2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ලංකාවට සම්මානයක් ගෙනා කුණාටුවෙන් උපත ලද්දෝ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

නිකොලායි ඔස්තොව්ස්කි නම් විශිෂ්ට රුසියානු ලේඛකයා සිංහල පාඨකයන් හඳුනා ගත්තේ ඔහු ලියූ වානේ පන්නරය ලැබූ හැටි (පරිවර්තනය: දැදිගම වී. රුද්රිගු) නම් නවකතාවෙනි. එය ලොව පුරා විසිරී සිටින තරැණයන්ගේ සහ විප්ලවවාදීන්ගේත් අධිෂ්ඨාන සහගත සොල්දාදුවන්ගේත් මානසික උත්තේජනයක් බවට පත් නවකතාවකි.

ඔහුගේ දෙවැනි නවකතාව කුණාටුවෙන් උපත ලද්දෝ නමින් පරිවර්තනය කළේ රන්ජන දේවමිත්‍ර සේනාසිංහය. රුසියානු භාෂාව පිළිබඳ උසස් දැනුමක් සතු රන්ජන එය මුල් කෘතියෙන් අසංක්ෂිප්ත අයුරින් කළ පරිවර්තනයකි. අය අගහස් ප්‍රකාශනයක් වශයෙන් පසුගියදා පළවිය.

මෙම විශිෂ්ට පරිවර්තන කාර්යය වෙනුවෙන් පසුගියදා මොස්කව්හිදී රන්ජන දේවමිත්‍රට නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජාත්‍යන්තර සම්මානයද හිමිවිය. එම සම්මානය ලාංකීය පරිවර්තකයෙකුට ලැබුණු පළමු අවස්ථාව මෙය වේ.

කුණාටුවෙන් උපත ලද්දෝ දුක්බර කතා පුවතක් සඟවාගත් නවකතාවකි. තරුණ නිකොලායි එම නවකතාව රචනා කළේ දැඩි සේ රෝගාතුරව ඇස් පෙනීමද අවහිරව තිබියදීය. කොටස් තුනකින් ලිවීමට සැලසුම් කර තිබූ එහි දෙවැනි නවකතාවේ පළමු පරිච්ඡේදය ලියන අතරතුර ඔහුට මෙලොව හැරයාමට සිදුවිය. ඒ වනවිට ලේඛකයාගේ වයස අවුරුදු 32කි. ඔහු 1936 දෙසැම්බර් මස අගදී මිහිදන් කළ අවස්ථාවේ එම නවකතාව කඩිනමින් මුද්‍රණය කරවා ඊට සහභාගී වූවන් අතර බෙදාදෙනු ලැබුණි.

1917 ඔක්තෝබර් විප්ලවයට පසු රුසියාව අවට කලාපයේ හටගත් විදේශ ආක්‍රමණ හා සිවිල් යුද්ධ සමය මෙහි විස්තර කෙරේ. පළමු ලෝක සංග්‍රාමයෙන් ඇළලී ගිය යුරෝපා මහාද්වීපයේ පැරණි රාජ්‍යයන් බිඳ වැටෙමින් නව රාජ්‍ය බිහිවෙමින් පැවති වකවානුවකි එය. උක්රයීනයට අයත් රුසියානු අධිරාජ්‍යයේ වොලීන් නම් ප්‍රදේශයේ වංශක්කාර හමුදා නිලධාරින්ගේ පවුල් වටා මේ කතාව ගෙතී තිබේ. කතුවරයා මේ චරිතවලට කිමිදෙමින් ඔවුන්ගේ මානසික ස්වභාවය විවරණය කරන අන්දම අපූර්වය. ඔහු භාවිත කරන භාෂාව සාම්ප්‍රදායික යෙදුම්වලින් ද පොහොසත්ය. පරිවර්තකයා මුල් රුසියන් නවකතාව පමණක් නොව උක්රයීන හා පෝලන්ත බස්වහරද අධ්‍යයනය කරමින් මෙහි පරිවර්තන කාර්යය කර ඇති බව පෙනේ.

කතුවරයා තුළ යොවුන් සෝවියට් ජනරජයට ඇති කැමැත්ත විටින් විට ඉස්මතු වේ. නමුත් ඔහු කිසිවිටෙක සෝවියට් රතු හමුදාවේ ප්‍රචාරකයෙක් වන්නේ නැත. සෑම චරිතයක්ම අභ්‍යන්තරයට යමින් ඔවුන්ගේ මානසික ස්වභාවය සරලව විස්තර කිරීමේ නිපුණතාව ඔස්ත්‍රොව්ස්කිට ඇති බව මෙම නවකතාවේදී පැහැදිලි වේ. ඒ අතරම පාඨකයා තුළ කුතුහලය රඳවමින් අවසානය දක්වා කෘතියේ රඳවා ගැනීමේ දක්ෂකමද ඔහු සතුය.

පාඨක

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00