2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සැන්ටො ඔයා මෙහේ

2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:0084

පසුගිය විසිහතර වැනිදා මිතුරකුගේ නිවසේ පැවති නත්තල් සාදයකට ගොස් පැමිණි මම නිදන්නට සූදානම් වීමි. එවිට වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය. කාමරයේ දොර අසල බලාසිටින අමුත්තකු දුටු මම තිගැස්සුණෙමි. ඒ අන් කවරෙකුවත් නොව, නත්තල් සීයාය. ඔහුගේ උරහිසේ ලොකු තෑගි මල්ලකි.

ආ මේ නත්තල් සීයනේ... සුබ නත්තලක් වේවා.

නත්තල් සීයා මා හමුවන්නට පැමිණ සිටීම ගැන ඇතිවූ සතුටින් යුතුව මම ඔහු පිළිගත්තෙමි.

සුබ නත්තලක් වේවා! මට සීයා කියනවට නම් මම දැන් කැමති නෑ.

සොරි. සොරි. නත්තල් පප්පා කියනවටද කැමති?

නෑ. සීයලා, පප්පලා හිටියෙ ඉස්සර කාලෙන. දැන් පොඩි ළමයි වුණත් මට කතා කරන්නෙ සැන්ටා කියලා.

හරි. මාත් එහෙම කියන්නම්කො. ඉතින්, මේ සැන්ටා කොහෙ ඉඳලද ආවෙ? අපිට තෑගිබෝග එහෙම ගේන්ඩ ඇති නේද? ඔයා මොකක්හරි සාප්පුවකට කොම්පැනියකට සම්බන්ධද?

මම පින්ලන්තෙ ඉඳලා ආවෙ.

මොනවා... ඔයා අපේ රටේ සැන්ටා කෙනෙක් නෙවෙයිද?

නෑ නෑ මම ඔරිජිනල් සැන්ටා. මේ දවස්වල එහෙ අපේ ගෙවල් දොරවල් හිමෙන් වැහිලා ගිහින් හරි කරදරේ. ඒකයි එන්න ටිකක් පරක්කු වුණේ.

ෂා! මේ නත්තලේ ඔරිජිනල් සැන්ටා දකින්ඩ ලැබීම හරිම සතුටක්. මම හිතුවෙ ලෝකල් සැන්ටා කෙනෙක් කියලා. පහුගිය ටිකේ මෙහෙ කඩසාප්පු ඉස්සරහත් සැන්ටලා හිටියනෙ. ගිය සතියෙත් සැන්ටා කෙනෙක් ආවා. ආවේ ඔෆිස් එකට. එයා එවලා තිබුණේ ඉන්ෂුවරන්ස් කොම්පැනියකින්.

ඔව්. ලෝකේ කොහෙත් දැන් මාව, මාකටිං වැඩවලට යොදාගන්නවා. ඇත්තම කියනව නම් ඒ මම නෙවෙයි. මගේ ඇඳුමට මුවාවුණු බොරුකාරයො.

කොච්චර දෙයක්ද ඔබතුමා මාව මුණගැහෙන්න ආපු එක. මොනවහරි කාල බීල ඉමු නේද? නත්තල් කේක් කෑල්ලකුත් ඇති. වයින් ටිකක් ගන්නවද?

මොකුත් එපා. බොහොම ස්තූතියි. මම මිස්ටර්ව මුණගැහෙන්න ආවෙ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්.

මොනවගේ උදව්වක්ද?

මම මෙදා පාර, මේ රටේ ඉන්න විශේෂ පුද්ගලයො කීපදෙනෙක් තෝරලා, ඒ අයට විශේෂ නත්තල් තෑගි ටිකක් දෙන්න තීරණය කළා. මට ඒකට සුදුසු පුද්ගලයො ටික දෙනෙක් යෝජනා කරන්න පුළුවන් නම් හොඳයි.

සැන්ටා මට බාරදෙන්නේ තරමක් බැරැරුම් රාජකාරියකි. එහෙත් එය නිසිලෙස ඉටුකළහොත්, ඔහු මට ද හොඳ තෑග්ගක් දෙනු නිසැකය. සැන්ටා ද සමඟ සාලයට ගිය මම, එහි අසුන්ගෙන මොහොතක් කල්පනාවේ නිමග්න වීමි.

අපි හිටපු මුදල් ඇමැතිතුමාට විශේෂ තෑග්ගක් දෙමු.

මම යෝජනා කළෙමි. සැන්ටා මුහුණ හැකිලුවේය.

එයාට තෑගි දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවනෙ. අනික මොකක්ද එයාගෙ තියෙන විශේෂත්වය?

හා. හා. එහෙම කියන්ඩ එපා සැන්ටා. බැඳුම්කර කේස් එකේදි, එයා ඇමැතිකමෙන් අස්වෙලා, රටටම ලොකු ආදර්ශයක්නෙ දුන්නෙ. ඒක ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන වැඩක්.

එහෙමනම් මම එයාට ෆ්ලැට් එකක් තෑගි කරන්නම්.

ආ ඒක හොඳයි. මම හිතන්නෙ එයා ඒ වගේ තෑගිවලට කැමතියි.

තව විශේෂ පුද්ගලයෙක් ගැන කියන්නකො.

ප්‍රවාහන ඇමැතිටත් නත්තල් තෑග්ගක් දුන්නොත් හොඳයි.

මොකක්ද එයාගෙ විශේෂත්වය?

දුම්රිය සේවක වර්ජනය සාර්ථක කරන්න දීපු විශාල සහයෝගය අපි අගය කරන්න ඕනෙ.

වර්ජනයකට සහාය දෙන එක හොඳ වැඩක්ද? දුම්රිය නැතිවුණාම ජනතාව මොන තරම් අපහසුතාවයට පත්වෙනවද?

අන්න ඒකම තමයි විශේෂත්වය. ජනතාව අමතක කරලා වැඩවර්ජකයන්ට දිගටම සටන ගෙනියන්න ඇමැතිතුමා උදව් කෙරුවා. අවසානයේ දි දුම්රිය සේවකයෝ ජයගත්තා.

පුදුම ඇමැති කෙනෙක්නෙ?

ඒ විතරක් නෙවෙයි, එතුමා දුම්රිය රියැදුරන්ගෙ පඩිනඩි ගැනත් හෙළිදරව් කරලා, ඒ වෘත්තියට විශාල ගෞරවයක් ලබාදුන්නා. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවත් ජනතාවට කියලා දුන්නා.

හොඳයි, අපි එයාටත් තෑග්ගක් දෙමු. මම එයාට දෙනවා එක්සයිස් මෙෂින් එකක්.

මංගල ඇමැතිතුමාටත් තෑග්ගක් දුන්නොත් හොඳයි.

එයා මොකක්ද කරපු සේවය?

නීල හරිත අයවැයක් ගෙනාවනෙ.

ඒ වුණාට රතු සහෝදරවරු නම් ඒකට විරුද්ධව නේද ඡන්දය දුන්නෙ. ඒගොල්ලො කියන්නෙ අයවැය ලස්සන වචන ටිකක් විතරයි කියලනෙ.

ඒගොල්ලො සමාජවාදයට යන්න හදන්නෙ පයින්නෙ. මංගල ඇමැතිතුමා ජනතාවට ඉලෙක්ට්‍රික් කාර් දෙන්න යෝජනා කෙරුවා. ඒකෙන් ඉන්ධන පෝලිමේ ප්‍රශ්නෙත් විසඳෙනවා. මිනිස්සු කට ඇරගෙන බජට් එක දිහා බලාගෙන හිටියෙත්, ඉලෙක්ට්‍රික් කාර් දෙනකල්නෙ. දැන් හැමෝටම හරි සන්තෝසයි.

හොඳයි. මම එයාට දෙනව රොබෝ ඩ්‍රයිවර් කෙනෙක්.

ඔව්. ඒකත් නව යුගයට ගැලපෙනවනෙ. මෙදා පාර අයවැයේ තිබුණෙත් වර්තමානයට නෙවෙයි අනාගතයට අවශ්‍ය විසඳුම්. මංගල ඇමැතිතුමා රොබෝට හරි ආසවෙයි. තනි පංගලමේ ඉන්න මනුස්සයනෙ.

ඒ ඇසූ සැන්ටා, රැවුල පිරිමදිමින් සිනාසුණේය.

ක්‍රිකට් ටීම් එකටත් නත්තල් තෑග්ගක් දුන්නොත් හොඳයි නේද?

ඒ මොකටද?

හේතු දෙකකට. එක, මිනිස්සුන්ට ක්‍රිකට් එපා කරවීමට. එතකොට, මැච් බලන්නෙ නැති නිසා මිනිස්සුන්ගෙ කාලය ඉතිරිවෙනවා. ලයිට් බිල අඩුවෙනවා. ආතතිය අඩුවෙනවා.

ඒක ඇත්ත. දෙවැනි හේතුව?

ඉන්දියාවට වාර්තා පිට වාර්තා තියන්න උදව් කරපු එක. අසල්වැසි රටක් හැටියට අපි පෙන්නුවෙ අපේ විදේශ ප්‍රතිපත්තියෙ වැදගත් අංගයක්.

ඒක ඇත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්තං, ඕවර් විස්සවත් බැට් කරගන්න බැරිවෙනවයැ. මම හිතන්නෙ ඉන්දියාවත් ලංකාවට ආපු වෙලාවක අපිට කෙළෙහිගුණ සලකයි. මම ක්‍රිකට් ටීම් එකට දෙනවා මූණ වැහෙන හෙල්මට් එක ගාණෙ, ලංකාවට එනකොට දාගෙන එන්න.

එසේ කියූ සැන්ටා, මල්ලද ඔසවාගෙන ආපසු යාමට සැරසුණි. මටත් තෑග්ගක් දෙන්නැයි කෙළින්ම ඉල්ලීම නුසුදුසු යැයි හැඟුණෙන්, මම මෙසේ කීවෙමි.

සැන්ටා, අපේ රටේ දුක් විඳින ජනතාවටත් මොනවහරි දුන්නොත් හොඳයි නේද?

ආපෝ. ජනතාවට තෑගි බෙදන්න ගිහින්, මැතිවරණ නීති උල්ලංඝනය කළාය කියල මටත් කේස් වැටෙයි.

එහෙම වෙන්නෙ කොහොමද, සැන්ටා ඡන්දෙ ඉල්ලනවයැ?

මගෙ ඇඳුම දැක්කම මැකෝ හිතයි මෙදාපාර ජේ.වී.පී. එකත් තෑගි බෙදනව කියලා.

කපිල කුමාර කාලිංග

2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00