ද ආරක්ෂා වේ. තේ වත් කළවිට තේවල පාට වැඩිවන තරමට එහි ගුණය අඩුවේ. ග්‍රීන් ටී ලා කහපාටය. එමෙන්ම එහි ගුණය වැඩිය. තේවල විටමින් සී බහුලව පවතී. තේ කෝප්පයක් බීමෙන් දොඩම් වීදුරු තුනක ඇති විටමින් සී ප්‍රමාණය ලැබේ. එමගින් ජීර්ණයට බාධා අඩු කෙරේ. සියලුම ආසාදන රෝග ඇතිවීම අඩු කෙරේ. චර්ම රෝග අවම කරයි. මෙහි ඇති  තවත් සුවිශේෂී කරුණක් වන්නේ එහි ෆ්ලෝරයිඩ් අධික ප්‍රතිශතයක් තිබීමයි. දත් නරක්වීම අඩු කෙරේ. දත් කැක්කුම අඩු කෙරේ. තේ කෝප්පයක් පානය කළ පසුව දත්වල බැක්ටීරියා ඇලීමක් සිදු නොවේ. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. 

ජපානයේ කරනු ලබන පරීක්ෂණයකට අනුව ග්‍රීන් ටී පානය කරන කාන්තාවන්ට පිළිකා වැළඳීමේ අවදානම 57%කින් පමණ අඩුබව සොයාගෙන ඇති අතර පිරිමින්ට පිළිකා ඇතිවීමේ අවදානම 54%කින් අඩු කරන බවත් සොයාගෙන ඇත.

තේවලට ඇබ්බැහිවීම අහිතකරයි

අද බොහෝ තේවලට රසායනික ද්‍රව්‍ය, ඩයි වර්ග එකතු කෙරේ. මෙවැනි අහිතකර දුව්‍යයන් එකතු කළ තේ බීම ශරීරයට අහිතකර වේ. තේවල අඩංගු කැනෝන් වැනි අහිතකර රසායනික සංයෝගයක් නිසා තේවලට ඇබ්බැහි වූවන්ගේ අස්ථි දිරා යා හැක. ඇල්සයිම රෝගය වර්ධනය වීම කාන්තාවන්ගේ ආර්ථභාවය ඇතිවන ගැටලු, නින්ද නොයාම, නොසන්සුන් බව වැනි තත්ත්වයන් ඇතිවිය හැක. විශේෂයෙන් කෑමට පෙර තේ බීමෙන් යකඩ උරාගැනීම අඩු කෙරේ. එම නිසා ආහාර වේලක් ගැනීමෙන් පැය දෙකකට පමණ තේ කෝප්පයක් පානය කිරීමට පුරුදු වෙන්න. තේවලට ඇබ්බැහි වෙන්න එපා. දිනකට තේ කෝප්පයක් හෝ දෙකක් පමණක් බීමට පුරුදු වෙන්න.

 නිමාලි සොලොහොකාර
ආයුර්වේද වෛද්‍ය
කුරුණෑගල ආයුර්වේද රෝහල