2018 ජනවාරි 06 වන සෙනසුරාදා

රටේ පැත්තක් උතුරනවා තව පැත්තක් ගිනි කනවා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

අහස වළාකුළින් බරව තිබුණ ද රටේ අතනට මෙතනට වැහි අල්ලක් දෙකක් වැටුණ ද නියඟය මේ දිනවල රටේ බොහෝ තැන්වල ප්‍රධාන මාතෘකාවයි. පානීය ජල දුෂ්කරතා, කුඹුරු පුරන්වීම, ගොඩ ගොවිතැන් පාළුවීම, ගහකොළ විනාශ වීම මෙන්ම ආහාර නිෂ්පාදනය අඩාල වීම, සහල් ආනයනය ආදී කරුණු කාරණා රැසක් නියඟයත් සමඟම කරළියට පැමිණ ඇත.

රටේ දිස්ත්‍රික් ගණනාවක වර්ෂාපතනය ඇද හැලී ගංඟා, ඇළදොළ පිටාර ගලා ගියද තවත් දිස්ත්‍රික්ක පහකට පමණ වැසි ඇදහැලීමේ සලකුණක්වත් නොමැත. ඒ බව පසුගිය කාලය පුරාවට මාධ්‍යය මඟින් ද හෙළිදරව් කෙරුණි. පුත්තලම, මන්නාරම, යාපනය, කිළිනොච්චිය, වව්නියාව වැනි ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මේ වනවිට පානීය ජලය පවා අහිමිව යන තරමට මෙම නියඟය දරුණු වී තිබේ.

රට තුළ මෙවැනි වතාවරණයකට පසුබිම සැලසෙන්නේ සංවර්ධන ඉලක්ක මත අනාගත අපේක්ෂා පිරිවරාගත් මොහොතකය. එබැවින් නියං පිටුදැකීමේ වැඩපිළිවෙළ කෙටිකාලීන සහන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් සඳහා ද ක්‍රියාත්මක වීම ඉතා වැදගත්ය. කාලාන්තරයක් තිස්සේම මෙරට ජනතාව වසරකට වරක් නියඟයට මුහුණ දෙන නමුත් ඒ ඒ අවස්ථාවන්ට අනුව විසඳුම් යොදා ඊළඟ වසරේ නියඟයට මුහුණ දීමේ සැලසුම් කල්තියා සකස්කර ගැනීමට මෙරට බලධාරීන් අවධානය යොමු නොකිරීම පැහැදිලිව දැකිය හැකි තත්ත්වයකි.

“අපේ ගමේ බොන්න වතුර ගන්න ළිං ඔක්කොම ඉඩෝරයට හිඳිලා.” අප කළ විමසුමකදී මදුරන්කුලියේ ජේ.ජී. නිමලසිරි මහතා පැවසීය.

“අපි වතුර ගේන්න සෑහෙන්න දුරක් යනවා. වතුර බව්සර් එනවා කිව්වට සතියකට එන පාරක්වත් බව්සර් අපේ ගම්වලට එන්නේ නැහැ. වැව්වල පතුල මතුවෙලා නෙළුම් අල හාරලා ඒවා විකුණලා ගන්න සල්ලිවලින් තමයි අපි වතුර බෝතල් අරගෙන අපේ පොඩි එවුන්ට බොන්න දෙන්නේ. ඔය සමහර මාධ්‍යවලින් කියනවා නියඟෙට සහන දුන්නා කියලා දැන් අවුරුද්දක් විතර වෙනවා අපේ ගම්වලටනම් ඔය කියන මොනවත් ලැබිලා නැහැ. ඔය රජයෙන් එවන වතුර බවුසර් පවා එන්නේ සතියකට සැරයයි.”

පසුගිය වසරේ මුල සිට අද දක්වා කාලය තුළ කිළිනොච්චිය, වව්නියාව දිස්ත්‍රික්කවල බොහෝ වැසියන් දැඩි නියඟයෙන් බැටකමින් සිටින අතර ඔවුන් වගා කළ ‍බෝග රැසක්ම මේ වනවිටත් විනාශ වී ඇත. වව්නියාව දිස්ත්‍රික්කයේ මහවැව් හා කුඩා වැව් 672ක් පමණ ඇති අතර ඒ සියල්ලේම ජලය මේ වනවිට 95%ක්ම සිඳී ගොස් ඇති බවද බලධාරීහු පවසති.
මන්නාරම දිස්ත්‍රික්කයට ද නියඟයේ බලපෑම දැඩිව පවතින අතර යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ ජනතාව මහත් පරිශ්‍රමයකින් වගාකළ බෝග රැසක් ද මෙම නියඟයෙන් විනාශ වී ඔවුන්ගේ ජනජීවිත මේ වනවිට අඩාල වී ඇත. එම ප්‍රදේශවල නළ ළං පවා මේ වනවිට සිඳී ගොස් ඇති අතර පානීය ජලය නොමැති වීමත් සමඟම ඔවුන්ගේ ජන ජීවිතය මේ වනවිට කබලෙන් ළිපට වැටී තිබේ.

වසරකට වරක් හෝ රටට බලපාන දැඩි නියඟයත් සමඟ සිඳී යන රට පුරා ඇති මහවැව් සහ කුඩා වැව්වල ජල ධාරිතාව උපරිම කරගැනීම සඳහා වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව තවමත් අවධානයට ලක්වී නොමැති වීම කදිම නිදසුනකි. රටපුරා වැව් ජලයෙන් පොහොසත් වූ විට නියඟයකදී අවශ්‍ය වන්නේ සැලසුම් සහගතව වැව් ජලය බෙදා හැරීමට වැඩපිළිවෙළක් පමණි. නමුත් අවාසනාවකට තවමත් අප රටෙහි එවැන්නක් ක්‍රියාත්මක වන්නේ නැත. 
ඉදිරි දශක දෙක තුන ඇතුළත ලොව පුරා නියඟයක් සහ බරපතළ ලෙස පානීය ජල හිඟයක් ඇතිවන බව දැනටමත් විද්‍යාඥයෝ අනතුරු අගවා සිටිති. එම තත්ත්වය මෙරටට ද බලපානු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. අද වනවිටත් මේ රටේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ ඇතුළු ජල ප්‍රභවයන් සියල්ල අයහපත් මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ මුඛයට ඇද වැටී තිබේ.

මෙවර එළඹ ඇති නියඟය සඳහා වෙනදාට වඩා පෙර සූදානමක් දැකිය හැකි නමුත් කෘෂිකර්ම ආහාර, පරිසර, වාරිමාර්ග, ජල සම්පාදන අපදා කළමනාකරණ යන සියලු අංශ වෙන වෙනම මෙම නියං තත්ත්වයන් සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

දිස්ත්‍රික්ක පහකට පමණ බලපා තිබෙන මෙම නියං තත්ත්වය ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍යය අධ්‍යෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“දිවයිනේ දිස්ත්‍රික් ගණනාවකට බලපෑ නියං තත්ත්වය පසුගිය වැස්සත් සමඟම නිමාවට පත්වෙලා තියෙනවා. නමුත් තවත් දිස්ත්‍රික් ගණනාවකට එම වර්ෂාපතනය ලැබුණේ නැති නිසා එම නියං තත්ත්වය තවදුරටත් තියනවා. මේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න කටයුතු යොදලා තියෙනවා. ඒ අය වෙනුවෙන් අඛණ්ඩව වතුර බව්සර් ඒ ඒ ප්‍රදේශවලට යොදවන්න කටයුතු කරලා තියනවා.”

ජනතාවට සහන සැලසීමට ලක්ෂ, මිලියන ගණන් ලබාදෙන බවට බලධාරීන් පැවසුවත් නියඟය තිබෙන දිස්ත්‍රික්වල බොහෝ ජනතාව කියා සිටින්නේ තමන්ට ඒ කිසිවක් නොලැබුණු බවයි. මේ සියල්ල අවසානයේ මෙම අසරණයන්ට ඉතිරිව ඇත්තේ අහස දෙස බලා නිරිතදිග මෝසම් වර්ෂාව ලැබෙන තෙක් හීල්ලීම පමණි.

♦ හසිත් අංජන