අද ලෝකයේ සුලභව දක්නට ලැබෙන රෝගයක් ලෙසින් දියවැඩියාව හැඳින්විය හැක. අතීතයේදී බොහෝවිට වැඩිහිටියන් අතරේ පමණක් දක්නට ලැබුණු දියවැඩියා රෝගය අද වනවිට බාල මහලු කොයි කා අතරත් බහුලව දකින්නට ලැබෙන රෝගයක් වී හමාරය.
ජනගහණයෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයකුවත් දියවැඩියා රෝගයෙන් මේ වනවිට පෙළෙන බව කරනු ලබන සමීක්ෂණවලින් සොයාගෙන ඇත.
වර්තමානයේදී බොහෝ ලෙඩ රෝගවලට මිනිසා ගොදුරු වුවද අතීතයේදී මෙවැනි රෝගවලට මිනිසා එතරම්ම ගොදුරක් නොවීය. අද වෙද්දී බෝ නොවන රෝග ගණනාවකටම මිනිසා ගොදුරු වෙමින් සිටී. මෙයට හේතු කීපයක්ම බලපායි.
බොහෝ ආසියාතික රටවල ඈත අතීතයේ සිටම මිනිසා කය වෙහෙසා වැඩකිරිමට හුරු වී සිටියහ. බොහෝ දෙනා තම එදිනෙදා කටයුතු සිදුකරගනු ලැබුවේ මිනිස් ශ්‍රමයෙනි. ඈත අතීතයේදී මිනිසා ආහාර පාන පිසින ලද්දේ දර ළිපෙහි උදව්වෙනි. ඔවුහු දර ඇහුලුවෝය. දර පැලුවෝය. ඒවා මිටි බැන්දෝය. ඒ හැම දෙයකින්ම ශරීරය වෙහෙසුණි. නමුත් වර්තමානයේදී සියල්ලම නවීන තාක්ෂණයට යට වී තිබේ. අද බොහෝ නිවාසවල ඇත්තේ ගෑස් ළිප්ය. ඉතා අඩු මහන්සියකින් ඉතා ඉක්මණින් ආහාර පිස හමාරය. මෙමඟින් කාලය ඉතිරි වීම සැබෑය. නමුත් අවසානයේදී සියල්ලෝම රොබෝවරුන් ලෙස ජීවත්වෙමින් විවිධ බෝ නොවන රෝගවලට හිමිකම් කියති. එදා කය වෙහෙසා වැඩ කිරීමෙන් තම ජීවන රටාවට උරුමකම් කිව් ජනතාව වෙනුවට බෝ නොවන ලෙඩ රෝගවලට උරුමකම් කියති. ඒ අතරින් දියවැඩියා රෝගයද මුල් තැනක් ගනී.
දියවැඩියා රෝගය වැළඳීමෙන් අනතුරැව නිසි ආකාරයෙන් පාලනය කරගැනීමට රෝගියා අපොහොසත් වුවහොත් රෝගය බරපතළ තත්ත්වයට පත්විය හැක.
දියවැඩියා රෝගය නිසා තවත් බරපතළ රෝග තත්ත්වයක්ද ඇතිවිය හැක. එනම්,
• ස්නායු ආබාධ
• අන්ධභාවය
• අංශ භාගය
• වකුගඩු රෝග
• හෘදයාබාධ
• ලිංගික දුබලතා
වැනි සංකූලතා දියවැඩියාව නිසා ඇතිවීමට පුළුවනි. රෝගය ඇතිවූ විට එය පාලනය කරගැනීම ඉතා වැදගත් වේ. නමුත් ඊටත් වඩා හොඳම දේ වන්නේ රෝගය ඇති නොවීමට වගබලා ගැනීමය.
සරල ජීවන රටාවන් තුළින් යහපත් පෝෂණ සිරිත් ඇතිකර ගැනීම, විවේකය, ව්‍යායාම ආදිය දියවැඩියාව මර්දනය කරගැනීමට ඉවහල් වේ. මීට අමතරව ළමා කාලයේදී ගනු ලබන වැරදි ආහාර, වැරදි විහරණ නිසාද දියවැඩියා රෝගයට බොහෝ දෙනෙක් ගොදුරු වෙති.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අරමුණු දෙකකි.
• නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම.
• රෝගියාගේ රෝගී භාවය දුරු කිරීම.
ආයුර්වේදයේ ස්වස්ථ්‍ය සංරක්ෂණ ක්‍රම එනම් නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් දක්වා ඇත. නිරෝගී දිවි පැවැත්මක් සඳහා පුද්ගල දිනචර්යාව සකස් විය යුතු ආකාරය හා අනුගමනය කළයුතු පිළිවෙත් පිළිබඳව ස්වස්ථ්‍ය වෘත්ත යටතේ දැක්වේ. උදෑසන අවදිවීමේ සිට රාත්‍රී නින්දට යාම දක්වා අප විසින් සිදුකරන ක්‍රියාවක් නිසි පරිදි පවත්වා ගැනීම පිළිබඳවද ආයුර්වේදයේදී දක්වා ඇත. එවැනි ජීවන රටාවකට හුරැවීම බොහෝ රෝග උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට හේතුවේ.
ක්‍රියාශීලී ජීවන රටාවකට කුඩා කළ සිටම හුරුවිය යුතුය. අද අප බොහෝවිට අත් විඳින්නේ ඒකාකාරී ජිවන රටාවකි. එහිදී නිරන්තරයෙන් සිදුවන්නේ ඒකාකාරී දෛනික කටයුතු රුසක සිරවීමකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාශීලී නොවන සිරුරක් හා අවිවේකී මනසක් සහිත ජීවිතයක් උරුම වී තිබේ.
එදිනෙදා ජීවිතේ අප ගතකරන සෑම ක්‍රියාවලියක්ම ස්වභාවිකව ලැබෙන ව්‍යායාමයක් ලෙස සලකා කටයුතු කළ යුතුවේ. බොහෝ දෙනා සිතනුයේ දියවැඩියා රෝගයට ප්‍රධානතම හේතුව වන්නේ සීනි පමණක් බවය. නමුත් එය සත්‍ය නොවේ. දියවැඩියා රෝගය වැළඳීමට හේතු ගණනාවක්ම බලපායි. එමෙන්ම මෙය පරම්පරා රෝගයක් ලෙසින්ද හැඳින්විය හැක.
දියවැඩියා රෝගය වළකා ගැනීමට නම්,
• නිතරම ස්වභාවික ආහාරවලට හුරුවෙන්න. කෘත්‍රිම ආහාර පාන, ක්ෂණික ආහාර පාන දියවැඩියා රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමයි.
• ව්‍යායාම්වල නිරත වන්න.
• වැඩිපුර සීනි සහ පැණිරස ආහාර ගැනීම සීමා කරන්න. විශේෂයෙන් පවුලේ ළඟම ඥාතීන් දියවැඩියා රෝගයෙන් පෙළෙයි නම් වෛද්‍ය පරීක්ෂණ මඟින් එහි සැකහැර ගන්න.
• රුධිරයේ සීනි මට්ටම නිවැරදි ප්‍රමාණයට තබා ගැනීමට උත්සාහ ගන්න.
• දියවැඩියා රෝගයට ආයුර්වේදයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ඇති අතර ඒ සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල