2018 ජනවාරි 13 වන සෙනසුරාදා

නිවාඩුවේ දිවිල්ල?

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

දෙසැම්බර් මාසෙ ගෙවිලා ජනවාරි පටන් ගත්තේ අලුත් අවුරුද්දක උදාවකුත් එක්කයි. ආපහු දෙසැම්බරේ දිහා හැරිලා බැලුවම මතක් වෙන්නේ වෙනදාට වඩා සැහැල්ලුවෙන් විවේකයෙන් ගෙවපු කාලයක්. 

ගොඩක් අය දෙසැම්බරයට කරන්නෙ කොහේ හරි සවාරියක් දාන එකයි. හොඳට සල්ලි බාගෙ තියෙන අය රට යනවා. තව සමහරු කතරගම යනවා. සමහරැ හීතල විඳින්න ඕනකමටම නුවරඑළි යනවා. ඔය අතරේ පුරුද්දට වාගේ අනුරාධපුරේ පොළොන්නරුව දිහාවට ඇදෙන අයත් ඉන්නවා. 

අනුරාධපුරේ, පොළොන්නරුව, සීගිරිය කියන්නේ අපේ රටේ අතීත අභිමානය අනාගත පරම්පරාවට පෙන්වන කණ්ණාඩිය. ඒ නටබුන් අතරට ගියාම අපි වෙනස්ම ලෝකෙක තනිවෙනවා. හැබැයි ඔය අනුරාධපුර පොළොන්නරු ගමන් නිසාම නිවාඩුව කියන කන්සෙප්ට් එකට ටිකක් තද පාරක් වැදිලත් තියෙනවා. 

අපි ජාතියක් විදිහට ට්‍රිප් සහ නිවාඩුව කියන එක වන්දනා ගමන් එක්ක පටලවා ගත් පිරිසක්. පොඩි කාලෙ ඉඳන් ගොඩක් දෙනෙක් නිවාඩුවට කරන්නෙ වෙන මුකුත් නෙමේ, වන්දනා ගමන් යන එකයි. කොළඹ කාර්යබහුලත්වයෙන් මිදෙන්න යොදාගන්න ඕනෙ නිවාඩුවේ දී කරන්නේ අනුරාධපුරේට හරි සීගිරියට හරි ගිහින් අව් කාෂ්ඨකේ පුරාවස්තු දිහා බල බලා කකුල්කෙටි ගෙවෙන කල් ඇවිදින එකයි. 

පුරාවස්තු නරඹන එක වැරැද්දක්, අඩුවක් කියන එක නෙමෙයි මේ අකුරු ඇමිණිල්ලෙ අරමුණ. හැබැයි අපි නිවාඩුව කියන දේ වන්දනා ගමන් එක්ක බොහොම වැරදියට පටලවාගෙන තියෙන බව කියන්නයි අවශ්‍ය. නිවාඩුවට වන්දනා ගමන් යනවා වගේම එතැනින් එහාට ගිහින් රිලැක්ස් එකේ තමන්ගේ ජීවිතේටම ආපහු එබිලා බලන්න නිවාඩුව අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 

අපේ රට සෑහෙන කාලයක් තිස්සෙ සුද්දො අතර ජනප්‍රිය වුණේ වෙරළබඩ නවාතැනක් විදිහටයි. පුරාවස්තු කොච්චර තිබුණත්, වන සත්තු කොච්චර හිටියත් හැමදාමත් අපේ රට එයාලාට බීච් ඩෙස්ටිනේෂන් එකක්ම තමයි. ඉතින් ඒ විදිහට ලංකාවට ඇදෙන සුද්දෝ කරන්නේ බීච් එක කිට්ටුව හොඳ හෝටලයක කාමරයක් අරන් රෑට එතැන නිදාගන්න අතරේ දවල්ට වැල්ලෙ වැතිරිලා ජූස් එකක් බොන ගමන් පොතක් කියවන එකයි.

සුද්දගේ ෆන් එකයි අපේ ෆන් එකයි දෙවිදිහක් වෙන්න පුළුවන්. ඒත් සුද්දා ඒ විදිහට ගන්න අලස සුවය තමයි නිවාඩුවකදි මිනිස්සුන්ට ගන්න පුළුවන් හැබෑම සුවය. මොකද මුකුත් නොකර සොබාවධර්මෙ එක්ක මිශ්‍රවෙච්ච ඔය නිවාඩුව අතරේ දී තමන්ගේ හිත ඇතුළටම එබිලා බලන්න ලොකු චාන්ස් එකක් ලැබෙනවා. ඒක අද කාලෙ හැටියට පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ නටබුන් මාලිගාව බලනවාට වඩා කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. 

අපි මේ ඉන්නෙ හැල්මෙ දුවන ගමනකයි. සල්ලි, ප්‍රසිද්ධිය, වෘත්තීය සාර්ථකත්වය, පවුල් ජීවිතය වගේ ගොඩක් බලාපොරොත්තු පස්සෙ අපි දුවනවා. ඒ දිවිල්ල අතරතුර හම්බවෙන අපිම හදාගත්තු විවේක කාලයේ දී අපිට අපි ගැන හිතන්න දවසක් දෙකක් යොදාගන්න පුළුවන් නම්? ඇත්තටම ඒක තමයි වෙන්න ඕනෙ. 

සීතල පළාතක හෝටලයකට ගිහින් කඳු මුදුනක් දිහා බලන් තමන්ගෙ පෙම්වතිය, බිරිය එක්ක කෝපි කෝප්පයක් තොලගාන ගමන් කරන කතාබහ ඒ වගේ නිවාඩුවකදි ගොඩක් වටිනවා. දෙන්නට දෙන්න මුලින්ම හම්බවුණු දවසෙ සිද්ධි ආපහු මතක් කරන එක, ගෙවුණු අවුරුද්දෙ, දෙකේ, දහයේ දෙන්නා අතර සිද්ධවෙච්ච රසබර සිද්ධි මතක් කරන එක, මෝඩකම් මතක් කරන එක මේ වගේ වෙලාවකදී ගොඩක් වැදගත්. මොකද නිවාඩුවක අරමුණ තමයි අපේ ජීවිතේ රී ෆ්‍රෙෂ් කරගන්න එක. එතැන දී ආදරෙත් එක්ක ජීවිතේ රී ෆ්‍රෙෂ් කරගන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් තවත් නෑ. 

ඉතින් නිවාඩුව කියන්නේ ඇඟට වගේම හිතටත් ලබාගන්න ඕනෙ විවේකයක් මිසක් ගාල කඩාගත්තා වගේ එහේ මෙහේ දිවිල්ලක් නොවෙන්නෙ ඒ හින්දයි. ඊළඟ පාර වන්දනා ගමනක් ගියත්, ලොකු නඩයක් එක්ක ගියත්, අඩුම තරමේ දවසක් හරි තමන් වෙනුවෙන් තමන්ගෙ ආදරේ වෙනුවෙන්, තමන්ගෙ පවුල වෙනුවෙන් වෙන්කරගන්න උත්සාහයක් ගනිමු.

 ජා 

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00