ප්‍රජාතන්ත්‍රවාදය ඉතා මිල අධික දෙයැකැයි කතාවක් තිබේ. ඒ කතාවේ සත්‍යයක්ද ඇත. එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඊට නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයන් තම ප්‍රාදේශීය සභාවෙහි, නගර සභාවෙහි දොරටු විවර කර ගැනීමට ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ අනෙකා පරයා යන ආකාරයටය. විශාල මුදලක් වැයකොට පුංචි ඡන්දයට එන මෙම අපේක්ෂක, අපේක්ෂිකාවක් තුළ තිබෙන මෙම තරගකාරී බව හේතුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට නියම වූ මිල පිළිබඳව හිතා ගැනීමට හැකියාවක් ඇත.
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතුවලදී පොලිතීන් භාවිත කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා පැවසීය. ඔවුන් පෙන්වා දුන්නේ පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ සඳහා බලතල ලැබී ඇති බවයි. නමුත් මේ වනවිට රටපුරාම මැතිවරණ කටයුතු බහුලව සිදුවීමත් සමඟ මැතිවරණ කටයුතුවලදී පොලිතීන් භාවිත කරන ආකාරයක් දැකගන්නට ඇත.
පෝස්ටර්, කටවුට් මෙන්ම සැරසිලි ආදිය විශාල ලෙස මුදල් නාස්තියකි. ඒවා ඉවත් කිරීම තවත් මුදල් නාස්තියක් මෙන්ම විශාල මිනිස් පැය ගණනක් අපගේ යන ක්‍රියාවලියකි. මෙවර පළාත් පළාන ඡන්දයේ නීති විරෝධී ඡන්ද කටවුට්, පෝස්ටර්, බැනර්, ඉවත් කිරීම සඳහා මූලික වියදම් ලෙස රුපියල් මිලියන 30ක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇති අතර ඒ සඳහා සේවකයන් දසකට අධික සේවකයන් පිරිසක් පොලීසිය විසින් යොදාගැනීමට නියමිතය.
රට පාලනය කරන සහ පාලනය කරන්නට බලය ඉල්ලන බොහෝ නායකයන් නීතිය තුට්ටුවකටවත් සලකන්නේ නැත. එමෙන්ම මෙලෙස ඡන්ද කාලවලදී අපේක්ෂකයන්ගේ කටවුට්. බැනර් සැරසිලි ආදියට වියදම් කරන්නේ ඒ ඒ අපේක්ෂිතයන්ගේ වාසි ලාභ ප්‍රයෝජන ලබාගැනීමට සිතා සිටිනා ව්‍යාපාරිකයෝය. එයින් එක්තරා පිරිසක් ජාවාරම්කරුවෝ වෙති.
මෙරට තිබෙන සෑම මැතිවරණයකටම ඉල්ලුම් කරන ලබන අපේක්ෂකයෝ සෑම ඡන්දයකදීම ප්ලාස්ටික් සඳහා විශාල මුදලක් වැය කරති. සෑම මැතිවරණයකටම ඡන්ද සැරසිලි සඳහා භාවිත කරන මුදලින් ආහාර වේල් දෙලක්ෂයකට, අභ්‍යාස පොත් පන් ලක්ෂයකට හෝ ශිෂ්‍යත්ව දහස් ගණනකට මුදල් වෙන්කළ හැකිය. එහෙත් තමන් එසේ නොකළ යුතු බවට පොරොන්දුවක් දේශපාලනඥයන් විසින් තමන්ටම දී ගනු ලැබ තිබේ.
මැතිවරණයට පොලිතීන් පාවිච්චි නොකරන ලෙසට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් ඉල්ලා පළක් නැත. මේ වනවිටද පුංචි ඡන්දයේ බැනර්, කටවුට්, පෝස්ටර් යුද්ධය ටික ටික ඇරඹී ඇත. පුංචි ඡන්දයේ ගම හදන්න එන බෝහෝ පිරිස් ගම හැදීමට පෙර ගමේ පරිසරය විනාශ මුඛයට ඇද දමමින් පැමිණීම ගැන මෙරට බොහෝ ජනතාවද සිටින්නේ සතුටකින් නොවේ.
පසුගිය 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේදී පෝස්ටර් කටවුට් සහ සැරසිලි ඉවත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් පොලිසියට ලබාදුන් මුදල රුපියල් ලක්ෂ 500ක් වන අතර ඒ සඳහා කම්කරුවන් දෙදහසකගේ පමණ සහාය ලබාගෙන ඇත. එමෙන්ම 2014 බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේද මේ සඳහා වැයකළ මුදල ලක්ෂ 200කි. ඒ අනුව බැලූ කල මනාප පොරය ඇති කාලයේ මෙන්ම නැති කාලයේද මේ සඳහා වියදම් වී ඇත්තේ ජනතාවගේ මුදල්ය. දෙදහස වසරේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද සැරසිලි සඳහා යොදාගත් පොලිතින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 25,000ක් පමණ වූ බව එකල සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබිණි. මැතිවරණය නිමවී කාලයක් ගතවනතුරැම එදා පුංචි ඡන්දයේ අපේක්ෂකයන් වෙනුවෙන් කරන ලද සැරසිලි, කටවුට් මෙරට නගර පුරාවටම දැකගත හැකිව තිබූ බව එම සමීක්ෂණයේදී සොයාගැනීමට හැකි විය.
මෙවරද පුංචි ඡන්දයේදී පොලිතින් භාවිතය ගැන දේශයේ අප කළ විමසීමකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා මෙලෙස අදහස් දැක්වීය.
ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව, ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ ඕනෑම මට්ටමේ උත්සවයකදී පොලිතින් භාවිතය තහනම් කරලා තියෙන්නේ. මෙවර එන පළාත් පාලන ඡන්දයේදීත් පොලිතින් භාවිතයෙන් සැරසිලි කරලා තිබුණොත් එහෙම සැරසිලි කරනවා. ඕනෑම කෙනෙක් දුටුවොත් වහාම ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න. ඒ වගේම තමයි මෙම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් මැතිවරණ නිමවෙලා ගියත් ඒ සැරසිලි කටවුට් ඉවත් කරන්නේ නැහැ. ඒ මගිනුත් විශාල ලෙස පරිසර දූෂණය සිදුවෙනවා. ඒ වගේම තමයි පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කරමින් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කරලා තියෙනවා. මේ අතරින් නිකුත් කරපු නිවේදන අනුව 2034/36 දරන නිවේදනයෙන් පොලිතින් හෝ ප්ලාස්ටික් විවාත ස්ථානවල දමා පිළිස්සීමද තහනම් කරලා තියෙන්නේ.
පොලිතින් නීතිය පැනවූ විට එය ආදර්ශවත්ව අනුගමනය කරන්නට දේශපාලන පක්ෂවලට හා ඕනෑම පක්ෂයක නායකයින්ට ආත්ම ශක්තියක් තිබිය යුතුය. ඕනෑම නීතියක් නොසලකන තරමට ඇතැම් දේශපාලනඥයින් බලය හමුවේ හැසිරෙන බවද ප්‍රසිද්ධ රහසකි. එය හෙළිදරව් කරන කදිම සාක්ෂියක් බවට මේ වනවිට පොලිතින් බැනර් කටවුට් බවට පත්ව තිබේ.
►හසිත් අංජන