2018 ජනවාරි 06 වන සෙනසුරාදා

හිටපු රජයේ ලොක්කන්ට එරෙහි දුෂණ වංචා චෝදනා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

යහපාලන  ආණ්ඩුව බලයට පත්වූ ඉක්මණින් 2015 මාර්තු මස 15 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ බව පැවසෙන වංචා හා දූෂණ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස පස් දෙනකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා වූයේ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන මහතා වන අතර සෙසු සමාජිකයන් වූයේ හිටපු මහාධිකරණ විනිසුරුවන්වන විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, පියසේන රණසිංහ සහ හිටපු විගණකාධිපති පී. ඒ. පද්මතිලක යන මහත්වරුන්ය.

කොමිසමේ විෂය පථය වූයේ 2010 ජනවාරි මස 01දා සිට 2015 ජනවාරි 01 අතර කාලයේදී සිදුව ඇතැයි කියන බරපතළ වංචා හා දූෂණ සිද්ධි මෙන්ම රාජ්‍ය බලය අවභාවිත කිරීම මගින් රාජ්‍ය ආයතනවල සිදුකළ පාඩු හා මුදල් නාස්තිය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමය. එසේම මෙවැනි බරපතළ වංචා හා දූෂණ සිද්ධි යළි ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද මෙම කොමිසමට පැවරිණ.

පිටු 1135කින් සමන්විත මෙම වාර්තාවේ අවසාන කොටස පසුගිය 02දා බාරදුන් අතර එයට සිද්ධි 17ක් ඇතුළත්ය. මෙයට පෙර ජනාධිපතිවරයාට බාර දුන් වාර්තාවේ ද සිද්ධි 17ක් පිළිබඳ විස්තර හා නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. දෙසැම්බර් 31 වැනිදා අවසන් වරට කාලය අවසන් වූ මෙම කොමිසමේ කාලය 5වරක් දීර්ඝ කර ඇත. කොමිසම නිවේදනය කර ඇති පරිදි පසුගිය රාජ්‍ය සමය තුළ ඇති වූ වංචා දූෂණ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස කොමිසම මාධ්‍ය මගින් මහජනතාවට ආරාධනා කර තිබූ අතර ඒ අනුව විවිධ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 1599ක් ලැබී තිබිණ. මූලික විමර්ශනවලින් පසු මේවායින් 1180ක් පිළිබඳ ඉදිරි පියවර ගැනීම අනවශ්‍ය බව තීරණය කළ කොමිසම එම පැමිණිලි ඉවත දමා ඇත. ඉතිරි පැමිණිලි 419ක් ගැන යළි විමර්ශනය කරන ලද අතර ඉන් පැමිණිලි 385ක් නැවත ඉවත දමා තිබේ. ඉතිරි වූයේ ප්‍රධාන පැමිණිලි 34ක් පමණි. මේවා පිළිබඳ විමර්ශනය කළ කොමිසම ඒවා ගැන ගැඹුරට සලකාබලා ස්වකීය නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ විශේෂ ජනාධිපති කොමිසම මෙම වාර්තාවට අඩංගු කර ඇත්තේ සිද්ධ වූ බවට සනාථ කළ හැකි ප්‍රධාන ගණයේ චෝදනා පිළිබඳව පමණක් බවය. මෙම චෝදනා 34න් දෙවැනි වර විමර්ශනය කර ඉදිරිපත් කළ පැමිණිලි අනුව පෙනීයන්නේ මේවා සිදුකර ඇත්තේ රාජ්‍ය ආයතනවලට දේශපාලන පත්වීම් ලැබූ ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් බවය. එසේම මේවායේ සිදුකර ඇති වංචා දූෂණ මිලියන ගණනේ සුවිශාල ඒවාය. මෙලෙස නාස්තිකර ඇත්තේ මහජන මුදල් විනා එම ලොකු ලොක්කන්ගේ බූදලයක් නොවේ. ඒ නිසා මෙලෙස මහජන මුදල් පිළිකුල් සහගත ලෙස කාබාසිනා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. 

පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී මෙන් ඉදිරිපත් වූ කොමිෂන් වාර්තා කුණු කූඩයට නොදමා ඉදිරි පියවර ගෙන රටට වූ අලාභය අයකර ගැනීමද, වරදකරුවන්වන අයට එරෙහිව නීති හා විනය ක්‍රියාමාර්ග ගැනීම ද අතවශ්‍ය වේ. ජනතාව බලාපොරොත්තු වන්නේ යහපාලන රජයෙන් එය ඉටුවේය කියාය. වංචා දූෂණවලට එරෙහිව සටන් වදින බව නිතරම පවසන ජනාධිපතිවරයා වරදකරුවන්ට පැන යාමට ඉඩ නොදී කොටුකර ගනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති. එලෙස කටයුතු සිදුවුවහොත්  අනාගතයේදී මෙන් වංචා දූෂණවල යෙදීමට නිලධාරීන් සහ දේශපාලන පත්වීම් ලබන්නන් බියවනු ඇත. එය රටේ අනාගත යහපාලනයට හේතුවෙනවා ඇත. පසුගිය සමයේ ඔවුන් කිසිදු බියක් නැතුව වංචා දූෂණවල යෙදී මහජන මුදල් ස්වකීය සාක්කුවල දමා ගත්තේ තමන්ට කිසිවිටෙකත් ප්‍රති විපාක ඇති නොවනු ඇත යන අපේක්ෂාවෙනි. එහෙත් එම බලාපොරොත්තුව පුස්සක් වී වදරකරුවන්ට වගඋත්තර කීමට සිදුව තිබේ.

ට්‍රාන්ස්ෆරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසන්නේ මේ වනවිට ද ශ්‍රී ලංකාවේ වංචා දූෂණ ඉහළ යමින් පවතින බවය. වංචා දූෂණ පහළ දමන බවට පොරොන්දු වී බලයට පත්වූ යහපාලන රජය ආරම්භයේ සිටම වංචා දූෂණවලට පෙළඹී සිටීම කනගාටුවට කරුණක් බව ඔහු කියයි.

වත්කම් ප්‍රතිසංවිධානය සඳහා වන ගෝලීය සංසදය (GFAR) නිකුත් කර ඇති අලුත්ම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේවනවිට වංචා දූෂණවලින් ඉහළට ගමන් කරමින් සිටින බව සනාථ වෙනවා. එම වාර්තාව කියන්නේ ලෝකයේ දූෂිත රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව හතරවන ස්ථානය ලබාගෙන ඇති බවයි. පළමු ස්ථානය විසුනිසියාවට දෙවැනි තැන නයිජීරියාවට සහ තුන්වැනි ස්ථානය යුක්රේනයට හිමිව තිබෙනවා. එම රටවල් ලෝකයේ දූෂිතම රටවල් බවට ප්‍රකට නමුත් ශ්‍රී ලංකාව ඔවුන්ට ලංවීම පිළිබඳ අපට ඇත්තේ දැඩි කනස්සල්ලක්.

අනිත් එක තමා මෙම දූෂණ විරෝධී විමර්ශනවලදී පිටතට එන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක්. වැඩි කොටස යට යනවා. ජනතාව දන්නේ නැහැ කොහොම මෙම විමර්ශන කරනවාද කියලා. ඒවා සිදු කරන ක්‍රමවේදය සහ අංග සම්පූර්ණ ලෙස කරුණු සොයා බලනවාද කියලා සැකයි. එසේ හරියට කරනවා නම් ෙමයට වඩා සිද්ධි හා අදාළ පුද්ගලයන් ජනතාවට දැනගන්න පුළුවන්. දැනට සම්මත වී ඇති තොරතුරු දැන ගැනීම් පනත අනුව ද ජනතාවට මේ පිළිබඳ විස්තර දැන ගැනීමේ අයිතිය තියෙනවා.

ඔහු පවසන්නේ මහජන නියෝජිතයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම් පිළිබඳ නීතියේද දුර්වලතා ඇති බවය. ඔවුන් දෙන වත්කම් ප්‍රකාශ අනුව කටයුතු කරනවා විනා ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විමර්ශන කරනවායැයි පිළිගන්න නොහැකිය. එසේම ජනතාවට ඒ පිළිබඳ දැනගැනීමට අයිතියක් තිබිය යුතුයි. මේ වත්කම් සියල්ල විවෘත විය යුතු බව ඔහුගේ මතයයි. දැනට ද ඒ සඳහා නීති ප්‍රතිපාදන ඇති නමුත් එය ඉවත් කිරීමට යන බව දැන ගන්නට තිබේ යැයි ඔහු කියයි. ඔහු පෙන්වා දෙන්නේ මහජන නියෝජිතයන් අයථා ලෙස මුදල් සොයන්නට වෙහෙසෙන්නේ ඒවා ජනතාවගෙන් හා වගකිව යුතු අංශවලට රහසේ තබා ගන්නට හැකිව ඇති නිසා බවය.

රයිට්ස් නව් (Rights now) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ප්‍රබෝධ රත්නායක

පසුගිය දිනවල අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂ සිදුවීමක් දක්නට ලැබුණා. එය තමා ජනාධිපති කොමිෂන් සභාවල් දෙකක වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම. මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඒවායි. මෙතැනදී සුවිශේෂ වන්නේ බලයේ සිටින රජයක් තම පාලන කාලය තුළ සිදුවූ වංචාවක් පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කරලා ඒ වාර්තාව තම කාලය තුළදීම ලබාගෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමයි. මෙය අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ පළමුවරට සිදුවූ වැදගත් සිද්ධියක්.
මෙම කොමිෂන් සභා දෙකෙන්ම කළ විමර්ශන පිළිබඳ ජනතාව සෑහීමකට පත්වෙනවා. ඒවා ස්වාධීනව රටටම ප්‍රසිද්ධ කර සිදුකර තියෙනවා. නවත් විශේෂයක් වන්නේ මේවායේ චූදිතයන් පිළිබඳව සෘජුව නම් කර ඒ අයට ගතයුතු ක්‍රියා මාර්ග නිර්දේශ කිරීමයි.

ඔහු පවසන්නේ මෙතෙක් කල් ඉදිරිපත් කළ කොමිෂන් සභා වාර්තාවලට සිදුවූ දෙයක් නොමැති බවය. ජනාධිපතිට දුන් එම වාර්තාවලට ගත් ක්‍රියාමාර්ගයක් නොවූ බව ඔහු කියයි. එහෙත් මෙහිදී සිදුව ඇති විශේෂතාව වන්නේ ජනාධිපති එම වාර්තා ලබාගෙන ඒවායේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන බව ජනතාවට ප්‍රසිද්ධියේ පොරොන්දු වීමයි. පසුගිය කාලයේ අපේ රටේ තිබුණේ බලවත් අය වැරදි කරලා දඬුවම් නොලබා සිටීමකි. එය හඳුන්වන්නේ නිර්මුක්තිය (Intunity) යනුවෙනි. එහෙත් එම සංස්කෘතිය දැන් වෙනස් වී ඇත. දැන් අපට අවශ්‍ය වන්නේ මෙම නව සංස්කෘතිය ඉදිරියට ගෙන යාමකි. ළඟදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයෙන් පසුවද පත්වන නියෝජිතයන් දූෂණවලින් වැළකී සිටිය යුතු බවට අවධාරණය කර එසේ දූෂණ සිදු කළහොත් අනාගතයේදී මුහුණ පාන්නට සිදුවන ප්‍රතිඵල පිළිබඳ අවබෝධයක් ඇතිකළ යුතුයි. ජනතාවට පෙනෙන්නට දිවුරැම් දෙනවාට වඩා වැදගත් වන්නේ එය ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් ඔප්පු කිරීමක් බව ඔහු කියයි.

 ►යසවර්ධන රුද්‍රිගු